‘රටවිරුවන්’ ගැන ආණ්ඩුවේ ප්‍රතිචාරය තවමත් ඉබි ගමනක !

කොරෝනා වසංගතය නිසා මැදපෙරදිග ඇතුළු විදෙස් රටවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වාගැනීමේ වැඩපිළිවෙළ නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවට විදෙස් ශ්‍රමිකයෝ අවස්ථා ගණනාවකදී මැසිවිලි නැගූහ.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වාගැනීමේදී හෝටල් නිරෝධායනය සඳහා ප්‍රමුඛතාව ලබාදෙන බවට ද ඔවුහු චෝදනා කරති.
එමෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අරමුදල්වලින් පළාත් නවයේ නිරෝධායන මධ්‍යස්ථාන නවයක් ආරම්භ කර, විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් කඩිනමින් මෙරටට ගෙන්වා එම මධ්‍යස්ථානවල ස්ථානගත කිරීම සඳහා ඉකුත් පෙබරවාරි මුල් සතියේ කම්කරු අමාත්‍යවරයා සිටි ස්ථාවරය මේ වනවිට ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. එ් වෙනුවට පහසුකම් ඇති හෝටල් තෝරාගෙන හෝටල්වල නිරෝධායනය වීම සඳහා යන වියදම එම කාර්යාංශය මගින් දැරීමට තීරණය වී ඇත. නමුත් මෙම ක්‍රියාමාර්ග කිසිවක් මෙතෙක් ක්‍රියාත්මක වී නැත. මෙරටට ගෙන්වනු ලබන විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් පළාත් නවයේ නිරෝධායන මධ්‍යස්ථාන නවයක් ඉදිකරන බවට අමාත්‍යවරයා ප්‍රකාශ කර අද වන විට මාසයක් ගත වී තිබේ. තවමත් ශ්‍රමිකයන් මෙරටට ගෙන්වාගැනීමේදී හෝටල් නිරෝධායනය සඳහා වියදම් දැරිය හැකි පුද්ගලයන්ට ප්‍රමුඛතාව හිමි වන බවට චෝදනා එල්ල වේ.

ගැටළුව විසඳී නෑ : නිසි වැඩපිළිවෙලක් අවශ්‍යයි

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ගැටළුව තවමත් විසඳී නැති බවත්, එම ගැටළුව අවසන්වීමට නම් ඔවුන් මෙරටට ගෙන්වාගැනීමේ වැඩපිළිවෙල නිසි ක්‍රමවේදයකට සහ නිසි ප්‍රතිපත්තියකට අනුව සකස් විය යුතු බවත් විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ හඬ නගන සිවිල් සංවිධානයක් වන නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න මහත්මිය MediaLK වෙත පැවසුවාය.
MediaLK – විදේශගතව රැකියා කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මොන වගේ තත්ත්වයක ද මේ දිනවල ජීවිතය ගෙවන්නේ?
හේමමාලි අබේරත්න මහත්මිය – තාමත් ප්‍රශ්නය විසඳිලා නෑ. යම් ආකාරයකට ආණ්ඩුව පිරිස් ගේනවනෙ. රජයේ මැදිහත්වීමෙන් ඒක කෙරෙනවා. ඒත් ගේන එකෙන් ප්‍රශ්නය විසඳිලා නැහැ. ගේනවා වුණාට ලංකාවට ගෙනැල්ලා ලංකාවේ ගුවන්තොටුපොළෙන් ලංකාව ඇතුළට ගෙනැත්, ඒගොල්ලො එකතු කරගත්තු යම් මුදලක් තියෙනවා නම් ඒ මුදල පීසීආර්වලට සහ හෝටල් ගාස්තුවට අයකරනවා. ඒගොල්ලන්ගෙ තියෙන ලොකුම චෝදනාව තමයි, ඒ අය කොවිඩ් වසංගතයට මුහුණ දුන්නු වෙලාවෙ ඉඳන් එයාලා ගාව ඉතුරු කරගත්ත මුදලක් තියෙනවා නම්, ඒ මුදල තමයි එතැන ඉදලා එහෙ එයාලගේ ජීවිතය ගෙනයන්න වියදම් කළේ කියන එක. ලංකාවෙ ආණ්ඩුවවත්, එහෙ එම්බසියවත් ඒකට මැදිහත්වීමක් කළේ නැහැ ඒ අයට එහෙ ජීවත්වෙන්න උදව්වෙන්න. ඒ පාවිච්චි කරලා ඉතුරු වෙච්ච මුදල තමයි ඒ අය ලංකාවට එනකොටත් අතේ තිබුණෙ. ඒක තමයි මේ වියදම් වෙන්නෙ.
