වන අලි කළමනාකරණය යනු කුල්ලක සිටින අලි-ඇතුන් අල්ලක ඉඩක හිර කිරීමද?

(සුපුන් ළහිරු ප්‍රකාශ් – කැඳවුම්කරු – ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය)
අලි මිනිස් ගැටුම ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන වේදිකාවේ නිරන්තරයෙන් සාකච්ඡාවට බඳුන් වන මාතෘකාවක් බවට පත්ව තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘ගම සමග පිළිසඳර’ වැඩසටහනේදී ද මේ පිළිබඳව නිතර මැසිවිලි නැගේ.
ඒ ආකාරයෙන් වයඹ පළාතේ කරුවලගස්වැව ප්‍රදේශයේ වර්තමානයේ උත්සන්න වී ඇති අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා එම ප්‍රදේශයේ සිටින අලි ඇතුන් විල්පත්තු ජාතික උද්‍යානයට පලවාහැරීමට පසුගිය දිනෙක යෝජනා විය. නමුත් ඒ ආකාරයෙන් අලි-ඇතුන් ඔවුන්ගේ පාරම්පරික වාසභූමිවලින් සම්පූර්ණයෙන්ම පන්නා රක්ෂිත ප්‍රදේශවලට ගාල්කිරීම අලි-මිනිස් ගැටුමට කිසිදු ආකාරයක විසඳුමක් නොවන බව පසුගිය දශක හයකට වැඩි ඉතිහාසය සාක්ෂි දරයි. ඒ වෙනුවට මෙවැනි අලි පලවාහැරීම් මගින් සිදුවන්නේ අලි-මිනිස් ගැටුම් කළමනාකරණය සම්බන්ධයෙන් අප මෙතෙක් අත්කරගෙන ඇති ප්‍රගතිය නැවත ආපස්සට හැරවීම හා අලි-මිනිස් ගැටුම සීග්‍රයෙන් ඉහළ යෑම මගින් එම දෙපාර්ශ්වයේම ජීවිත අනතුරේ වැටීම පමණක් බව අපි අවධාරණය කරමු. නමුත් බලධාරීන් නැවතත් මේ සිදුකරන්නට උත්සාහ කරමින් සිටින්නේ අලින් හා මිනිසුන් රෑ වැටුණු වලේ මහා දවාලෙත් ඇදදැමීමට වීම ඛේදජනක ය.

වනජීවියේ උපාය

පසුගිය දශක හය පුරා ශ්‍රී ලංකාවේ අලින් සංරක්ෂණය හා අලි-මිනිස් ගැටුම පාලනය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාවිත කරන ලද ප්‍රධාන සිද්ධාන්තය වූයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරිපාලනය වන වනජීවී රක්ෂිත ප්‍රදේශවලට අලි-ඇතුන් සීමාකිරීම ය. කෙසේ වෙතත් වර්තමානයේ වයඹ වනජීවී කලාපයේ ජීවත්වන අලි-ඇතුන්ගෙන් සියයට 60ක් පමණ ජීවත් වන්නේ වනජීවී රක්ෂිතවලින් බැහැරව බව ජාතික වන අලි සංගණනය මගින් ද තහවුරු වී ඇත. ඒ අනුව මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට නම් දැනට කුල්ලක තරම් ප්‍රදේශයක ජීවත්වන අලි-ඇතුන් අල්ලක් තරම් ප්‍රදේශයකට ගාල් කිරීමට බලධාරීන්ට සිදුවනු ඇත.
මෙසේ වනජීවී රක්ෂිත තුළට ගාල් කෙරෙන අලි-ඇතුන් ඒ තුළ රඳවාගත නොහැකිව යළිත් තමන්ගේ වාස භූමි වෙත පැමිණීම හෝ එසේ සිදුකරගත නොහැකි අවස්‌ථාවලදී ඉතා අවාසනාවන්ත ලෙස කුසගින්නේ මියයෑම නොවැළැක්විය හැකි බව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සතු පර්යේෂණ දත්තවලින් පවා අවධාරණය කර තිබේ. එවැනි පසුබිමක් තුළ අලි-මිනිස්‌ ගැටුමට පිළියමක්‌ ලෙස මෙම ක්‍රමෝපාය යොදාගැනීම ඉතා අවිද්‍යාත්මක ක්‍රියාවක් බව අපි අවධාරණය කරමු.
තමන්ගේ නිජබිම්වලින්, වාසභූමිවලින් පන්නා පිටුවහල් කර පිටස්තර වනජීවී රක්ෂිතවලට ගාල් කරන අලි රංචුවල සිටින අහිංසක ගැහැණු සතුන්ට හා පැටවුන්ට ආගන්තුක පරිසරය තුළින් ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වේ. එවැනි අවස්ථාවල එම සත්තු විදුලි වැටෙන් කොටු වූ ප‍්‍රදේශය තුළ සිරවී ආහාර හිඟයකට මුහුණ දෙති. එමගින් ඇති වන පෝෂණ දුර්වලතා නිසා විශේෂයෙන් කුඩා අලි පැටවුන් ඉතා අවාසනාවන්ත ලෙස දුක්විඳ බඩගින්නේ මියයෑම සිදු වේ.

