ශ්‍රී ලංකා රජය බොරු කියනවා : බටහිර ජැටියට ඉන්දීය රජයේ සම්බන්ධයක් නෑ – ඉන්දියාවෙන් දෝෂාරෝපණයක්

කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය ආදානි සමාගම⁣ට ලබාදිම සම්බන්ධයෙන් වන යෝජනාව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් අනුමත කර ඇති බවට ශ්‍රී ලංකා රජය කරන ප්‍රකාශය සත්‍ය වශයෙන්ම වැරදි බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකාව එම තීරණය ගෙන ඇත්තේ ආයෝජක ආදානි සමාගම සමඟ සෘජුවම සම්බන්ධ වෙමින් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක අනුරග් ශ්‍රීවාස්තවා මහතා ප්‍රකාශ කළ බව ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය වාර්තා කළේය.
“කොළඹ මහ කොමසාරිස් කාර්යාලය දැනටමත් ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇත්තේ මහ කොමසාරිස් කාර්යාලයේ අනුමැතිය පිළිබඳ සඳහන් වී ඇති එම මාධ්‍ය නිවේදනය සත්‍ය වශයෙන්ම වැරදි බවයි. ශ්‍රී ලංකා රජය මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජකයින් සමඟ සෘජුව සම්බන්ධ වී ඇති බව අපට වැටහෙනවා,” යැයි ඔහු පැවසීය.
කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය ඉන්දියාවේ ආදානි සමාගමට ලබාදීම සඳහා වරාය හා නාවික ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඉකුත් පළමු වැනිදා හිමි වී තිබිණි.
එම කැබිනට් තීරණය සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වූයේ එම බටහිර පර්යන්තය ආදානි සමාගමට ලබාදීම සම්බන්ධයෙන් වන යොජනාවට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අනුමැතිය ලබා දී ඇති බවත් එම ආයෝජක සමාගම නම් කරනු ලැබ ඇත්තේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය බවත්ය.
මේ සඳහා ආයෝජකයන් නම් කරන ලෙස ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ ජපන් තානාපති කාර්යාලය වෙත දැනුම් දුන්නද, ආයෝජකයන් නම් කර ඇත්තේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පමණක් බව ද එහි සඳහන් විය.
ශ්‍රී ලංකා රජය ඒ සම්බන්ධයෙන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්
‘කොළඹ දකුණු වරායේ බටහිර බහාලුම් පර්යන්තය ඉන්දීය රජය සහ ජපන් රජය විසින් නම් කරනු ලබන පාර්ශ්වයන් සහ ශ්‍රි ලංකා වරාය අධිකාරිය හා එක්ව රාජ්‍ය පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කිරීමටත්, ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වන යෝජනා ඇගයීම් පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් සහ ව්‍යාපෘති කමිටුවක් පත් කිරීමටත්, 2021 පෙබරවාරි මස 01 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදි.
ඒ අනුව, සාකච්ඡා සම්මුති කමිටුව විසින් අනුමත කරන ලද, ඉදිකර, මෙහෙයුම් කර, පවරා දීමේ ගිවිසුම සහ යෝජනා ඉල්ලීම් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ ජපන් තානාපති කාර්යාලය වෙත යොමු කර, ආයෝජකයන් නම් කරන ලෙස ඉල්ලීමක් කර ඇත. Adani Ports and Special Economic Zone Limited(APSEZ Consortium) ඉදිරිපත් කළ යෝජනාව සදහා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ එකඟතාව ලැබී ඇති අතර, ජපන් රජය විසින් කිසිදු ආයෝජකයෙකු නම් කර නොමැත.
දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡා පදනම් කරගෙන අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය පරිදි Adani Ports and Special Economic Zone Limited(APSEZ Consortium) සහ එම සමාගමේ දේශීය නියෝජිත වන John Keels Holding PLC(APSEZ Consortium) සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා එක්ව රාජ්‍ය-පොද්ගලික ව්‍යාපාරයක් ලෙස වසර 35ක කාලයක් සදහා සංවර්ධනය කොට ක්‍රියාත්මක කර ආපසු භාර දීමේ පදනම යටතේ බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීම පිණිස වරාය හා නාවික අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.’
2021 පෙබරවාරි මස 01 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එම පර්යන්තය ඉන්දීය රජය සහ ජපන් රජය විසින් නම් කරනු ලබන පාර්ශ්ව සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා එක්ව රාජ්‍ය-පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කිරීමටත්, ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වන යෝජනා ඇගයීම් පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් සහ ව්‍යාපෘති කමිටුවක් පත්කිරීමටත් අනුමැතිය හිමිව තිබිණි.
පෙබරවාරි 01 වැනිදා කැබිනට් තීරණය සම්බන්ධයෙන් රජයේ නිවේදනය 
‘කොළඹ දකුණු වරායේ නැ‍ඟෙනහිර බහාලුම් පර්යන්තය (ECT) සංවර්ධනය කිරීමට අදාළව ශ්‍රී ලංකාව, ඉන්දියාව හා ජපානය යන රටවල් අතර සහයෝගිතා ගිවිසුමකට අත්සන් තබා ඇත. එම ගිවිසුමේ විධිවිධාන අනුව ඉන්දීය ආයෝජකයෙකු විසින් ඉදිරිපත් කරන ලද ආයෝජන ‍යෝජනාවක් ඇගයීම පිණිස සාකච්ඡා සම්මුති කමිටුවක් පත්කිරීමට 2020 ඔක්තෝබර් මස 26 දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදි. එකී සාකච්ඡා සම්මුති කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ පදනම් කරගෙන වරාය හා නාවික අමාත්‍යතුමා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.
* නැ‍ඟෙනහිර බහාලුම් පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සම්පූර්ණ හිමිකාරිත්වය සහිත බහාලුම් පර්යන්තයක් ලෙස මෙහෙයුම් කිරීම.
* කොළඹ වරාය මෙම කලාපයේ තරගකාරී වරායක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් හා ශ්‍රී ලංකා රජය විසින් අත්සන් තබා ඇති ජාත්‍යන්තර ගිවිසුම්වලට අනුගත වෙමින්, ඉන්දීය රජය සහ ජපන් රජය විසින් නම් කරනු ලබන පාර්ශ්වයන් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව රාජ්‍ය – පෞද්ගලික ව්‍යාපාරයක් වශයෙන් සංවර්ධනය කර ක්‍රියාත්මක කර වසර 35කින් ආපසු භාර දීමේ පදනම මත කොළඹ දකුණු වරායේ බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම.’