MediaLK – ඒ අය රජයේ නිරෝධායන පහසුකම්වලට යොමු කරන්නේ නැද්ද?
හේමමාලි අබේරත්න මහත්මිය – අන්න ඒක තමයි ලොකුම ගැටළුව. රජය ලොකු කතා කියනවා. නිරෝධායන පහසුකම් තියෙනවා කිව්වට එයාලා යවන්නේ හෝටල්වලට. ඒ හෝටල්වල ගාස්තුව අනිවාර්යෙන්ම ගෙවන්න ඕනෙ. පීසීආර්වලටත් ගෙවන්න ඕනෙ. ඒ වගේ ගාණක් ගෙවනවා කියන එක මේ එන අයට හිතන්නවත් බෑ. ඒ අය කියන එක තමයි එයාලා කොහොමද මෙච්චර මුදලක් ගෙවන්නේ කියන එක. මෙච්චර ලොකු ගාණක් පීසීආර්වලට – හෝටල්වලට ගෙවන්නේ කොහොමද කියන එක. එයාලා කියනවා එයාලට එච්චර මුදලක් ගෙවන්න බෑ කියලා. ඒක ලොකු ගැටළුවක්. ඒ නිසා දැන් මිනිස්සු ගෙන්නන එක විතරක් ප්‍රමාණවත් නෑ. ගෙන්නලා ඒකට අවශ්‍ය කරන පහසුකම් දෙන්න ඕනෙ. අපේ රටේ මැණික් කුළුණු, නෙළුම් කුළුණු හැදුවට වැඩක් නෑ. සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිත යථාර්ථයට පත්කරන්නේ නැතිව. තාමත් ජෝර්දාන්වල, කටාර්වල, කුවේට්වල මිනිස්සු බෑග් තියාගෙන මහ පාර්වල්වල, සුපර්මාර්කට්වල අයිනේ, පාක්වල වාඩිවෙලා ඉන්නවා එන්න විදිහක් නැතිව. ඔවුන් මෙරටට ගෙන්වන එක ගැන නිශ්චිත වැඩපිළිවෙලක් ආණ්ඩුවට නෑ. ඒකට අවශ්‍ය කරන ක්‍රමවත් මැදිහත්වීමක් කරන්නේ නෑ.
එතකොට මෙහෙන් ගිය පවුල් ඉන්නවානේ එහේ. සමහර පවුල් තියෙනවා සැමියා සහ බිරිඳ රට ගිහින් එහෙදි ළමයි හම්බෙලා, එහෙම නැත්නම් ළමයින් එක්ක රට ගියපු අය. ඒ ගොල්ලොන්ට ගුවන් යානයේ එද්දි ඒ ගුවන් යානයට සීට් බුක් කරන්න ගියහම චූටි බබාගේ ඉඳලා සම්පූර්ණ මුදලම අය කරනවා. ඒ අය කියන්නේ ඒක ලොකු ගැටළුවක් කියලා. එයාලා අහනවා ඇයි මෙහෙම කරන්නේ? චූටි බබාටත් සීට් එකට අය කරන්නේ ඇයි කියලා. එයාලා කියනවා එහෙම කරන එකෙන් ලොකු අසාධාරණයක් වෙනවා කියලා අතේ සතේ නැතිව ඉන්න වෙලාවක හිඟා නොකා හිඟා කන වෙලාවක. රජයට කියන්න පුළුවන් දැන් අපි ගෙන්නනවා කියලා දැන් තවදුරටත් එහෙම ප්‍රශ්නයක් නෑ කියලා. නමුත් ප්‍රශ්නය ඉවර වෙන්නේ නෑ නිශ්චිත ක්‍රමවේදයක් නිසි වැඩපිළිවෙලක් නැති නිසා.