2006 උදාහරණය

වර්ෂ 2006 වියළි කාලයේදී වලව වම් ඉවුර ව්‍යාපෘතිය මගින් තම පාරම්පරික නිජබිම් උදුරා ගන්නා ලදුව, අලි-ඇතුන් 225 දෙනෙකු ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයට ගාල් කෙරිණි. අලි පලවාහැරීමේ ඉතා අවාසනාවන්ත ඉරණම සපථ කරමින් මෙසේ ලුණුගම්වෙහෙරට ගාල් කෙරුණු අලි-ඇතුන් පෝෂණ දුර්වලතා හා ඒ ඔස්‌සේ ඇති වූ රෝගාබාධ මගින් මරණයට පත්වූ බව පරිසර ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්‌වූ කාරණයකි. එසේම වයඹ පළාත පුරා විසිරී සිටින අලි රංචු ද කහල්ල-පල්ලෙකැලේ සහ තබ්බෝව යන අභයභූමිවලටත් විල්පත්තු ජාතික වනෝද්‍යානයටත් පලවාහැර මේ ප්‍රදේශයේ අලි-මිනිස් ගැටුම් කළමනාකරණය කිරීමට දැරූ උත්සාහයන් අසාර්ථක වුණේ අද-ඊයේ සිට නොවේ.
එසේම යාල ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව දිවිගෙවූ අලි රංචු උද්‍යානය තුළට ගාල්කර ඉදිකළ විදුලි වැට හේතුවෙන් හඳපානාගල ප්‍රදේශයේ ජීවත් වූ අලි පරපුර වඳවීයෑම ද යාල කලාප අංක එක කොටසට ඒ අවටින් පන්නා සිර කළ අලි ගැහැනු සතුන් හා පැටවුන් විශාල ප්‍රමාණයක්‌ ආහාර නොමැතිව මියයමින් සිටීම සැඟවිය නොහැකි සත්‍යයකි. අද දක්වාම එම වනජීවී රක්ෂිතවල වසරක්‌ පාසා සෑම වියළි කාලයකම අලි පැටවුන් මියයෑම එම වනජීවී රක්ෂිතවල අලි ගහනයන්ගෙන් ඉදිරි පැවැත්මට ඉතා අහිතකර අන්දමින් බලපා ඇති බව අවධාරණය කළ යුතුය.

තමන්ගේ වාසභූමි

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා සංරක්ෂණ පර්යේෂණ ආයතනය එක්ව ඉකුත් වසර ගණනාවක් පුරා වන අලින්ට චන්ද්‍රිකා තාක්ෂණ කරපටි පළඳවා ලබාගත් දත්ත මගින් සිදුකෙරුණු පර්යේෂණ මගින් ද අනාවරණය වන්නේ කොතරම් අලි පලවාහැරීම් සිදුකළද, අලි-මිනිස් ගැටුමට දායක වන තනි අලින් එම සතුන්ගේ වාසභූමි තුළ ම රැඳීසිටීමට දැඩි උත්සාහයක් දරන බව ය. කෙසේ හෝ එම සතුන් තම වාසභූමියෙන් ඉවත් කළද, ඉතා කෙටි කලකින් නැවතත් තම වාසභූමියට එම සතුන් පෙරළා පැමිණෙන බව ය. ඒ අනුව වනජීවී රක්ෂිතවලින් පරිබාහිරව තම වාසභූමි පවත්වාගෙන යන අලි-ඇතුන් ඔවුන්ගේ පාරම්පරික වාසභූමිවලින් පිටමංකර වනජීවී රක්ෂිත තුළට ගාල් කිරීමට දරන උත්සාහයන් සියල්ල අසාර්ථක බව විද්‍යාත්මකව ඔප්පු වී ඇත.