ජපානය නිහඬයි

එම කමිටුවේ යෝජනා මත, මේ සඳහා ආයෝජකයන් නම් කරන ලෙස ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ ජපන් තානාපති කාර්යාලය වෙත දැනුම් දුන්නද, ආයෝජකයන් නම් කර ඇත්තේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පමණක් බව රජය නිවේදනය කළේය.
ආදානි සමාගම (Adani Ports and Special Economic Zone Limited) ඉදිරිපත් කළ යෝජනාව සදහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ එකඟතාව ලැබී ඇති බවත්, දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡා පදනම් කරගෙන අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි මෙම තීරණය ගෙන ඇති බවත් එහි වැඩිදුරටත් දැක්විණි.

දේශීය නියෝජිතයා ජෝන් කීල්ස්

ඒ අනුව ආදානි සමාගම සහ එම සමාගමේ දේශීය නියෝජිතයා වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව රාජ්‍ය-පොද්ගලික ව්‍යාපාරයක් ලෙස වසර 35ක කාලයක් සඳහා බටහිර පර්යන්තය සංවර්ධනය කොට, ආපසු භාරදීමේ පදනම යටතේ බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා වරාය හා නාවික අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව මෙසේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබිණි.
මීට අදාළව වරාය හා නාවික ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා විසින් මීට පෙර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද ඇමැති මණ්ඩල සංදේශයට අනුව කොළඹ වරායේ බටහිර පර්යන්තය වසර 35ක කාලයකට මෙම පාර්ශ්වයට ලබාදීමට යෝජනා කර ඇත. එම වෙනත් පාර්ශ්වය යන්න අදාළ පත්‍රිකාවේ පැහැදිලි කර තිබුණේ ඉන්දීය රජය සහ ජපාන රජය නම් කරන පෞද්ගලික පාර්ශ්වයක් ලෙසයි. මේ සඳහා වරාය අධිකාරිය ද මැදිහත් විය යුතු බවත්, එය රාජ්‍ය-පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යා යුතු බවත් එහි වැඩිදුරටත් සඳහන් වී තිබිණි. නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉන්දියාව සහ ජපානය සමග ශ්‍රී ලංකාව ගිවිසුමක් අත්සන් කර තිබීම ඊට හේතු ලෙස ද දක්වා තිබිණි.

