2033 වෙනුවට 2020 නියෝජ්‍ය පොලිස්පති වූ බිම්ෂානි : ජ්‍යෙෂ්ඨ නිලධාරිනියන් මානව හිමිකම් කොමිසමට !

(තරිදු ජයවර්ධන)
නියෝජ්‍ය පොලිස්පති බිම්ෂානි ජාසිංආරච්චිගේ උසස්වීම් ක්‍රමවේදය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබේ. වසර පහක් තුළ සහකාර පොලිස් අධිකාරි නිලයේ සිට ඇය නියෝජ්‍ය පොලිස්පති නිලයට පත්වූ අතර, මේ පෙත්සම මගින් කාන්තාවන්ට වෙනස් කොට සැලකීමේ පොලිසියේ ප්‍රතිපත්තිය මනාව පැහැදිලි වන බව මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරිණි.
කෙසේ වෙතත් ඒ ප්‍රචාර මගින් නොකී, අසාධාරණයට පත්වූවන්ගේ කතාව MediaLK අපි මෙසේ අනාවරණය කර සිටිමු. පොලිස් නිල පිහිටුවීමේ අසමාන ප්‍රතිපත්තියක් සමස්තයක් ලෙස ක්‍රියාත්මක වන අතර, එය ප්‍රතිපත්තිමය වශයෙන් කඩිනමින් සංශෝධනය විය යුතු බව ද අපි අවධාරණය කරමු.

පොලිසියට බඳවා ගන්නා තනතුරු

ශ්‍රී ලංකා පොලිසියට කෙලින්ම (ඉඳුරාම) බඳවාගන්නා අවස්ථා කිහිපයක් ඇත. ඒ පොලිස් කොස්තාපල් රියදුරු, පොලිස් කොස්තාපල්, උප පොලිස් පරීක්ෂක සහ සහකාර පොලිස් අධිකාරි යන තනතුරු සඳහා ය. පොලිසියේ පිරිමින් සඳහා වෙනම සේවයක් ද, කාන්තාවන් සඳහා වෙනම සේවයක් ද පවතී. කාන්තාවන් පොලිසියට බඳවාගන්නේ කාන්තා පොලිස් කොස්තාපල්, කාන්තා උප පොලිස් පරීක්ෂක සහ කාන්තා සහකාර පොලිස් අධිකාරි යන තනතුරු සඳහා ය. පොලිස් දෙපාර්තමේන්තුවේ කාන්තා කාඩරයේ තනතුරු තිබුණේ සීමිත ගණනකි. එම නිසා එකම නිලයේ වසර ගණනාවක් ගතකර, උසස්වීම් නොලබා විශ්‍රාම ගැනීමට කාන්තාවන්ට සිදුවූ අවස්ථා ඇත. කෙසේ වෙතත් කාන්තා කාඩරයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දක්වා නිලවලට අදාළ තනතුරු අලුතින් ඇතිකිරීම පසුගිය දශකයකට ආසන්න කාලයේ ක්‍රමයෙන් සිදු විය.
රජයේ ආයතනවල හිතුමතේ අලුතින් තනතුරු නිර්මාණය කිරීමට හැකියාවක් නැත. ඒ සඳහා යම් ක්‍රමවේදයක් තිබේ. තනතුර ඇතිකිරීම සඳහා ආයතන කිහිපයකින් අනුමැතිය ලබාගත යුතුය. උදාහරණයක් ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරුන් අනුමත සංඛ්‍යාව 15ක් නම්, ඊට වැඩියෙන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් පත්කළ නොහැකිය. අනුමත කාන්තා නියෝජ්‍ය පොලිස්පති තනතුරු ගණන එකක් නම්, ඊට වැඩියෙන් කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරුන් පත්කළ නොහැකිය. එසේ කිරීමට නම් අදාළ තනතුර ඇතිකිරීම සඳහා ආයතන කිහිපයකින් අනුමැතිය ලබාගත යුතුය. අවසන් වශයෙන් වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමෙන් අනුමැතිය ලබාගත යුතුය. එසේම අදාළ තනතුර සඳහා නිශ්චිත සුදුසුකම් ලැයිස්තුවක් තිබෙන අතර, එම තනතුරු සඳහා පත්කළ යුතු ක්‍රමවේදයක් ද ඇත.