කාන්තාවන් මැද පෙරදිග යවන එකටත් අපි විරුද්ධයි. විදෙස් ශ්‍රමික කොල්ලයට ලාංකිකයන් බිලිදෙන්න එපා කියලයි අපි ඉල්ලුවේ. මේ කොවිඩ් වසංගතය ඇතුළේ පිරිමි ශ්‍රමිකයනුත් මේකට ගොදුරු වෙන එකට එරෙහිව අපි සටන් කළේ. ගැහැණු – පිරිමි භේදයක් නැතිව දෙගොල්ලොම මේ ප්‍රශ්නයේ ගොදුරු බවට පත්වෙලා තියෙනවා. ඒක නිසා තමයි අපි අපේ සටන වෙන පැත්තකට ගත්තේ. ගැහැණු අය දෙපාරක්ම ගොදුරු බවට පත්වුණා. සාමාන්‍ය තත්ත්වය යටතේත් ගොදුරු වුණු කාන්තාවන් දෙවැනි පාරට මේ කොවිඩ් වසංගතය තුළත් ගොදුරු බවට පත්වුණා.
සමහර රටවල අපේ කාන්තාවන් කියනවා අපිට දැන් වෙන කරන්න දෙයක් නෑ අපිට මිනිස්සු එක්ක නිදාගන්න වෙලා තියෙනවා කියලා. එහෙම කරලා තමයි සල්ලි හොයන්න වෙන්නේ කියලා. වෙන කරන්නම දෙයක් නැති තැන එහෙම කරන්න වෙලා කියලා එයාලා කියනවා. එක කාන්තාවක් අපිට මෙහෙම කිව්වා “කෙනෙක් කියයි අපි වැරදියි කියලා. නමුත් අපට ඒකට වෙන උත්තරයක් නෑ. මිනිස්සු කියන්න පුළුවන් අපි වැරදියි කියලා. මේ රටේ මිනිස්සු අපට හිනා වෙයි ගල් ගහයි හැබැයි අපට කන්න දෙන්නෑ කවුරුත්. අපට උත්තරයක් නෑ – අපිට රස්සා නෑ – අපිට ජීවත්වෙන්න විදිහක් කන්න බොන්න විදිහක් නෑ. අපිව ගෙන්නන්නේ නෑ, ආණ්ඩුව ඒකට වගකියන්නේ නෑ. කවුරුවත් බලධාරියෙක් මැදිහත් වෙන්නෙත් නෑ. ඉතින් අපි ජීවත් වෙන්න ක්‍රමයක් හොයාගන්න ඕනෙ.”
MediaLK – හෝටල් නිරෝධායනය සඳහා මූලිකත්වය දෙනවා කියලා මතයක් තියෙනවා. ඒකේ සත්‍යතාව මොකක්ද ?
හේමමාලි අබේරත්න මහත්මිය – අනිවාර්යයෙන්ම එහෙම දෙයක් වෙනවා. මේ ක්‍රමය තුළ මෙයාලා හෝටල් නිරෝධායනයට මුල්තැන දෙනවා. හෝටල් නිරෝධායනයට එන අය මුලින්ම ගෙන්නනවා. එහේ ඉන්න අය අපට කතා කරලා කියනවා එන්න කියලා නම් දීලා ලිස්ට් හදලා අංක දීලා තියෙද්දි ඒ ගොල්ලෝ නැතිව වෙන අය ලංකාවට එවනව කියලා. එහෙම වුණු අවස්ථා ඕනෙතරම් තියෙනවා. ඒක තමයි මේකෙ ඛේදවාචකය. ප්‍රශ්නයට උත්තරයක් නෑ. කොහෙන්වත් විසඳුමක් නෑ. දැන් තේරෙයි ආණ්ඩුවට. විදේශ විනිමය අඩු වෙලානේ සියයට 3ට විතර. එතකොට මේ ප්‍රශ්නයට වෙන උත්තරයක් හොයාගන්න වෙනවා. නමුත් මේ ආණ්ඩුව තවත් පාඩුවේ ඉන්නේ මිනිස්සු මැරි මැරි හරි ඔය විදියට ඉන්න එක ආණ්ඩුවට හොඳයි. මොකද මේ තත්ත්වය තියෙද්දි මිනිස්සු ඒවාට අනුගත වෙලා ඒවට පුරුදු වෙලා වැඩ කරන්න ගත්තොත් ආයෙත් විදේශ විනිමය ලංකාවට එනවනේ. ඒ නිසා රජය පාඩුවේ ඉන්නවා.
