මුතුරාජවෙල නාගරික සංවර්ධනයට දීම පිටුපස කූඨ අරමුණක් : මුදල් තියෙන්නෙ එතැන විතරයි – පරිසර ඇමැති

(හසරිඳු රාජපක්ෂ)
මුතුරාජවෙල අභයභූමි කලාපය නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමට ආණ්ඩුව සූදානම් වන්නේ එය ආරක්ෂා කිරීමට නොව එහි සංවර්ධන කටයුතු වේගවත් කිරීමේ කූඪ අරමුණ සහිතව බවට පරිසරවේදීහු චෝදනා කරති.
රැම්සා තෙත්බිමක් ලෙස ද ප්‍රකාශයට පත්කර ඇති, බස්නාහිර පළාතේ ඇති මේ පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීම සඳහා එය නාගරික සංවර්ධන අධිකාරියට ලබාදෙන බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
මුතුරාජවෙල අභය භූමිය ප‍්‍රකාශයට පත්කර ඇත්තේ වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව ය. මේ පනතේ 2(2) උප වගන්තියට අනුව 1996 ඔක්තෝබර් මස 31 වැනි දින අංක 947/13 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රය මගින් මේ තෙත් බිමේ හෙක්ටයාර 1028.62ක භූමි ප‍්‍රදේශයක් මුතුරාජවෙල අභයභූමිය ලෙස ප‍්‍රකාශයට පත්කර ඇත. මීට අමතරව ජාතික පාරිසරික පනතේ 24(ඇ) හා 24(ඈ) උපවගන්තිවලට අනුව මුතුරාජවෙල ස්වාරක්ෂක කලාපය ලෙස වෙන්කර ඇති තෙත් බිම් ප‍්‍රදේශය ලංකාවේ ප‍්‍රථම පාරිසරික ආරක්ෂක ප‍්‍රදේශය ලෙස ප‍්‍රකාශයට පත්කර තිබේ. ඒ 2006 ඔක්තෝබර් මස 13 වැනි දිනැති අංක 1466/26 දරන ගැසට් නිවේදනය මගිනි. මෙම ගැසට් නිවේදනයෙන් ස්වාරක්ෂක කලාපයේ තෙත් බිම් හෙක්ටයාර 206.678ක් මුතුරාජවෙල පාරිසරික ආරක්ෂක ප‍්‍රදේශය ලෙස ප‍්‍රකාශයට පත්කර ඇත. 2018 සැප්තැම්බර් 25 වැනි දිනැති අංක 2090/11 දරන ගැසට් නිවේදනය මගින් මුතුරාජවෙල තෙත් බිමේ තවත් හෙක්ටයාර 162.10ක් පාරිසරික ආරක්ෂක ප‍්‍රදේශයට එක්කර තිබේ.

විශේෂිත පරිසර පද්ධතියක්

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛ තෙත් බිම් පද්ධති 12න් එකක් ලෙසද හඳුනාගෙන ඇති මුතුරාජවෙල තෙත් බිම පාරිසරික කාරණා ගණනාවක් හේතුවෙන් සුවිශේෂී වේ. සමස්ත මුතුරාජවෙල ප‍්‍රදේශය නොගැඹුරු මුහුදු තීරයේ ජීවත් වන සාගර මත්ස්‍ය විශේෂ, ඉස්සන් හා කකුළුවන් විශේෂවල ප‍්‍රධාන බෝවීමේ ප‍්‍රදේශයකි. එමෙන්ම කඩොලාන බිම්, ලවණ වගුරු බිම්, ලවණ ජලය හා මිරිදිය ජලය සහිත ඇළ මාර්ග, තෘණ භූමි, පඳුරු වනාන්තර, ගංගාශ්‍රිත වනාන්තර ආදී පරිසර පද්ධති රාශියකි. මෙම පරිසර පද්ධතිවල ශාක කුල 66කට අයත් ශාක විශේෂ 194ක් වාර්තා වී ඇති අතර, සමනළයන්, බත්කූරන්, මත්ස්‍යයන්, උභයජීවීන්, පක්ෂීන් හා ක්ෂීරපායීන් යන සත්ත්ව කාණ්ඩ 7ට අයත් විශේෂ 449ක් පමණ මේ පරිසර පද්ධතියෙන් වාර්තා වී තිබේ. ඉන් විශේෂ 27ක් මෙරටට ආවේණික සත්ත්ව විශේෂ ලෙස හඳුනාගෙන ඇති අතර, නේවාසික පක්ෂි විශේෂ 86ක් පමණ මෙහි ජීවත් වේ. එමෙන්ම සංක‍්‍රමණික පක්ෂි විශේෂ 43ක් පමණ මේ ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.
මෙම සුවිශේෂී පරිසර පද්ධතියේ අනාගතය සම්බන්ධයෙන් පරිසරවේදීහු MediaLK සමග මෙසේ අදහස් දැක්වූහ.