උසස්වීම් ක්‍රමවේදය

පොලිස් කොස්තාපල් රියදුරන් ලෙස බඳවාගන්නා පොලිස් නිලධාරීන්ට පොලිස් සැරයන් රියදුරු, ප්‍රවාහන උප පොලිස් පරීක්ෂක,  ප්‍රවාහන පොලිස් පරීක්ෂක ලෙස උසස්වීම් ලැබිය හැකිය. එහෙත් එම උසස්වීම් ක්‍රමවේදය නිසි කාල රාමුවකට අනුව සිදුවන්නේ නැත. පොලිස් කොස්තාපල්වරුන් ලෙස බඳවාගන්නා නිලධාරීන්ට එතැන් සිට පොලිස් සැරයන්, උප පොලිස් පරීක්ෂක, පොලිස් පරීක්ෂක, ප්‍රධාන පොලිස් පරීක්ෂක, සහකාර පොලිස් අධිකාරි සහ ඉන් ඉහළ තනතුරුවලට උසස්වීමට කිසිම බාධාවක් නැතත්, නිසි කාල- සීමාවලට උසස්වීම් නොලැබීම නිසා බොහෝ විට පොලිස් කොස්තාපල්වරු වැඩි දෙනෙක් කොස්තාපල්වරු ලෙසමත්, පොලිස් සැරයන්වරු ලෙසත් විශ්‍රාම යති. ඔවුන් පොලිස් පරීක්ෂක දක්වා හෝ උසස්වීම් ලබන්නේ ඉතාම කලාතුරකිනි. ඊට හේතුව පොලිස් කොස්තාපල්වරුන්ට සහ පොලිස් සැරයන්වරුන්ට එකම නිලයේ බොහෝ කාලයක් රැඳීසිටීමට සිදුවන බැවිනි.
උප පොලිස් පරීක්ෂකවරුන් ලෙස ඉඳුරාම පොලිසියට බඳවාගන්නා නිලධාරීන්ට එතැන් සිට උප පොලිස් පරීක්ෂක නිලයේ සිට පොලිස්පති දක්වා වුවද යෑමට කිසිම බාධාවක් නැත. එහෙත් උසස්වීම් ක්‍රමවේදය හරිහැටි සිදුනොවන නිසා උප පොලිස් පරීක්ෂකවරුන් බොහෝවිට සහකාර පොලිස් අධිකාරිවරුන් හෝ පොලිස් අධිකාරිවරුන් ලෙස හෝ උසස්වීම් ලබන්නේ ඉතාම අපහසුවෙනි. උප පොලිස් පරීක්ෂකවර‌යෙකු ලෙස සේවයට බැඳී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලය දක්වා උසස්වීම් ලැබූ නිලධාරීහු ද අතළොස්සක් සිටිති. පසුගියදා මියගිය විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානයක මහතා පොලිස් සේවයට එක්වූයේ උප පොලිස් පරීක්ෂකවර‌යෙකු ලෙසය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා පොලිස් සේවයට බැඳුණේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස ය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ සේවයට බැඳී ඇත්තේ ද උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස ය. ඔවුන් තනතුරින් තනතුරට උසස්වීම් ලැබුවෝ වෙති.

 

සහකාර පොලිස් අධිකාරි නිලය සහ කාන්තා සහකාර පොලිස් අධිකාරි නිලය

ශ්‍රී ලංකා පොලිසියේ සහකාර පොලිස් අධිකාරි නිලය යනු මාණ්ඩලික ශ්‍රේණියේ පහළම තනතුරයි. සහකාර පොලිස් අධිකාරි සිට ඊට ඉහළ නිලධාරීන් රාජ්‍ය නිවේදිත නිලධාරීන් ලෙස හැඳින්වේ. එම තනතුරට බඳවාගන්නා ක්‍රම කිහිපයක් ඇත. ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් පවතින පුරප්පාඩු ගණන අනුව සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසු උසස් කිරීම පළමු ක්‍රමවේදයයි. දෙවැනි ක්‍රමවේදය සීමිත තරඟ විභාගයකින් සහකාර පොලිස් අධිකාරිවරුන් ලෙස උසස් කිරීමයි.  එනම් පොලිසියේ විවිධ තනතුරුවල සිටින නිලධාරීන්ට විභාගයක් පවත්වා, එම විභාගයේ ප්‍රතිඵල අනුව සම්මුඛ පරීක්ෂණයක් පවත්වා සහකාර පොලිස් අධිකාරිවරුන් ලෙස පත්කිරීමයි. එය උසස්වීමක් නොව පත්කිරීමකි. තෙවැනි ක්‍රමය විවෘත තරඟ විභාගයකින් බඳවාගැනීමයි. එනම් උපාධියක් සහිත පුද්ගලයන්ගෙන් අයදුම්පත් කැඳවා පවත්වන විභාගයකින් සමත් වන පිරිසක් සම්මුඛ පරීක්ෂණයකින් පසු බඳවාගැනීමයි. ඒ සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනයේ සුදුසුකම් සහිත පොලිසියේ නොවන උපාධිදාරීන්ට මෙන්ම පොලිසිය ඇතුළේ තනතුරුවල සිටින උපාධිධාරීන්ට ද අයදුම් කළ හැකිය. එලෙස තෝරාගන්නා පුද්ගලයන් සහකාර පොලිස් අධිකාරි නිලයට පත්කරන අතර, එය ද උසස්වීමක් නොව පත්කිරීමකි.  එලෙස ඉඳුරාම සහකාර පොලිස් අධිකාරි නිලයට (විවෘත තරඟ විභාගයකින්) බඳවාගන්නා නිලධාරීන් වසර තුනක පරිවාස කාලයකට යටත් කරන අතර, පරිවාස කාලය ඇතුළත දී පරීක්ෂණ හයකින් සමත් විය යුතුය. එසේ සමත් නොවුණහොත් පරිවාස කාලය තවදුරටත් දීර්ඝ කරනු ලැබේ. ඊට අමතරව අදාළ කාලසීමාවේ දී වැටුප් වර්ධක උපයාගත යුතුය. අදාළ නිලවලට හිමි සියලු වැටුප් වර්ධක උපයාගැනීමට අපොහොසත් වුවහොත් ඔවුන්ට උසස්වීම් හිමිවන්නේ නැත.