MediaLK – සංවිධානයක් විදිහට රජයෙන් ඉල්ලන්න තියෙන්නේ මොකක්ද?
හේමමාලි අබේරත්න මහත්මිය – අපිට රජයෙන් ඉල්ලන්න දෙයක් නෑ. අපිට රජයට බලකිරීමක් තමයි කරන්න තියෙන්නේ. හැබැයි අපිට සමාජයට තියෙනවා ඉල්ලීමක් කරන්න. මේ අපේ රටේ මිනිස්සු. මේ අපේ සහෝදරියෝ. අපේ අම්මලා.මේ අපේ නෑදෑයෝ. මේ අපේ හිතවත්තු.සිංහල වෙන්න පුළුවන්, දෙමළ වෙන්න පුළුවන් , මුස්ලිම් වෙන්න පුළුවන්. ඒ අයගේ ප්‍රශ්නය හෙට අපේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේක අපට ගානක් නැත්තේ මේ අපේ ප්‍රශ්නයක් නෙමේ නිසානේ. අපේ ගෙදර දොරකඩට මේ ප්‍රශ්නය නොඑන තාක් මේක අපේ ප්‍රශ්නයක් නෙමෙයි කියලානේ හිතන්නේ. අපේ ගෙදර දොරකඩට මේ ප්‍රශ්නය එනකම් බලන් ඉන්නැතිව මේක අපේ ප්‍රශ්නයක් කරගෙන මේකට මැදිහත්වෙන්න. අවම වශයෙන් වචනයක් හරි මේ ගැන කතා කරන්න. මේ දුක් විඳින්නේ මේ මැරෙන්නේ, මේ ජීවිත අවදානමකට ගොදුරු වෙලා ඉන්නේ, මේ මිනී පෙට්ටියෙන් ගෙදර එන්නේ, ඉස්පිරිතාලවල දුක් විඳින්නේ, වෙන වෙන ලෙඩවලට ගොදුරු වෙලා මැරෙන්නේ, ලිංගික අතවරවලට ලක්වෙන්නේ, ඇඟ විකුණන්න වෙලා තියෙන්නේ අපේම සහෝදරියන්ට. ඒ ගොල්ලො වෙනුවෙන් යමක් කරන්න වෙහෙසෙන්න. ඒක වෙනුවෙන් අරගල කරන්න. ඒ මිනිස්සු වෙනුවෙන් මොනවම හරි දෙයක් කරන්න අපේ රටේ සහෝදර ජනතාව විදිහට මැදිහත්වෙන්න කියලා ඉල්ලනවා. මොකද රජයට අපට කියන්න දෙයක් නෑ. මේ රජයෙන් උත්තරයක් බලාපොරොත්තු වෙන්න ⁣බෑ. මොකද මේ සිස්ටම් එක වෙනස් වෙන්නේ නැති තාක්කල් අපිට මේවට උත්තරයක් බලාපොරොත්තු වෙන්න බෑ. මේ සිස්ටම් එක කියන්නේ මිනිස්සු විකුණගෙන කන සිස්ටම් එකක්. ඒ නිසා මේ සිස්ටම් එකෙන් වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ. හෙටත් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ විදිහම තමයි. මේ රටේ සහෝදර ජනතාව සිංහල වෙන්න පුළුවන්, දෙමළ වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන් මේ විදිහ වෙනස් කරන්න ධෛර්යය ලබාදෙන්න කියලා ඉල්ලා සිටිනවා.