නීතිමය හැකියාවක් නෑ

මුතුරාජවෙල අභයභූමිය සුරැකීමේ සංවිධානයේ සාමාජික සහ අගරදගුරු පරිසර කමිටු සාමාජික දිනූෂ නානායක්කාර මෙසේ පැවසීය.
‘මුතුරාජවෙල අභයභූමිය නාගරික සංවර්ධන අධිකාරියට පවරාගැනීමේ කිසිම නෛතික හැකියාවක් නැහැ. මුතුරාජවෙල අභයභූමිය ආරක්ෂා වෙලා තිබෙන්නේ වනජීවී හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත මගින්. මේ පනත යටතේ තිබෙන පරිසර කලාපයක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට ගැනීමට කිසිම නෛතික අයිතියක් නැහැ. ඒ කියන්නේ මේ භූමිය නාගරික සංවර්ධන අධිකාරියට දෙන්න යන්නේ සියලුම නීති නමලා.
ඒ වගේම මේ භූමිය ආරක්ෂා කිරීම වනජීවී දෙපාර්තමේන්තුවට කරන්න බැහැ කියලා නාගරික සංවර්ධන අධිකාරිය කියනවා. එය ඉතාම විහිළු කතාවක්. මොකද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න තිබුණු රැස්වීමකදී අපේ සංවිධානයේ පිරිසක් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළා. ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරුව ඔවුන් නිරුත්තර වුණා. ඒ පිරිස කිසිම පරිසර සාක්ෂරතාවක් නැති කණ්ඩායමක්. වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මේ සම්බන්ධ දැනුමක් තිබෙනවා. ඒ වගේම මුතුරාජවෙල සම්බන්ධයෙන් නඩු තීන්දුවක් තිබෙනවා. එම තීන්දුව මගින් වාරණ නියෝගයක් නිකුත් කරලා තියෙනවා. ඒ වගේම මුතුරාජවෙල සීමා මායිම් නැවත මැන සකස් කරන්න කියලා උසාවිය වනජීවී දෙපාර්තමේන්තුවට නියෝග කළා. නමුත් මේ වනතුරු වනජීවී දෙපාර්තමේන්තුව එම උසාවි නියෝගය ක්‍රියාත්මක කරලා නැහැ. එහෙම තත්ත්වයක් තුළ නාගරික සංවර්ධන අධිකාරිය මේ පරිසර පද්ධතියෙන් කුමන කොටසද පවරා ගන්නට යන්නේ කියලා නිශ්චිත ප්‍රකාශයක් කරන්නෙත් නැහැ.