බිම්ෂානි ජාසිංආරච්චි පොලිසියට එක්වීම

බිම්ෂානි ජාසිංආරච්චි මහත්මිය මුල්වරට පොලිසියට බැඳෙන්නේ කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක ලෙස ය. ඒ 1997 වසරේ පෙබරවාරි මස 15 වැනිදා ය. ඇය 1999 වසරේ මාර්තු මස 24 වැනිදා රුහුණු විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව සහ සංඛ්‍යානය විෂයයන්ද ඇතුළත් ව ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත්තාය.
මේ අතර සහකාර පොලිස් අධිකාරි නිලයට ඉඳුරාම බඳවාගැනීම සඳහා විවෘත තරඟ විභාගයක් පැවැත්වීමට 1999 වසරේදී අයදුම්පත් කැඳවීය. 1999 වසරේ ඔක්තෝබර් මස 22 වැනිදා ගැසට් නිවේදනයේ එම බඳවාගැනීමේ ක්‍රමවේදය පළකෙරිණි. සහකාර පොලිස් අධිකාරි නිලවලට බඳවාගැනීමට අදාළ ව සුදුසුකම් කිහිපයක් එහි සඳහන් වූ අතර, මූලික සුදුසුකමක් ලෙස උස අඩි පහයි අඟල් හයක් හෝ ඊට වැඩි විය යුතු බව සඳහන් විය.
අදාළ පුරප්පාඩු සඳහා විශාල පිරිසක් අයදුම් කරන ලද අතර, ඔවුන් සඳහා 2000 පෙබරවාරි මස 26 වැනිදා පැවැති විවෘත තරඟ විභාගයෙන් බිම්ෂානි මහත්මිය මුල් පස්දෙනා අතරට ලකුණු ලබාගත්තාය. ඒඅනුව ඇය සහ තවත් කාන්තාවන් හතර දෙනෙකු ඇතුළු පිරිසක් මූලික සම්මුඛ පරීක්ෂණයට කැඳවනු ලැබූ අතර, ගැසට් පත්‍රයේ මූලික සුදුසුකමක් ලෙස පළකෙරුණු නියමිත උස සම්පූර්ණ නොවීම නිසා බිම්ෂානි මහත්මියටත්, අනෙක් කාන්තාවන් හතරදෙනාටත්, තවත් පිරිමින් කිහිපදෙනෙකුටත් ඊළඟ සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම් ලැබීමට නොහැකි විය. එම සම්මුඛ පරීක්ෂණවලින් සමත් වූ පිරිසක් ආධුනික සහකාර පොලිස් අධිකාරිවරුන් ලෙස බඳවා ගැනිණි.
ගැසට් පත්‍රයේ පළකළ අදාළ උස සම්පූර්ණ නොවීම නිසා තේරීපත්නොවුණු බිම්ෂානි මහත්මිය 2002 වසරේ මැයි මස 13 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයෙන් මානව හිමිකම් පිළිබඳ පශ්චාත් උපාධිය ලබාගත්තාය.
අනතුරුව ඇය 2001 වසරේ සිට කාන්තා සහකාර පොලිස් අධිකාරි තනතුරට පත්කරන ලෙස ඉල්ලමින් සම්මුඛ පරීක්ෂණයෙන් වසර තුනකට පමණ පසු, එනම් 2003 වසරේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කළාය. HRC/5462/2003/L6 අංකයෙන් ඇය කරන ලද පැමිණිල්ලේ මූලික තර්කය වූයේ කාන්තාවන්ට සහ පිරිමින්ට එක සමාන උසක් තීරණය කිරීම වැරදි බවත්, කාන්තා පොලිස් කොස්තාපල්, කාන්තා උප පොලිස් පරීක්ෂක සහ කාන්තා සහකාර පොලිස් අධිකාරි තනතුරු සඳහා බඳවාගනිද්දී කාන්තාවන් සඳහා උස මිමි තුනක් තිබීම අසාධාරණ බවත් ය. ඇය උසස් නිලධාරීන්ට ද මේ පිළිබඳ ලිපි මගින් ඉල්ලීම් කළ අතර, 2006 වසරේදී මේ ගැන සලකා බලන ලෙස දන්වමින් එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරය දැරූ ගෝඨාභය රාජපක්ෂ මහතාට ද ලිපියක් යොමු කර තිබිණි.
මේ අතර 2007 වසරේදී යළිත් වරක් සහකාර පොලිස් අධිකාරිවරුන් ලෙස බඳවාගැනීමට සීමිත සහ විවෘත තරඟ විභාග දෙකක් පැවැත්වූ අතර, 2008 ජනවාරි පළමු වැනිදා සිට සහ 2008 නොවැම්බර් මාසයේදී ඔවුන් බඳවා ගැනිණි. එම පුරප්පාඩු ගැසට් කරමින් අයදුම්පත් කැඳවද්දී සුදුසුකම් ලැයිස්තුවේ උස වෙනස් කර තිබිණි. මෙම විභාග සඳහා බිම්ෂානි මහත්මිය අයදුම් කර හෝ විභාගයට සහභාගි වී හෝ තිබුණේ නැත.  සීමිත සහ විවෘත තරඟ විභාග දෙකෙන්ම පසු නියමිත සුදුසුකම් සපිරූ පිරිස් සහකාර පොලිස් අධිකාරිවරුන් සහ කාන්තා සහකාර පොලිස් අධිකාරිවරුන් ලෙස බඳවාගනු ලැබිණි. ඊට අමතරව ජ්‍යෙෂ්ඨත්වය මත ද සහකාර පොලිස් අධිකාරිවරුන් කිහිපදෙනෙකු බඳවා ගැනිණි. තිළිණා ජයවර්ධන, දීපානි සහ සෝමා යන කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක නිල දැරූ තිදෙනෙක් ජ්‍යෙෂ්ඨත්වය මත 2008 ජනවාරි පළමු වැනිදා සිට කාන්තා සහකාර පොලිස් අධිකාරි ලෙස උසස්වීම් ලැබූහ. රේණුකා ජයසුන්දර, පද්මිණී වීරසූරිය සහ දර්ශි රණසිංහ සීමිත තරඟ විභාගයෙන් සහ සම්මුඛ පරීක්ෂණවලින් සමත්ව 2008 ජනවාරි පළමු වැනිදා සිට කාන්තා සහකාර පොලිස් අධිකාරි ලෙස පත්වූහ. මදාරා ආරියසේන, ඉමේෂා මුතුමාල සහ ලංකා රාජිනී යන පිරිස විවෘත තරඟ විභාගයෙන් හා සම්මුඛ පරීක්ෂණයෙන් සමත්ව කාන්තා සහකාර පොලිස් අධිකාරි ලෙස 2008 නොවැම්බර් මාසයේදී පත්වූහ.