රජයේ ස්ථාවරයේ වෙනස

මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මංගල රන්දෙණිය මහතාගෙන් MediaLK කළ විමසීමකදී ඔහු පැවසුවේ මීට පෙර රජය ප්‍රකාශ කළ අයුරින් පළාත්වලට එක් නිරෝධායන මධ්‍යස්ථානය බැගින් ඉදිකිරීම පවතින තත්ත්වය අනුව සිදුකළ නොහැකි බවත්, ඒ සඳහා පහසුකම් ඇති හෝටල් තෝරාගැනීමට කටයුතු කරන බවත් ය.
එම හෝටල්වල නිරෝධායනය වීම සඳහා ශ්‍රමිකයන්ට යන වියදම රජයෙන් දරන බවද ඔහු සඳහන් කළේය.
MediaLK – විදේශ ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වීම සම්බන්ධයෙන් වන අලුත්ම තත්ත්වය මොකක්ද ?
මංගල රන්දෙණිය මහතා – දැනට තියෙන්නේ පවතින ක්‍රමවේදයම තමයි. දැනට පවතින්නේ රජයේ නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩ පහසුකම් අනුව ගෙන්වන එකයි, පුළුවන්කමක් තියෙන අයට හෝටල්වලට නිරෝධායනය සඳහා අවස්ථාව ලබාදෙන එකයි තමයි.
MediaLK – දැනට මේ වෙද්දි විදේශ ශ්‍රමිකයන් කී දෙනෙක් ලංකාවට ගෙන්නලා තියෙනවාද?
මංගල රන්දෙණිය මහතා – සාමාන්‍යයෙන් 70,000කට වඩා වැඩි පිරිසක් 80,000කට ආසන්න පිරිසක් ගෙන්වලා තියෙනවා. මැදපෙරදිග කලාපයේ සහ අපේ විගමනික ශ්‍රමිකයන් සිටින ප්‍රධාන රටවල් ටික ගත්තහම රටවල් 16යිනෙ. ඒ ටිකෙන් අපි 35,000ක් පමණ ගෙන්වාගෙන තියෙනවා.
MediaLK – රස්සාවල් නැතිව මෙහෙට එන්න බැරිව විශාල පිරිසක් හිරවෙලා ඉන්නවා කියලා වාර්තා වෙනවා. ඒ සම්බන්ධයෙන් රජයේ වැඩපිළිවෙළ මොකක්ද ?
මංගල රන්දෙණිය මහතා – දැන් ඔවුන්ව පුළුවන් තරම් ඉක්මනින් ගෙන්වාගැනීමට ඒ රටවල්වලට ගුවන් යානා පහසුකම් ලබාදීමට තීරණය කරලා තියෙනවා. ඒ ගොල්ලො ගෙන්වාගැනීමේදී නිරෝධායන පහසුකම් මීට වඩා වැඩි කරන්න අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා.
MediaLK – රට තුළ සිටින පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය කිරීමත් සමග රජයේ නිරෝධායන පහසුකම්වල ඉඩ විදේශ ශ්‍රමිකයන් සඳහා මදිවන විට ඔවුන් ගෙන්වාගැනීම තාවකාලිකව නවත්වනවද ?
මංගල රන්දෙණිය මහතා – රට ඇතුළේ නිරෝධායනය සහ ආසාදිතයන්ගේ චක්‍ර හඳුනාගැනීම සෞඛ්‍ය අංශ විසින් සිදුකරනවා. එය ශ්‍රමිකයන් ගෙන්වාගැනීමට බාධාවක් වෙන්නේ නෑ.
MediaLK – රජය හෝටල් නිරෝධායනය ප්‍රවර්ධනය කරනවා කියලා චෝදනාවක් තියෙනවා. ඒකට මොකක්ද තියෙන පිළිතුර…?