ජෝන් කීල්ස් සහ අජිත් නිවාඩ් කබ්රාල්

ජෝන් කීල්ස්හි සභාපතිවරයා ලෙස එම සමාගමේ වෙබ් අඩවියේ දැක්වෙන්නේ ක්‍රිෂාන් බාලේන්ද්‍ර ය. ගිහාන් කුරේ නියෝජ්‍ය සභාපතිවරයා වන අතර, විධායක නොවන අධ්‍යක්ෂවරුන් 05 දෙනෙකු ද සමාගම් අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටී. අෂ්රෝෆ් ඔ්මාර්, ප්‍රෙමිලා පෙරේරා, අමල් කබ්රාල්, නිහාල් ෆොන්සේකා සහ හෑන්ස් විජේසූරිය එම විධායක නොවන අධ්‍යක්ෂවරු වෙති.
මේ අතරින් අමල් කබ්රාල් සහ නිහාල් ෆොන්සේකා වර්තමාන රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල්ගේ ඥාති සහෝදරයන් වේ. ඩීඑෆ්සීසී බැංකුවේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා ද වන නිහාල් ෆොන්සේකාගේ සහෝදරියක ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු කර තිබූ අතර, නිහාල් ෆොන්සේකා ද අදාළ බැඳුම්කර සිද්ධියට සම්බන්ධ ප්‍රාථමික ගනුදෙනුකරුවකු වූ ඇක්විටි සමූහයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස අදාළ ගනුදෙනුව සිදුවන කාලයේ කටයුතු කර තිබූ බව මාධ්‍ය වාර්තා කළේය.
එසේම අදාළ ආන්දෝලනාත්මක ගනුදෙනුව සිදුවූ කාලයේදී මහ බැංකුවේ තවත් ප්‍රාථමික ගනුදෙනුකරුවකු වූ හැටන් නැෂනල් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස අමල් කබ්රාල් කටයුතු කර තිබිණි. මූල්‍ය සහ ප්‍රාග්ධන වෙළෙඳ කටයුතු විෂය භාර රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් පසුගිය ජනවාරි 28දා දිනපතා අයිලන්ඩ් පුවත්පතට පවසා තිබුණේ කොළඹ වරායේ පර්යන්ත සංවර්ධනය ඉන්දියාව සමග සිදුකිරීම අනිවාර්ය කටයුත්තක් බවයි. ඉන්දියාව මගහැර එය සිදු කළ නොහැකි බව ද ඔහු පවසා තිබිණි.

නැගෙනහිර ජැටියෙන් පසු

මීට පෙර ඉන්දියාවේ ආදානි සමාගමට ලබාදීමට නියමිතව තිබුණේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයයි. ඊට වෘත්තීය සමිති 23ක් ඇතුළු සිවිල් සංවිධානවලින් දැඩි විරෝධයක් එල්ල විය. එම පර්යන්තය කෙසේ හෝ ආදානි සමාගමේ ආයෝජනය සඳහා විවෘත කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ වරාය අධිකාරියේ සභාපති දයා රත්නායක ඇතුළු පිරිස මුලින් පැවසුවද, පසුව එම තීරණය වෙනස් කෙරිණි. ඒ අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සියයට සීයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පාලනය යටතේ තබාගැනීමටත්, එහි බටහිර පර්යන්තය සංවර්ධනය සඳහා ආයෝජන කැඳවීමටත් කැබිනට් මණ්ඩලය පසුගිය පෙබරවාරි 01 වැනිදා තීරණය කළේය.

බටහිර ජැටිය යනු කුමක්ද ?

කොළඹ වරායේ බටහිර පර්යන්තය යනු මෙතෙක් ඉදිකර නැති පර්යන්තයකි. කොළඹ වරායේ ක්‍රියාත්මක පර්යන්ත පහක් තිබේ. ජායා පර්යන්තය (Jaya Container Terminal), සමගි පර්යන්තය (Unity Container Terminal), SAGT (South Asia Gateway Terminal) පර්යන්තය, CICT (Colombo International Container Terminal) පර්යන්තය සහ නැගෙනහිර පර්යන්තය (EAST Container Terminal – ECT) ඒවා වේ. තවමත් ඉදිකර නොමැති යෝජිත පර්යන්තය වන්නේ WCT (Western Container Terminal) හෙවත් බටහිර පර්යන්තයයි. මේ අතරින් දැනට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කොළඹ වරායට අයිති පර්යන්තක් ලෙස ක්‍රියාත්මක වන්නේ ජායා පර්යන්තය (JCT) පමණි.
Previous article‘රටවිරුවන්’ ගැන ආණ්ඩුවේ ප්‍රතිචාරය තවමත් ඉබි ගමනක !
Next article2033 වෙනුවට 2020 නියෝජ්‍ය පොලිස්පති වූ බිම්ෂානි : ජ්‍යෙෂ්ඨ නිලධාරිනියන් මානව හිමිකම් කොමිසමට !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here