බිම්ෂානි නඩුමගට

මෙම පත්වීම්වලින් පසු බිම්ෂානි මහත්මිය සීඒ/732/2008 අංකයෙන් රීට් පෙත්සමක් ගොනු කළ අතර, පසුව එය ඉල්ලා අස්කරගත්තාය. ඇය 2008 වසරේදී 477/2008 අංකයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළාය. එවකට පොලිස්පති ජයන්ත වික්‍රමරත්න ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවෝ වූහ. ඉන් අනතුරුව මහින්ද බාලසූරිය මහතා ද, එන්.කේ.ඉලංගකෝන් මහතා ද එහි වගඋත්තරකරුවෝ වූහ. එම නඩුව සම්බන්ධයෙන් එවකට නීතිපති ධුරය දැරූ ඊවා වනසුන්දර මහත්මිය 2011 නොවැම්බර් 28 වැනිදා තම අදහස දක්වමින් පොලිස්පතිවරයා වෙත ලිපියක් එවා තිබිණි. එය අධිකරණයට ද දන්වා තිබිණි. එවකට පොලිස්පති වූයේ එන්.කේ.ඉලංගකෝන් මහතා ය.
‘I have studied the case comprehensively. I am strongly of the view that she would been recruited at least in 2007 when other be law her highest were taken in as ASPs.’ යනුවෙන් ඊවා වනසුන්දර නීතිපති ලෙස යොමු කළ ලිපියේ සඳහන් විය.
පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා දීර්ඝ සහ සවිස්තරාත්මක ලිපියකින් ඊට පිළිතුරු යැවීය.
‘Height adjustment were done in the year 2007 by a gazette, to which the petitioner has not applied or sat the examination. Then the petitioner was serving in UN mission abroad. Other women candidate who had worked in UN mission abroad had come to Sri Lanka and sat the examination and been selected for post of the woman ASP after interviews.’ යනුවෙන් එම ලිපියේ එක් තැනෙක සඳහන් විය.
උස ගැන තීරණය කරනුයේ පොලිසිය හෝ පොලිස්පති නොව ආරක්ෂක අමාත්‍යංශය සහ රාජ්‍ය සේවා කොමිසම (එවකට) බවත්, ගැසට් පත්‍රයේ සුදුසුකමක් ලෙස සඳහන් කර තිබූ උස සම්පූර්ණ නොකළ බිම්ෂානි මහත්මිය කාන්තා සහකාර පොලිස් අධිකාරි නිලයට බඳවාගැනීම, එම තනතුරට අදාළ වසරේදී අයදුම් කර උස සම්පූර්ණ නොකළ අනෙක් කාන්තා අපේක්ෂිකාවන් පස්දෙනාට කරන අගතියක් (prejudice) බවත්, එය දැනට ඇයට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින් සිටින කාන්තා පොලිස් නිලධාරිනියන්ට කරන අසාධාරණයක් බවත් ඉලංගකෝන් මහතා සිය පිළිතුරු ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබිණි.
කෙසේ වෙතත් නීතිපතිවරයා දැක්වූ කරුණු අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී එකඟතාවකට පැමිණි අතර, ඒ අනුව 2013 ජූලි 12 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුව අවසන් කෙරිණි. ඊට අදාළ ව එවකට අගවිනිසුරුව සිටි මොහාන් පීරිස් මෙසේ සටහන් තබා ඇත.
‘Counsel for the parties informs this court that by letter dated 2011/11/28 the Hon.AG has expressed the view that the petitioner should have been recruited as far back as in 2007 and has therefore recommended that the petitioner be recruited as soon as possible to the rank of ASP of police.
This court is also of the view that this is a fit and proper matter in which the petitioner’s case can be treated as a one-off matter and the petitioner’s request for promotion be accommodated.
We would direct the learned deputy SG to convey the views of this court to the IGP and direct respondent to act accordingly.’
එවකට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලෙස කටයුතු කළේ සංජය රාජරත්නම් මහතා ය. ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය ලබාදෙනු ලැබුවේ නීතිපති 2011 දී පොලිස්පතිට ද පිටපතක් සහිතව යොමුකළ ලිපියට අනුව ය. ඊට පසු පොලිස්පතිවරයා ඊට පිළිතුරු ද යොමුකර තිබිණි. ඒ වන විට පොලිසියේ කාන්තා සහකාර පොලිස් අධිකාරි නිලයේ පුරප්පාඩු නොපැවතුණු අතර, ඇය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ගැන පොලිස්පතිවරයා නීතිපතිගෙන් උපදෙස් පැතීය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා 2013 ඔක්තෝබර් 11 වැනිදා පොලිස්පතිට ලිපියක් යවමින් දැනුම්දුන්නේ ඇය පත්කළ යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබාදුන් දිනයේ සිට හෝ ඉන්පසු ඇතිවන පළමු පුරප්පාඩුවේ සිට බවයි.
‘Since the court order has not specified the date which the said promotion should be effected. I am of the view that the petitioner’s promotion need not to be ante-dated.’