අනෙක්වා පුළුවන් – මේක බෑ

මුතුරාජවෙල පරිසර පද්ධතිය තුළ ඇළ-දොළ තියෙනවා. අලංකාර පරිසරයක් තියෙනවා. සුවිශේෂී ජීවීන් ඉන්නවා. මේ නිසා ඒ සියල්ල ආරක්ෂා කරගනිමින් මේ ස්ථානය සංචාරක ආකර්ෂණ ස්ථානයක් බවට පත්කිරීමේ කටයුතු වනජීවී දෙපාර්තමේන්තුව මගින් කරන්න කියලයි අපි කියන්නේ. එය වනජීවී දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක නොකර, නාගරික සංවර්ධන අධිකාරිය මගින් කරන්න යනවා. ඒ වගේම මුතුරාජවෙල ජාතික වනෝද්‍යානයක් බවට පත්කරන්න කියලයි අපි යෝජනා කරන්නේ. මොකද ලංකාවේ තිබෙන ජාතික වනෝද්‍යාන සියල්ලමත්, දැඩි ස්වභාවික රක්ෂිත, ප්‍රේරණ කලාප, වගුරු වනාන්තර සියල්ල වනජීවී දෙපාර්තමේන්තුව ඉතාමත්ම හොඳින් පාලනය කරනවා. මුතුරාජවෙලට විතරක් එහෙම කරන්න බැරි ඇයි?
2017 ඉඳන්ම මුතුරාජවෙල ආරක්ෂා කරන්න අපි මහන්සි වෙනවා. මේ තර්ජන විවිධ මුහුණුවරින් එක එක කාලයට එනවා. මුතුරාජවෙල ආරක්ෂා කරන්න ආණ්ඩුවේ කිසිම කෙනෙකුට වුවමනාවක් නැහැ. මුතුරාජවෙල ජාතික වනෝද්‍යානයක් බවට පත්කර එය නරඹන්න අවස්ථාව ලබාදුන්නොත් ඒ වටා බිහිවෙන උපසංස්කෘතිය මගින් ඒක ආරක්ෂා කෙරෙනවා. එහෙම නැතුව අතින්-අතට මාරුවෙන සෙල්ලම් බඩුවක් බවට මුතුරාජවෙල පත්වුණොත් මොනවා වෙයිද කියලා කියන්න බැහැ. එහෙම කරන්න එපා කියලයි අපි කියන්නේ. මුතුරාජවෙල සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අපි දැඩි ලෙස කියනවා. ඒ වගේම මේ තීරණයට අපේ දැඩි විරෝධය ප්‍රකාශ කර සිටිනවා.’

දේශපාලන අරමුණක්

සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා මෙසේ කීවේය.
‘මුතුවන් සම්බා වගා කළ වෙල තමයි මුතුරාජවෙල ලෙස ප්‍රසිද්ධ වී තියෙන්නේ. ලංකාවේ කළුතර – කල්පිටිය අතර තෙත්බිම් ගණනාවක්ම තියෙනවා. මේ අතරින් විශේෂයෙන්ම මුතුරාජවෙල ආරක්ෂණ කලාපයක් ලෙස නම් කරලා තියෙනවා. ඒ අනුව මීගමුව කලපුව ආශ්‍රිත ප්‍රදේශය මුතුරාජවෙල අභයභූමිය ලෙසත්, කැලණි ගඟ ආශ්‍රිත ප්‍රදේශය නාගරික ප්‍රදේශය ලෙසත්, මේ අතර කලාපය ප්‍රේරණ කලාපය ලෙසත් මුතුරාජවෙල මහා සැලැස්මේ බෙදා වෙන්කරලා  තියෙනවා. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වනසත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ බලතල යොදාගනිමින් මුතුරාජවෙල ආරක්ෂා කරන්න කටයුතු කරලා තියෙනවා. එහෙම ආරක්ෂාව තිබියදීත් මුතුරාජවෙලට කුණු දැම්මා, ඉඩම් බෙදුවා. මෙවැනි පරිසර විරෝධී කටයුතු සිදුකළා. මෙය වනජීවී දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර, නාගරික සංවර්ධන අධිකාරියට ගත්තොත්, ජාතික පරිසර පනතෙන් හෝ වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතෙන් ආරක්ෂා වෙන්නේ නැහැ. ඒ නිසා මුතුරාජවෙල සංවර්ධනය උදෙසා කියලා සමාගම්වලට ලබාදෙන්න දේශපාලනඥයන්ට හැකියාව ලැබෙනවා. මුතුරාජවෙල නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමේ දේශපාලනික අරමුණ එයයි.’