පිරිමි අලින් සහ ගැහැනු අලින්

සාමාන්‍යයෙන් මෙවැනි පලවාහැරීම් මගින් සිදුවන්නේ අලි ගැහැනු සතුන් හා පැටවුන් පමණක්‌ තම වාසභූමිවලින් ඉවත් කිරීම ය. එහෙත් ඉහත සඳහන් කළ පරිදි අලි මිනිස්‌ ගැටුමට හේතු වන්නේ තරුණ පිරිමි අලින් බව ප්‍රකට කාරණයකි. මෙවැනි පසුබිමක්‌ තුළ අලි රංචු පලවාහැරීම මගින් අලි-මිනිස්‌ ගැටුම විසඳීමට නොලැබෙන බව යළි-යළිත් සඳහන් කළ යුතු නැත. මෙවැනි අවස්ථාවල තනි අලින් බොහෝ විට සිදුකරන්නේ අලි පලවාහැරීම් මගහැර වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වී මෙහෙයුම අවසන් වූ පසු යළිත් තමන්ගේ පුරුදු වාස භූමියට පැමිණීම ය. මේ ආකාරයෙන් අලි පලවාහැරීම් අවසන් කළ වහා එම ප්‍රදේශය හා තදාසන්නව, පැන්නීමෙන් කුපිත වූ පිරිමි වන අලින් සැරිසැරීම හා ඔවුන් මිනිස්‌ ජනාවාසවලට පැමිණ බෝග හා අනෙකුත් යටිතල පහසුකම් විනාශ කරමින් මිනිස්‌ ජීවිතවලට ද තර්ජන ඇතිකිරීම සුලබ ව දක්නට ලැබේ.

අලි-මිනිස් ගැටුම උග්‍රවීම

තවද අලි-ඇතුන් රක්ෂිත ප්‍රදේශවලට ගාල්කිරීම සඳහා නිතර-නිතර අසාර්ථක අලි පැන්නීම් සිදුකිරීම මගින් සිදුවන්නේ ගැහැනු සතුන් හා පැටවුන් සහිත අලි රංචු පවා මිනිසුන් කෙරෙහි දක්‌වන බිය පහවීම හා මිනිස්‌ ප්‍රතිරෝධයට අනුවර්තනය වීම බව අවධාරණය කළ යුතුය. සාමාන්‍යයෙන් අලි රංචු ගම්වැදීමට දක්වන ප්‍රවණතාව ඉතා අඩු නමුත් මිනිසුන්ගේ අඩන්තේට්‌ටම් හා අලි පලවාහැරීම්වලට නිරතුරුව භාජනය වන අලි රංචු අද වන විට ගම් වැදීමට පවා නැඹුරු වන තත්ත්වයක්‌ තුළ ඒ රංචුවලට බිහිවන පිරිමි සතුන් වැඩිදෙනෙකු අති උග්‍ර අලි-මිනිස්‌ ගැටුමකට මුලපිරීම නොවැළැක්‌විය හැකි වීම විමතියට කරුණක් ද?
එසේම නිතර-නිතර අලි-ඇතුන් පලවාහැරීමේ මෙහෙයුම් සිදුකිරීමෙන් හා ඒවාට විශාල වශයෙන් අලි වෙඩි භාවිත කිරීමෙන් සහ අලි-ඇතුන්ට පතොරම් තුවක්කුවලින් පවා වෙඩි තැබීමෙන් අලින්ගේ ප‍්‍රචණ්ඩත්වය වර්ධනය වේ. මිනිසුන් කෙරෙහි වෛරයක් ඇති වේ. අලි රංචුවල සිටින කුඩා අලි පැටවුන් මිනිසුන්ගේ අලි වෙඩි, ශබ්ද නැගීම් හා ගින්දර වැනි අලි-ඇතුන් සාමාන්‍යයෙන් බිය දක්වන සාධකවලට නිතර මුහුණ දීම සිදු වේ. එමගින් ඒවාට ඇති බිය ඉවත් වී යයි. මෙසේ දිගින්-දිගටම මිනිසුන් අලින් සමග ගැටීමෙන් එම ගැටුම තව-තවත් වර්ධනය වනවා මිස ගැටුම සංසිඳීමක් සිදු නොවේ. එය ඉදිරියේදී තව-තවත් බරපතළ අලි-මිනිස් ගැටුම් ඇතිවීමට හේතු වේ.
චන්ද්‍රිකා තාක්ෂණ කරපටිවලින් ලබාගන්නා දත්ත හා ක්ෂේත්‍ර අධ්‍යයන මගින් මනාව පැහැදිලි වන කාරණය වන්නේ අලි රංචු පරිභෝජනය කරන ප්‍රදේශ සීමිත හා විශේෂයෙන් වෙන්කර ගත හැකි බව ය. මහ කැලෑ, ලඳු කැලෑ අත්හරින ලද පෞද්ගලික ඉඩම්, වගා කන්නයෙන් පසු අත්හරිනු ලැබූ කුඹුරු (ඉපනැලි) හා හේන් බිම් මෙසේ අලි රංචු විසින් පරිභෝජනයට ගනු ලබන කොටසට අයත් වන අතර, එම කොටස්‌වලට සැලසුම් සහගතව අලි-ඇතුන් සීමාකිරීම මගින් ඉන් පිටත ඇති ප්‍රදේශ ප්‍රාමාණික සංවර්ධන සැලැස්‌මකට ලක්‌කර මිනිස්‌ පරිභෝජනයට ගැනීමට හැකියාව පවතී. ඉනික්‌බිති අලි-ඇතුන්ගේ භූමි පරිභෝජන රටාවට අනුකූලව ඔවුන් විසින් මිනිස්‌ වාසස්‌ථානවලට හා වගාබිම්වලට වැදීම වැළැක්‌වීමට අලි-ඇතුන් භාවිත ප්‍රදේශ හා මිනිස්‌ භාවිත ප්‍රදේශ අතර, ස්‌ථිර හා තාවකාලික අලි බාධක යෙදීම මගින් දීර්ඝ කාලීන සැලසුම් සහගත වැඩපිළිවෙළකට අනුකූලව මෙම අලි මිනිස්‌ ගැටුමට තිරසර විසඳුමක්‌ ලබාගත හැකිය.