නඩු තීන්දුවෙන් පසු පළමු පුරප්පාඩුව බිම්ෂානිට

2013 වසරේ ජූලි 12 වැනිදා සිට 2015 වසර වන තෙක් කාන්තා සහකාර පොලිස් අධිකාරි නිලයේ පුරප්පාඩු තිබුණේ නැත. රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන සහ ප්‍රජාතාන්ත්‍රීය පාලන පිළිබඳ අමාත්‍යංශය මගින් 2015 පෙබරවාරි 27 වැනි දින පොලිසියේ කාන්තා සහකාර පොලිස් අධිකාරි තනතුරු ගණන පහකින් වැඩි කළ අතර, ඒ සම්බන්ධයෙන් 2015 සැප්තැම්බර් 21 වැනිදා 15/1307/717/002 අංක දරන කැබිනට් මණ්ඩල සංදේශය ඉදිරිපත් කරනු ලැබීය. එය පොලිස් කොමිෂන් සභාවට යොමුකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරන ලද අතර, 2015 ඔක්තෝබර් 11 වැනිදා එම තීරණය ජාතික පොලිස් කොමිෂන් සභාවට යොමු කෙරිණි. පොලිස් කොමිෂන් සභාව එය අනුමත කර, එම පුරප්පාඩු පහ පුරවන ලදි. 2015 පෙබරවාරි මස 27 වැනිදා ඩීඑම්එස්/1184 අංක දරන ලිපිය මගින් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව ද කාන්තා සහකාර පොලිස් අධිකාරි තනතුරු පහක් අලුතින් ඇතිකිරීමට අනුමැතිය ලබාදුන්නේය. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්ගේ නිර්දේශ සැලකිල්ලට ගෙන එම පුරප්පාඩු පහ පිරවීමේදී 2015 පෙබරවාරි 27 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බිම්ෂානි ජාසිං ආරච්චි මහත්මිය ද කාන්තා සහකාර පොලිස් අධිකාරි තනතුරට පත්කිරීමට 2016 පෙබරවාරි පළමු වැනි දාතමින් යුත් ලිපියකින් අනුමැතිය ලබාදුන්නේය.
ඒ වන විට ඇය කාන්තා උප පොලිස් පරීක්ෂක ලෙස උසස්වීම් ලැබ සිටියාය. ඇය සහකාර පොලිස් අධිකාරි නිලයට පත්වන්නේ ජ්‍යෙෂ්ඨත්වය මත හෝ සීමිත තරඟ විභාගයෙන් හෝ විවෘත තරග විභාගයෙන් හෝ නොවන නිසා ඇගේ පත්වීම් ලිපිය නිකුත් කරන ආකාරය ගැන පොලිස්පතිවරයා නීතිපතිවරයාගෙන් සහ ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් කරුණු විමසා තිබිණි.