අපි විරුද්ධයි

සුරකිමු ලංකා සංවිධානයේ පාහියංගල ආනන්ද සාගර හිමියෝ මෙසේ පැවසූහ.
‘මුතුරාජවෙල වගුරු බිම් සහිත ප්‍රදේශයක්. මෙහි මුළු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 1,128ක් පමණ වෙනවා. 1996දී අතිවිශේෂ ගැසට් පත්‍රයකින් මෙම ප්‍රදේශය සංරක්ෂිත කලාපයක් ලෙසට පිළිගත්තා. මුතුරාජවෙල තෙත් බිම වනජීවිය භාරයේ තමයි තියෙන්නේ. වනජීවිය භාරයේ තියෙන ඉඩම් ප්‍රමාණයක් යම් සමාගමක් විසින් වෙන්කරගෙන තියෙනවා. මේ තුළ පරිසර හිතකාමී ව්‍යාපෘතියක් හදන්න ඔවුන් යෝජනා කරලා තියෙනවා. ඒ තුළ හෝටල්, ගොල්ෆ් ක්‍රීඩාංගණ, නිවාස ව්‍යාපෘති ඇතුළත් කරලා තියෙනවා. මේ සියල්ල නාගරික සංවර්ධන ව්‍යාපෘති ලෙසයි අපි හඳුනාගෙන තියෙන්නේ. නමුත් මුතුරාජවෙල අපි හඳුනාගෙන තියෙන්නේ, රට හඳුනාගෙන තියෙන්නේ වනජීවී අභයභූමියක් විදිහට. ඒ අභයභූමිය අයිති වෙන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට. ඒ අනුව වනජීවී දෙපාර්තමේන්තුව සිදුකරන්නේ මේ භූමිය සංරක්ෂණය කිරීමයි. නමුත් නාගරික සංවර්ධන අධිකාරිය විසින් සිදුකරන්නේ මේ භූමිය සංවර්ධනය කිරීමයි. මේ දෙක පටළවාගෙන තියෙන්නේ. දැන් ආණ්ඩුව කියනවා මේ පෞද්ගලික සමාගම අත්පත් කරගෙන තියෙන ඉඩම් ආපහු ගන්න තියෙන ප්‍රබලම පනත නාගරික සංවර්ධන අධිකාරී පනත කියලා. ඒක පට්ටපල් බොරුවක්. වනජීවී ඉඩම් අත්පත් කරගෙන තියෙන ඕනෑම අවස්ථාවක ගැසට් නිවේදනයක් මගින් වනජීවියට අත්පත් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් නඩු පවරන්න පුළුවන්. එවැනි ක්‍රියාමාර්ග ගන්නේ නැතුව වෙනත් උපක්‍රම සෙවීම තුළින්, නාගරික සංවර්ධන අධිකාරියට මේ භූමිය ලබාදීමෙන් සිදුවෙන්නේ නැවත රාජ්‍ය අනුග්‍රහයෙන්ම මේ පෞද්ගලික සමාගමට මේක ලබාදීම. මේ සමාගම අල්ලාගෙන ඉන්න ඉඩම්වලින් සියයට 80ක්ම වනජීවිය සතු ඉඩම්. මේ අභයභූමි ප්‍රදේශය වනජීවී දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර නාගරික සංවර්ධන අධිකාරියට ලබාදීම නොකළ යුතු කටයුත්තක්. මේකට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි.’

