බොදුබලෙත් සහරාන්ලාට උදව් කරලා? : සිංහල රාවය, මහසෝන් බලකාය, සිංහලේ ගැනත් පාස්කු කොමිසමෙන් නිර්දේශ

බොදුබල සේනා වැනි සංවිධානවල ක්‍රියාකාරකම් නිසා සහරාන් වැන්නන්ට සිය ආධිපත්‍ය තහවුරු කර ගැනීමට වඩාත් උචිත පසුබිමක් නිර්මාණ්‍ය වූ බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වෙයි.

ආගම් පදනම් කොටගත් අන්තවාදී සංවිධානවල නිර්මාතෘවරුන් ඔවුන් ජාතිවාදී, මානවවාදී හා දේශ හිතෛෂී පුද්ගලයින් ලෙස හුවා දක්වන්නට උත්සාහ කළත්, ඔවුන් කතා කරන, ක්‍රියා කරන හා සමාජ මාධ්‍යවල ප්‍රචාරය කරන දෑ පිළිබඳ යථාර්තවාදී දෘෂ්ටි කෝණයකින් විමසා බැලූ විට අවබෝධ වන කරුණක් නම් ඔවුන් සැබවින්ම ඒ ආකාරයේ පුද්ගලයින් නොවන බව යැයි ද කොමිෂන් සභා වාර්තාවේ සඳහන්වේ. ඔවුන්ගේ අභිමාර්ථයන්, චර්යා රටාවන් හා ක්‍රියාකාරිත්වය තුළින් ජන කොටස් අතර එදිරිවාදීකම් නිර්මාණය වන්නේයැයි ද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ දක්වා ඇත.

2019 අප්‍රේල් මස 21 වැනි දින සිදුවූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂා කර විමර්ශනය කර වාර්තා කිරීම හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයාව සිටිය දී මෙම පරීක්ෂණ කොමිෂන් සභාව පත් කළේය. ඉන් පසු බලයට පත්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද අවස්ථා කිහිපයක දී කොමිෂන් සභාවේ කාලය දීර්ඝ කළ අතර එහි අවසන් වාර්තා ජනවාරි මස 31 වැනි දා අවසන් කරන ලදුව ජනාධිපතිවරයාට බාර දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ජනත් ද සිල්වා මහතා පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විය. අභියාචනාධිකරණ විනිශ්චයකාර නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියචනාධිකරණ විනිශ්චයකාර නිහාල් සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු සහ විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව් ඒම් ඒම් ආර් අධාරී මෙම කොමිසමේ සාමාජිකයෝ වූහ.

අන්තවාදය ඇතිවීම කෙරෙහි බෞද්ධ පාර්ශ්වවල දායකත්වය සම්බන්ධයෙන් වාර්තාවේ මෙසේ සඳහන් වෙයි.

”යුද්ධය අවසන් වීමෙන් පසුව බෞද්ධ හිමිවරුන් කිහිප දෙනෙක් ගිහි දැඩි මතධාරීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් විසින් රට තුළ මුස්ලිම් විරෝධී හැඟීම් ඉස්මතු කිරීමේ ක්‍රියාදායමක් හිස ඔසවමින් පැවැති අතර, මුස්ලිම් විරෝධී හැඟීම් ප්‍රකට කරන ප්‍රචණ්ඩකාරී සිදුවීම් කිහිපයක් ද සිදුවී තිබිණි. වර්ෂ 2014 ජුනි මාසයේදී කළුතර දිස්ත්‍රික්කයේ, අළුත්ගම දර්ගා නගරය, වැලිපැන්න සහ බේරුවල යන ප්‍රදේශවල සංවිධානගතව ප්‍රචණ්ඩ ක්‍රියා මාලාවක් ක්‍රියාත්මක කරන ලදී. වර්ෂ 2017 දී ගාල්ල දිස්ත්‍රික්කයේ ගිංතොට ප්‍රදේශයේදී මුස්ලිම්වරුන්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වූ අතර, වර්ෂ 2018 දී ප්‍රධාන සිදුවීම් දෙකක් – පෙබරවාරි මස 27 වන දින අම්පාරේදී ද, මාර්තු මාසයේදී දිගන සහ තෙල්දෙනිය ප්‍රදේශවල මුස්ලිම්වරුන්ට එරෙහිව ප්‍රහාර මාලාවක් ද ක්‍රියාත්මක විය.”

මෙවැනි බෞද්ධ අන්තවාදී කණ්ඩායම්වලට නීතිය ක්‍රියාත්මක නොවූ බව ද පාස්කු කොමිෂන් සභා වාර්තවේ සඳහන් වේ. ”එමෙන්ම බොදුබල සේනාව වැනි අන්තවාදී බෞද්ධාගමික කණ්ඩායම්වලට එරෙහි විය යුතුව තිබූ අතර, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් සිදු කරන ලද වෛරී ප්‍රකාශවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටද අවස්ථාව තිබූ නමුත් ඒසේ සිදුකොට නොමැත. ” යැයි වාර්තාවේ එක් ස්ථානයක සඳහන් කර ති‌‌බේ.

එමෙන්ම ඇතැම් සංවිධානවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සිය මතය දක්වමින් කොමිසම මෙසේ සඳහන් කරයි.