මංගල රන්දෙණිය මහතා – ඒ චෝදනාව වැරදියි. රජයට පවත්වාගෙන යන්න පුළුවන් උපරිම නිරෝධායන මධ්‍යස්ථාන ප්‍රමාණය තවදුරටත් ඒ විදිහට පවත්වාගෙන යනවා. පුළුවන් කෙනෙක් ඉන්නව නම් විතරයි එන්න අවස්ථාව දෙන්නේ ගෙවීම් සහිත නිරෝධායනයට. ඒක කිසිම විදිහකට ප්‍රවර්ධනය කරන්නේ නෑ. බැරි නම් බෑ කියන්න කියලා මුලින්ම කියනවා.
MediaLK – කලින් කියලා තිබුණා විදේශ රටවල සිට එන අය නිරෝධායනය කරන්න පළාතකට එක නිරෝධායන මධ්‍යස්ථානය බැගින් ඉදිකරනවා කියලා. ඒකෙ තත්ත්වය කොහොමද ?
මංගල රන්දෙණිය මහතා – පළාත් කෙසේ වෙතත් ලංකාවේ පවතින හෝටල්වලට කොච්චර නිරෝධායන පහසුකම් ලබාදෙන්න පුළුවන්ද කියලා සොයා බැලුවා. කොවිඩ්-19 ජාතික මර්දන ඒකකයට ඉදිරිපත් කරලා තියෙනවා ඒවායින් සුදුසු හෝටල් තෝරලා දෙන්න කියලා. ඒ හෝටල්වල බිල් රජය මගින්, කාර්යාංශය මගින් ගෙවීමට ඉදිරියේදී කටයුතු කරන පදනම මත. මොකද නිරෝධායනයට තියෙන පහසුකම් දිහා බලපුවම හදිසි මධ්‍යස්ථාන ඉදිකිරීම කරන්න බෑ. පවතින පහසුකම් සහිත ස්ථාන තමයි ගන්න වෙන්නේ. එතතොට දැනට පහසුකම් සහිත ස්ථාන කියලා දළ වශයෙන් පෙනෙන්නේ යම් කිසි හෝටල් කාමර ප්‍රමාණයක් සහිත හෝටල් තමයි. එතකොට ඒ හෝටල්වලින් යම් කිසි අවම මිලකට පහසුකම් සපයන්න එකඟ වෙනව නම් ඒවා පාවිච්චි කරලා අත්‍යවශ්‍යයෙන්ම විදේශ ශ්‍රමිකයන්ට මුදල් ගෙවන්න බැරි අයට කාර්යාංශයේ ප්‍රතිපාදන හරහා වැඩ කටයුතු කරන්න කියලා තමයි අමාත්‍යවරයා දැනුම් දුන්නේ. ඒ අනුව වැඩ කටයුතු සිදුකරනවා.

ඔහු මීට මාස දෙකකට පෙර පැවසුවේ මෙවැන්නකි. (ජනවාරි 07)

MediaLK – කොරෝනා ප්‍රශ්නයෙන් පසු මේ වෙද්දි විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් කී දෙනෙක් මෙරට⁣ට ගෙන්වා තිබෙනවාද?
මංගල රන්දෙණිය මහතා – ලංකාවට ශ්‍රමිකයෝ හැටියට අපි ගෙනල්ලා තියෙනවා මැදපෙරදිග සහ නැගෙනහිර ආසියාතික රටවල, මැලේසියාව, කොරියාව, මාලදිවයින සහ මැදපෙරදිග ඇතුළු රටවල්වලින් 35,000ක් විතර පසුගිය මාර්තු මාසයේ ඉඳලා මේ වෙනකම්.
MediaLK – තව කොච්චර එන්න ඉන්නවාද?
මංගල රන්දෙණිය මහතා – තව එන්න ඉන්නවා 40,000ක් විතර..
MediaLK – ඉස්සරහටත් ඔවුන් මෙරටට ගෙන්වාගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවාද?
මංගල රන්දෙණිය මහතා – දිගටම ක්‍රියාත්මක වෙනවා. දැනට දිනකට 600ත් -700ත් අතර ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ගෙන්වනවා.
MediaLK – ඒ අයගේ නිරෝධායනය සඳහා අයකිරිම කීයද?