තියෙනවා කියන ශක්තිය පෙන්නලා නෑ

පරිසර නීති උල්ලංඝනය කිරීමේ අවස්ථා රැසකදී ඊට මැදිහත් වී පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කළ නීතිඥවරයෙකු වන ආචාර්ය ජගත් ගුණවර්ධන මහතාගෙන් ද අපි මේ පිළිබඳව විමසීමක් කළෙමු.
‘නාගරික සංවර්ධන අධිකාරි පනත ශක්තිමත් බව ඇත්ත. නමුත් පනතේ පරමාර්ථය පරිසර සංරක්ෂණය නෙමෙයි. පරිසර සංරක්ෂණය අරමුණ නොවන සංවර්ධන පනතක් යටතේ පරිසරය ආරක්ෂා කරන්න යම් ප්‍රදේශයක් ප්‍රකාශයට පත්කිරීම තුළ ගැබ් වූ අවදානමක් පෙනෙන්න තියෙනවා.
දෙවැනි කරුණ තමයි මූල්‍ය ශක්තිය කියන එක අනනුකූල කරුණක්. මොකද වන්දි ලබාදීම කෙසේ වෙතත් ඉඩම් පවරා ගැනීම් සිදුකරන්නේ රජයේ ඉඩම් පවරාගැනීමේ පනත යටතේ. එතකොට ඒකට නාගරික සංවර්ධන අධිකාරියට මුදල් තියෙනවාද, පරිසර අධිකාරියට මුදල් නැද්ද, වනජීවියට මුදල් තියෙනවාද, නැද්ද කියන ඒවා අදාළ නෑ.
තුන්වැනි කාරණාව තමයි එවැනි පවරාගැනීමක් පිළිබඳව අපි තවම යෝජනා කරලාත් නෑ. ආණ්ඩුව පැත්තෙන් යෝජනාවක් ඇවිල්ලත් නෑ. එතකොට පවරාගැනීමක් කරන්න ආණ්ඩුවට මූල්‍ය ශක්තියක් තියෙන දවසක අපි ඒක බලාගනිමු. හතරවැනි කරුණ තමයි, නාගරික සංවර්ධන අධිකාරිය කියන්නේ සාමාන්‍යයෙන් පළාත් අධිකාරියක්. හැබැයි එහි විෂය පථයට තියෙන්නේ යම් ප්‍රදේශයක් නාගරික සංවර්ධන අධිකාරියට අයත් ප්‍රදේශයක් කියලා ප්‍රකාශයට පත්කරගෙන, ඒ ප්‍රදේශය තුළ සංවර්ධන සැලසුම් ඉදිරිපත් කර, ක්‍රියාත්මක කිරීමත් සංවර්ධනය නියාමනය කිරීමත් යන කරුණු. කොහොම වුණත් නාගරික සංවර්ධන අධිකාරියේ ඉතිහාසය එතරම් හොඳ නෑ. උදාහරණයක් ලෙස 1982දිත් ඉහළ වඩදිය මට්ටමේ සිට රට තුළට කිලෝමීටරයක කොටසක් වෙරළ තීරයේ සිට නාගරික සංවර්ධන අධිකාරියට ලබාදුන්නා. ඒ වෙරළ තීරයේ ඇති සංවර්ධන කටයුතු නියාමනය කිරීමේ බලතල ලෙසයි. අද වනතෙක් එහෙම දෙයක් සිදුවෙලා නෑ. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට තියෙන්නේ මීටර් 300යි. නාගරික සංවර්ධන අධිකාරියට එම මීටර් 300 සහ තවත් මීටර් 700ක් ගොඩබිම තුළට තියෙනවා. ඒ නිසා නාගරික සංවර්ධන අධිකාරියේ ඉතිහාසය තුළ ඔය කියන ශක්තියක් අපිට පෙන්නුම් කරලා නෑ. ගොඩනැගිලි කඩන්න අවශ්‍ය තැන්වලදි අත්තනෝමතික විදිහට ඒවා කළාට රටේ පරිසරය නියාමනය කිරීම පැත්තෙන් ගත්තහම නාගරික සංවර්ධන අධිකාරිය ඇත්ත ශක්තියක් පෙන්නුම් කරලා නෑ.