”යම් බෞද්ධ සහ වෙනත් ආගමික සංවිධාන පිළිබඳ තොරතුරු විමර්ශන කොමිසම විසින් අධ්‍යයනය කළ අතර, බොදුබල සේනා සංවිධානය තහනම් කළ යුතු බවට විමර්ශන කොමිසම විසින් නිර්දේශ කරන අතර, සෙසු ආගමික සංවිධානවලට ක්‍රියාකාරකම් සමීපව අධීක්ෂණය කරමින් යම් ආකාරයක අන්තවාදී ක්‍රියා සිදු වන්නේ නම් ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ද ගත යුතු බව නිර්දේශ කොට ඇත. ”

සිංහල රාවය, මහසෝන් බලකාය, සිංහලේ ජාතික බලමුළුව යන සංවිධාන සමාජ විරෝධී හෝ අන්තවනාදී හෝ සංවිධාන බවට කොමිසම නිරීක්ෂණය කර තිබේ.

මෙම කොමිෂන් සභා වාර්තාවේ 22 වැනි පරිච්ඡේදයේ ‘සහදායක සාදක’  නම් මාතෘකාව යටතේ වාර්ගික හා ආගමික කැළඹීම් ඇති කළ, රට තුළ මෙවැනි ක්‍රියාවන්ට සහාය දෙන, මහජනතාවගේ නොසන්සුන්තාව සහ සමාජ ක්‍රමයට බාධා පමුණුවන, සමාජ අඛණ්ඩතාව කඩාකප්පල් කර වාර්ගික කැළඹීම් ඇති කළ පුද්ගලයන් ගැන සාකච්ඡා කරන අතර එම පරිච්ඡේදයේ දී බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ගැන ද සඳහන් කර තිබේ.  ඒ මෙසේය.

”මෙම හිමියන් බොදුබල සේනා සංවිධානයේ ලේකම් ය. එම සංවිධානය 2012 දී පිහිටුවන ලදී. වහාබ්වාදයෙන් රටට ඇති තර්ජනය හඳුනා ගැනීමේ ව්‍යාපාරයේ පෙරමුණ ගෙන සිටියේ මෙම හිමියන්ය. වාර්තාවේ කලින් විස්තර කර ඇති පරිදි මෙම කාරණය සම්බන්ධයෙන් එහිමියන් නිවැරදි බව ඔප්පු වී ඇත. එහෙත් මෙම තෙරුණ්වහන්සේගේ කතා වහාබ් මතවාදය ඉලක්ක කර ගැනීමෙන් පමණක් නතර නොවූ අතර පොදුවේ මුස්ලිම් ප්‍රජාව ද ඉලක්ක කර ඇත.”

”කෙසේ වෙතත්, තෙරුන්වහන්සේගේ සමහර ක්‍රියා සහ ප්‍රකාශ මුස්ලිම් තරුණයින් අන්තවාදයට තල්ලුවීමට සහ සහරාන් සමඟ එක්වීමට හේතුවී තිබේ. සහරාන් තම අභිප්‍රාය වෙනුවෙන් සහයෝගය ලබා ගැනීම සඳහා උන්වහන්සේගේ කථා සහ ක්‍රියාවන් යොදා ගත් බවට සාක්ෂි ඉදිරිපත් වී තිබේ. සහරාන් විසින් කරන ලද අවසාන වීඩියෝ පටයේ දී ප්‍රහාරයන් එල්ල කිරීමට හේතු දක්වමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ගේ ක්‍රියාවන් දක්වා ඇත.”

”අනෝන්‍ය රැඩිකල්කරණය යනු එකිනෙකාගේ රැඩිකලීකරණ මතවාදයන් ප්‍රවර්ධනය කරන රැඩිකලීකරණ චක්‍රයයි. පූජ්‍ය ගලගොඩඅත්‌තේ ඥානසාරහිමියන්ගේ ක්‍රියාවන්ගේ ප්‍රතිඵලය වූයේ මුස්ලිම් තරුණයින්ගේ අන්‍යෝන්‍ය රැඩිකලීකරණයයි. ”

”2014 පෙබරවාරි 17 වන දින පූජ්‍ය ගලගොඩගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් මහරගම සහ 2014 ජුනි මාසයේ පෝය දිනයට පසු දින අලුත්ගමදී කරන ලද අපහාසාත්මක ප්‍රකාශයන් පරීක්ෂණ කොමිෂන් සභාවට අසන්නට ලැබිණි.”

”2014 පෙබරවාරි 17 වන දින මහරගමදී සහ 2014 ජුනි මාසයේ පෝය දිනට පසු දින අලුත්ගමදී කරන ලද කතාවලට එරෙහිව 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුති පනත (අයිසීසීපීආර්) ප්‍රකාරව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව අපරාධ නඩු පැවරීමේ හැකියාව සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බව පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කරයි. මුස්ලිම් තරුණයින්ගේ රැඩිකලීකරණයට අර්ධ වශයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ද දායක වී ඇත්තෝය. ”

”බොදුබල සේනා සංවිධානයේ ක්‍රියාකාරකම් ආගමික සමගියට තර්ජනයක් බවත් එය තහනම් කළ යුතු බවත් පරීක්ෂණ කොමිෂන් සභාවේ අදහසයි.”

Previous articleසේවකයන් ඉවත් කරද්දි දිය යුතු වන්දිය ලක්ෂ 25ක් දක්වා ඉහළට
Next articleවතු සේවක දෛනික වැටුප : සති දෙකක් තුළ ගැසට් කරනවා – කම්කරු කොමසාරිස් ජනරාල්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here