පත්වීමේ ලිපිය අනුව ඩීඅයිජී උසස්වීම 2033

2015 පෙබරවාරි මාසයේ සිට (පුරප්පාඩු ඇතිවූ දිනයේ සිට) ක්‍රියාත්මක වන පරිදි ඇය කාන්තා සහකාර පොලිස් අධිකාරි තනතුරට පත්කරමින් 2016 දෙසැම්බර් මස 12 වැනිදා ජාතික පොලිස් කොමිෂන් සභාව එන්පීසී/ජීඔ්/පීආර්/24/15 අංක දරන ඇගේ පත්වීම් ලිපිය නිකුත් කර තිබුණේ වසර තුනක පරිවාස කාලයකට යටත්ව ය. එනම් එය අලුත් පත්වීමකි. අදාළ පරිවාස කාලය ඇතුළත සම්පූර්ණ කළ යුතු පරීක්ෂණ 06ක් තිබිණි. ඇය පත්වන විට ඇයට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් වැඩි කාන්තා සහකාර පොලිස් අධිකාරිවරියෝ මෙන්ම කාන්තා පොලිස් අධිකාරිවරියෝ ද සේවයේ සිටියහ. බිම්ෂානි මහත්මිය නියමිත කාලයේදී පරීක්ෂණ සමත් වී අදාළ වැටුප් වර්ධක සියල්ල උපයාගෙන තිබුණේ නම්, ඇය කාන්තා පොලිස් අධිකාරි ධුරයට උසස්වීමට නියමිතව තිබුණේ 2021 වසරේ පෙබරවාරි මස 27 වැනිදා ය. එසේ නම් ඇය කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිලයට උසස්වීම් ලබන්නේ 2025 වසරේ පෙබරවාරි මස 27 වැනිදා ය. ඇය කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියක ලෙස පත්වීම සඳහා සම්මුඛ පරීක්ෂණයකට යෑමට සුදුසුකම් ලබන්නේ 2033 වසරේ පෙබරවාරි මස 27 වැනිදා ය.
එසේ තිබියදී 2019 පෙබරවාරි 05 වැනි දින, ඇය තම පත්වීම 2007 වසර දක්වා පෙරදාතම කරන ලෙස ඉල්ලමින් ජාතික පොලිස් කොමිෂන් සභාවට අභියාචනයක් යොමු කළාය. එම අභියාචනයට අදාළව පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවූ අතර, පොලිස්පතිවරයා වාර්තාවක් ලබාදෙමින් ඊට විරෝධතාව පළකළේය. ඒ වන විට පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේ පූජිත් ජයසුන්දර මහතා ය. ඊට පසු වැඩ බලන පොලිස්පති ලෙස පත්වූ චන්දන වික්‍රමරත්න මහතා ද ඇගේ පත්වීම පෙරදාතම කිරීමට විරුද්ධ විය. ඊට හේතුව බිම්ෂානි මහත්මියට කාන්තා සහකාර පොලිස් අධිකාරි ලෙස දුන් පත්වීම උසස්වීමක් නොවන බැවිනි. එය විවෘත පදනම මත ලබාදුන් පත්වීම් ලිපියකි. 1589/30 අංක දරන ගැසට්පත්‍රයේ සඳහන් කාර්ය පටිපාටික රීති අංක 31ට අනුව පත්වීමක් පෙරදාතම කළ නොහැකිය. ‘කිසිදු පත්කිරීමක් මොනයම් හේතුවක් නිසාවත් පෙරදාතම නොකළ යුතු වන්නේ’ යනුවෙන් එහි සඳහන් වේ. එසේම මුදල් රෙගුලාසි 201 හා කාර්ය පටිපාටික රීති අංක 28 අනුව පත්වීමක් සිදුකිරීමට නම් පුරප්පාඩු තිබිය යුතුය. 2007 වසරේ දෙසැම්බර් 31 වැනිදා වන විට තිබූ කාන්තා සහකාර පොලිස් අධිකාරි නිලයේ පුරප්පාඩු සියල්ල 2008 ජනවාරි පළමු වැනිදා සහ 2008 නොවැම්බර් 18 වැනිදා සම්පූර්ණ කර තිබිණි.
කෙසේ වෙතත් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්ගේ උපදෙස් සහ පොලිස්පතිගේ නිර්දේශ, කාර්ය පටිපාටික රීති සහ මුදල් රෙගුලාසි නොසලකමින් ජාතික පොලිස් කොමිෂන් සභාව 2019 ඔක්තෝබර් 23 වැනිදා එන්පීසී/ඊඩී/ජීඔ්/පීආර්/03/39/19 අංකයෙන් කාන්තා සහකාර පොලිස් අධිකාරි බිම්ෂානි මහත්මියගේ පත්වීම 2007 වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා පෙරදාතම කළ අතර, එය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිට දැනුම් දුන්නේය. ඒ අනුව පොලිස්පතිවරයා 2019 නොවැම්බර් 11 දින ඊට අදාළ පොලිස් පණිවුඩය නිකුත් කළ අතර, පත්වීම පෙරදාතම වීමේ ප්‍රතිඵලයක් ලෙස ඇය 2013.12.31 දින කාන්තා පොලිස් අධිකාරි තනතුරටත්, 2017.12.31 දිනට කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරටත් උසස්වීම් ලබාදෙන බවට පොලිස්පතිවරයා එදින නිවේදනය කළේය. ඒ වන විට වසර ගණනාවක් කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිලයේ මෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිලයේ ද සිටි පිරිසට වඩා ජ්‍යෙෂ්ඨත්වයක් ඇයට එමගින් ආරෝපණය විය. 2008 ජනවාරි අට වැනිදා සහකාර පොලිස් අධිකාරි නිලයට පත්වූ පිරිසටත් වඩා ජ්‍යෙෂ්ඨත්වයක් බිම්ෂානි මහත්මියට හිමි විය.