පරිසර ඇමැතිගෙන් එහාට යන්න අවශ්‍ය නෑ

එතකොට අභයභූමියක් තුළ පෞද්ගලික ඉඩම් තියෙනවා නම් සමහර තැන්වල ගැටළු ඇතිවිය හැකියි. ඒක අපි පිළිගන්නවා. ලංකාවේ පෞද්ගලික ඉඩම් තියෙන ප්‍රදේශයක් ආරක්ෂා කිරීමට, නියාමනය කිරීමට හොඳම පනත ජාතික පාරිසරික පනතයි. එහි 24 (ඇ) සහ (ඈ) කියන වගන්ති දෙක එකතු කළාම පරිසර ආරක්ෂණ කලාපයක් ප්‍රකාශයට පත්කරලා එම කලාපය තුළ තිබෙන ඕනෑම කටයුත්තක් නියාමනය කිරීමට හා නීතිවිරෝධී කටයුතු වැළැක්වීමට පරිසර පනත යටතේ නියෝග සෑදීමේ බලය පරිසරය බාර ඇමැතිවරයාට තියෙනවා. ඒ නිසා එතැනින් එහාට යන්න අපිට අවශ්‍යතාවක් නෑ. මුතුරාජවෙල අභයභූමියක් ලෙස තිබියදී යම් දුර්වලතාවක් තියෙනවා නම් එය මඟහරවා ගැනීමට තියෙන ක්‍රමය ලෙස අපි 2016 සිට යෝජනා කළේ මේ සමස්ත ප්‍රදේශයම පරිසර ආරක්ෂණ කලාපයක් කරන්න කියන එකයි. එවිට පනතේ පරමාර්ථයත්, පරිසර සංරක්ෂණ යන්ත්‍රණයත් තියෙනවා. ඊට අමතරව යම් අවස්ථාවක එය උල්ලංගනය කර, යම් කටයුතුත්තක් සිදු කෙරෙනවානම් අපිට පනතේ 24 (ආ) වගන්තිය යටතේ වහාම ආඥාවක් කර, එය අධිකරණය තුළින් අධිකරණ ආඥාවක් බවට පත්කරගෙන අදාළ කටයුත්ත නවත්වන්න පුළුවන්.
ඒ නිසා මේ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මැදිහත්වීමේ කිසිම අවශ්‍යතාවක් මම දකින්නේ නෑ. පසුකාලයේදී මෙම ඉඩම්වලින් කොටසක් පෞද්ගලික ව්‍යවසායකයන්ට හෝ රජයේ දෙයකට පැවරීමේ අවශ්‍යතාවක් මිස නැත්නම් නාගරික සංවර්ධන අධිකාරියට මේක පැවරීමට කිසිම අවශ්‍යතාවක් නෑ.’

ඔක්කොම කරන්නෙ අපේ නීරීක්ෂණය යටතේ

පරිසරවේදීන් මෙන්ම නීතිඥවරයා විසින් ආණ්ඩුව පාර්ශ්වයට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පරිසර විෂය භාර කැබිනට් ඇමැති මහින්ද අමරවීර මහතාගෙන් MediaLK විමසීමු.
එහිදී ඔහු මෙසේ පැවසීය.
‘මුතුරාජවෙල නාගරික සංවර්ධන අධිකාරියට පැවරීම මගින් එය පරිසර හිතකාමී ලෙස දියුණු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එහෙම නැතුව මේ පරිසරය තුළ හෝටල් හදන්න, ගොල්ෆ් පිට්ටනි හදන්න අපේ බලාපොරොත්තුවක් නැහැ. මේ පරිසරය තුළ ගස් හිටවලා ජනතාවට මේ පරිසරය නරඹන්න පුළුවන් විදිහටත්, සතුන්ට ජීවත්වෙන්න පුළුවන් විදිහටත් නිර්මාණය කරනවා. නාගරික සංවර්ධන අධිකාරිය මගින් කිඹුලාවල ප්‍රදේශය සකස් කළ ආකාරයට මෙම ප්‍රදේශයත් සකස් කරනවා.
මුතුරාජවෙල සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න වනජීවී දෙපාර්තමේන්තුවට මුදල් නැහැ. ක්ෂණිකව මෙම කටයුතු කරන්න මුදල් තියෙන්නේ නාගරික සංවර්ධන අධිකාරියට. ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරියේ පනත ප්‍රබලයි. ඒ අනුව වහාම එය පවරාගැනීමේ හැකියාව තියෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය එහෙම පවරාගත්තත් සියලුම සංවර්ධන කටයුතු සිදුකරන්නේ අපේ නිරීක්ෂණය යටතේ, අපේ උපදෙස් අනුවයි. අපි මුලින්ම කරන්නේ මේ කියන පෞද්ගලික ඉඩම රජයට පවරා ගැනීමයි. එහෙම නැතුව මේ ප්‍රදේශය දියුණු කරලා පෞද්ගලික හිමිකරුවන්ට දෙන්න අපි කටයුතු කරන්නේ නැහැ.’
Previous article2033 වෙනුවට 2020 නියෝජ්‍ය පොලිස්පති වූ බිම්ෂානි : ජ්‍යෙෂ්ඨ නිලධාරිනියන් මානව හිමිකම් කොමිසමට !
Next articleවන අලි කළමනාකරණය යනු කුල්ලක සිටින අලි-ඇතුන් අල්ලක ඉඩක හිර කිරීමද?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here