ක්‍රියාකාරී සැලැස්මේ ඉරණම

ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම අවම කිරීමේ වැඩපිළිවෙලේ සාධනීය ඉදිරි පියවරක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග ඉකුත් වසරේ ජූලි මසදී අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම සඳහා කමිටුවක් පත්කරන ලදි. මෙරට අලි-ඇතුන් සංරක්ෂණය හා කළමනාකරණය සම්බන්ධ ප්‍රකට විද්වතෙකු වන ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවට විද්වතුන් මෙන්ම වනජීවී සංරක්ෂණ, වන සංරක්ෂණ, ගොවිජන සේවා සහ වාරිමාර්ග දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ අලි-මිනිස් ගැටුමෙන් දැඩි ලෙස බැටකන දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් සමන්විත විය. අදාළ කමිටුව මගින් සකස් කළ ක්‍රියාකාරී සැලැස්ම ඉකුත් වසරේ දෙසැම්බර් මස අගදී ජනාධිපතිවරයාට භාරදෙනු ලැබීය. එබැවින් දැන් ඔහු සිදුකළ යුත්තේ තවදුරටත් අඳුරේ අතපතගාමින් කල් මැරීම නොව, අදාළ ක්‍රියාකාරී සැලැස්ම මගින් අවධාරණය කෙරෙන වන අලි-ඇතුන් ඔවුන්ගේ පාරම්පරික වාසභූමි තුළ ම සංරක්ෂණය කරමින් වඩාත් විද්‍යාත්මක හා තිරසර ප්‍රවේශයක් ඔස්සේ මුළු දිවයිනේම අලි-මිනිස් ගැටුමට විසඳුම් සෙවීම සඳහා කටයුතු කිරීම ය.
Previous articleමුතුරාජවෙල නාගරික සංවර්ධනයට දීම පිටුපස කූඨ අරමුණක් : මුදල් තියෙන්නෙ එතැන විතරයි – පරිසර ඇමැති
Next articleවතු කම්කරු සටන දිනුම් – දිනකට රුපියල් දහසේ වැටුප ගැසට් කරයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here