ශ්‍රී ලංකා පොලිසියේ කාන්තාවන් සඳහා තිබූ උසස්ම නිලය වූයේ කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිලයයි. එම නිලයේ සිටි පිරිස කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියන් වීම සඳහා සුදුසුකම් ලබන්නේ 2025 වසරේ වන බැවින් 2025 වසරේ සිට කාන්තා නියෝජ්‍ය පොලිස්පති තනතුරු කිහිපයක් සහ කාන්තා ජ්‍යෙෂ්ඨ නියේාජ්‍ය පොලිස්පති තනතුරක් ඇති කරන ලෙස ඉල්ලමින් පොලිස්පතිවරයා අදාළ ආයතනවලට 2020 වසරේ දී ලිපියක් යොමුකර තිබිණි. මේ වන විට අනුමත කාන්තා නියෝජ්‍ය පොලිස්පති තනතුරක් පොලිසියේ නොමැති අතර, නියමිත කාර්ය පටිපාටියට අනුව එම තනතුර ඇති කිරීමකින් තොරව ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් 2020 දෙසැම්බර් මස 12 වැනිදා බිම්ෂානි ජාසිං ආරච්චි මහත්මිය වැඩබලන කාන්තා නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්කළේය.
පොලිස් දෙපාර්තමේන්තුවේ කාන්තා නියෝජ්‍ය පොලිස්පති තනතුරක් නොතිබියදී නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ තනතුරකට කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියක   පත්කිරීම හා ජ්‍යෙෂ්ඨත්වයෙන් තමන්ට වඩා පහතින් සිටින නිලධාරියෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුරේ වැඩ බැලීමට පත්නොකරන ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 14 දෙනෙකු පොලිස්පතිගෙන් ඉල්ලා සිටි අතර, එම පත්කිරීම කළහොත් වන්දි ඉල්ලා නඩුමගට යන බව ද ඔවුහු නීතිඥවරයෙකු මාර්ගයෙන් පොලිස්පතිවරයාට දැනුම් දුන්හ. ඒ 2020 සැප්තැම්බර් 09 වැනිදා ය.
මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා පොලිස් කොමිෂන් සභාවට දැනුම් දුන් පසු එම කොමිෂන් සභාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ඉදිරිපත් කළ කරුණු ගැන අධ්‍යයනය කිරීම වෙනුවට එම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කළේය. ඊට පළිගැනීමක් ලෙස වෙනත් හේතු සඳහන් කරමින් ඇතැම් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට ස්ථාන මාරු ලබාදුන්නේය. පොලිස් කොමිෂන් සභාවට ගෙන්වා ප්‍රකාශ සටහන් කරගත්තේය. මෙම පත්වීමට එරෙහිව නඩු මගට ගියේ එම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 14 දෙනා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් තිස් ගණනකි.
ඊට අමතරව බිම්ෂානි මහත්මියගේ පත්වීමෙන් තමන්ට අසාධාරණයක් වූ බව සඳහන් කරමින් කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුර දරන කාන්තාවන් පිරිසක් ද මේ වන විට ශ්‍රී ලංකා මානාව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර තිබේ.
ඔවුන් සහ නඩුමගට ගිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් අදාළ ලේඛනවල සඳහන් කර ඇත්තේ බිම්ෂානි මහත්මිය සහකාර පොලිස් අධිකාරි නිලයට පත්ව අවුරුදු පහක් ගතවන්නටත් පෙර, නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස්වීම් ලැබුවද, තමන් සහකාර පොලිස් අධිකාරි නිලයට පත්ව අවුරුදු 13කටත් වඩා වැඩි කාලයක් ගතවුවද තවමත් නියේාජ්‍ය පොලිස්පති තනතුරුවලට උසස්වීම් නොලැබූ බවයි.