මංගල රන්දෙණිය මහතා – සම්පූර්ණයෙන්ම නොමිලේ නිරෝධායනය තමයි දෙන්නේ. කවුරුහරි සල්ලි තියෙනවා හෝලයකට යන්න ඕනෙ කිව්වොත් තමයි ඒ පහසුකම දෙන්නේ.
MediaLK – ඒ කියන්නේ එයාලා ඉල්ලීමක් කළොත් විතරද?
මංගල රන්දෙණිය මහතා – ඔව්. ඒ ගොල්ලෝ කියන්න ඕනෙ, ‘නෑ අපට රජයේ ඒවා එපා.අපිට හෝටල් දෙන්න’ කියලා. එතකොට හෝටල් දෙනවා.
MediaLK – ඒක අනිවාර්ය නැද්ද?
මංගල රන්දෙණිය මහතා – අනිවාර්යයෙන් හෝටලයකට යන්න කියලා කියන්නේ නෑ.
MediaLK – ටිකට්පතට වියදම දරන්න පුළුවන් අයනේ එන්නේ. ඒ රටවල ඇත්තටම ඇතිනේ කොවිඩ්-19 තත්ත්වය එක්ක තමන්ගේ රැකියාව නැතිවෙලා ටිකට් එකට සල්ලි නැතුව ඉන්න අය….?
මංගල රන්දෙණිය මහතා – ඒ හැමදෙනාටම රජයේ නිරෝධායනය තමයි දෙන්නේ.
MediaLK – නෑ..නෑ.. ලංකාවට එන්න විදිහක් නැතුව ඉන්න පිරිසක් ඇතිනේ ඔතැන?
මංගල රන්දෙණිය මහතා – එහෙම එන්න බැරි කිසිම කෙනෙක් නෑ. හැමෝටම එන්න පුළුවන්. ගුවන් යානා අපි දාන පිළිවෙල අනුව තමයි එන්න පුළුවන් වෙන්නේ.
MediaLK – එහෙම එන්න බැරිවුණු කවුරුත් නැද්ද?
මංගල රන්දෙණිය මහතා – එන්න බැරි වෙච්ච කෙනෙක් නෑ. කඳවුරුවල ඉන්න අය පවා දැනට ගෙනල්ලා තියෙන්නේ අති බහුතරයක්ම.
MediaLK – කෑම බීම අපහසුතා සම්බන්ධයෙන් රජයෙන් මොකක්ද කරලා තියෙන්නේ?
මංගල රන්දෙණිය මහතා – ඒවා දෙනවා අපි. ඒවා දීලා තමයි තියාගන්නේ අපි.

විදේශ අමාත්‍යාංශය මාස දෙකකට පෙර

කිසිදු මූල්‍යමය බරක් නොමැතිව නැවත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විදේශ අමාත්‍යාංශය අඛණ්ඩව පහසුකම් සලසන බව විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා උපුටා දක්වමින් විදේශ අමාත්‍යාංශය පසුගිය ජනවාරි 08 වැනිදා පැවසීය.
එහි මෙසේද සඳහන් විය.
“විදේශයන් හි පිහිටි ශ්‍රී ලාංකික දූත මණ්ඩලවල කාර්යභාරය නැවත පැමිණෙන්නන් මෙරටට ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් සංවිධානය කිරීම සඳහා පමණක්ම සීමා වී ඇති අතර, ඔවුන් පැමිණීමේදී පරීක්ෂාවට ලක්කිරීමෙන් අනතුරුව නොමිලයේ රජයේ පහසුකම් මත නිරෝධායනය ද කරනු ලබන බව ලේකම් ජයනාත් කොළඹගේ මහතා පෙන්වා දුන්නේය.
දූත මණ්ඩල හා දූත කාර්යාලවල ලියාපදිංචි වී ඇති විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ලැයිස්තුවෙන් ඔවුන් පත්ව සිටින අවදානම් මට්ටම් අනුව ප්‍රමඛතාව ලබා දී “පළමුව පැමිණෙන්නන්ට පළමුව සේවාව සැපයීමේ පදනම” මත ආපසු ගෙන්වා ගනු ලැබේ.