බිම්ෂානි මහත්මිය ඒ ඒ වසරවල කටයුතු කළ තනතුරු (සත්‍ය වශයෙන්ම)

  • 1997 – කාන්තා උප පොලිස් පරීක්ෂක
  • 2016 – කාන්තා පොලිස් පරීක්ෂක
  • 2016 – කාන්තා සහකාර පොලිස් අධිකාරි
  • 2019 – කාන්තා සහකාර පොලිස් අධිකාරි
  • 2019 – කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි
  • 2020 – කාන්තා නියෝජ්‍ය පොලිස්පති (වැඩබලන)
කාන්තා සහකාර පොලිස් අධිකාරි නිලයේ සිට කාන්තා නියෝජ්‍ය පොලිස්පති (වැඩබලන) නිලය දක්වා ගතවූ සැබෑ කාලය වසර 04කි.

සහකාර පොලිස් අධිකාරි නිලයේ සිට සාමාන්‍ය උසස්වීම් ක්‍රමවේදය

  • සහකාර පොලිස් අධිකාරි – වසර 06
  • පොලිස් අධිකාරි – වසර 04
  • ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි – වසර 07
  • සහකාර පොලිස් අධිකාරිවරයෙකු, නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු දක්වා උසස්වීමට ගතවන කාලය වසර 17කි.

Previous articleශ්‍රී ලංකා රජය බොරු කියනවා : බටහිර ජැටියට ඉන්දීය රජයේ සම්බන්ධයක් නෑ – ඉන්දියාවෙන් දෝෂාරෝපණයක්
Next articleමුතුරාජවෙල නාගරික සංවර්ධනයට දීම පිටුපස කූඨ අරමුණක් : මුදල් තියෙන්නෙ එතැන විතරයි – පරිසර ඇමැති

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here