විදේශගත ශ්‍රමික ප්‍රජාව ආරක්ෂිතව නැවත මෙරටට පැමිණීම සම්බන්ධයෙන් අදාළ ගුවන් ගමන් ලබාගැනීමේ හැකියාව සහ ගුවන්තොටුපොළ බලධාරීන්ගේ අනුමැතිය මත විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ එහි නියෝජිතයන් ද අපගේ දූත මණ්ඩල සමඟ එක්ව කටයුතු කරයි.
කෙසේ වෙතත්, නිරෝධායන මධ්‍යස්ථාන භාරව සිටින යුද හමුදාව සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමේ කාර්යය භාරව සිටින සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වරින් වර සිදුකෙරෙන තක්සේරු කිරීම් සහ තොරතුරු මත, කාර්යසාධක බලකාය විසින් දිනකට ගමන් කිරීමට අවසර ලබා දෙනු ලබන මගීන් සංඛ්‍යාව තීරණය කරනු ලැබේ.
දේශීය නිරෝධායන හා වෛද්‍ය පහසුකම් සම්පූර්ණයෙන්ම භාවිත වී ඇති අවස්ථාවල දී, එවැනි පහසුකම් මුදල් ගෙවා ලබා ගැනීමට හැකියාවක් ඇති අය සඳහා, ගෙවීමේ පදනමක් මත නැවත මෙරටට ගෙන්වා ගැනීම විකල්පයක් බවට පත්වේ.
නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලියේදී මුදල් ගෙවා නිරෝධායන, පරීක්ෂණ සහ වෙනත් සැපයුම් සේවා සඳහා වැඩි කැමැත්තක් දක්වන විදෙස්ගත ශ්‍රී ලංකා ප්‍රජා කණ්ඩායම්වලට ශ්‍රී ලංකා දූත මණ්ඩල හරහා කුලී ගුවන් ගමන් අනුමත කර සංවිධානය කරනු ලැබේ.
නිරෝධායනය සහ අනෙකුත් අවශ්‍යතා සඳහා මුදල් ගෙවිය හැකි, සාපේක්ෂව කුඩා මගීන් පිරිසක් සඳහා ලබාදෙන තුන්වැනි ආකාරයේ පහසුකමක් ලෙස, භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් සහ තෝරාගත් වාණිජ ගුවන් ගමන් කිහිපයක් ද නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා අමාත්‍යාංශය විසින් අනුමත කරනු ලබන අතර, කොවිඩ් කාර්යසාධක බලකායේ නවතම නියෝගයට අනුව එක් ගුවන් ගමනකට උපරිම මගීන් 75 ක සංඛ්‍යාවක් සඳහා අවසර දෙනු ලැබේ.
ගුවන් ටිකට්පත්, පීසීආර් පරීක්ෂණ සහ නිරෝධායන ගාස්තු පිළිබඳව මගීන් සමඟ ගනුදෙනු කිරීම සඳහා අදාළ ගුවන් සමාගම්වල සාමාන්‍ය විකුණුම් නියෝජිතයන්ට (GSA) බලය පවරා ඇති අතර, අතිශය විශේෂිත අවස්ථාවලදී එවැනි පහසුකම් සඳහා කෙරෙන ඉල්ලීම් සඳහා හැර, සංචාරක අවශ්‍යතා සම්බන්ධයෙන් කිසිදු ආකාරයක ගෙවීම් හැසිරවීම සඳහා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලවලට බලය පවරා නොමැත.
මෙම වසංගත තත්ත්වය අස්ථිර හා අනපේක්ෂිත ලෙස පවතින බැවින්, නිතිපතා නැවත ඇගයීමක් සිදු කරනු ලබන අතර, ඒ අනුව නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය වරින් වර සමාලෝචනය කරනු ලැබේ.”
Previous articleඉරනතිව් තහනම් ද? : ඔව් – නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක
Next articleශ්‍රී ලංකා රජය බොරු කියනවා : බටහිර ජැටියට ඉන්දීය රජයේ සම්බන්ධයක් නෑ – ඉන්දියාවෙන් දෝෂාරෝපණයක්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here