ආයෝජකයන් නම් කළේ ඉන්දියාව පමණයි : බටහිර පර්යන්තය ආදානි සමාගමට දෙන්න කැබිනට් අනුමැතිය !

කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය ඉන්දියාවේ ආදානි සමාගමට ලබාදීම සඳහා වරාය හා නාවික ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඊයේ (01) හිමිවී තිබේ.
2021 පෙබරවාරි මස 01 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එම පර්යන්තය ඉන්දීය රජය සහ ජපන් රජය විසින් නම් කරනු ලබන පාර්ශ්ව සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා එක්ව රාජ්‍ය-පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කිරීමටත්, ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වන යෝජනා ඇගයීම් පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් සහ ව්‍යාපෘති කමිටුවක් පත්කිරීමටත් අනුමැතිය හිමිව තිබිණි.

ජපානය නිහඬයි

එම කමිටුවේ යෝජනා මත, මේ සඳහා ආයෝජකයන් නම් කරන ලෙස ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ ජපන් තානාපති කාර්යාලය වෙත දැනුම් දුන්නද, ආයෝජකයන් නම් කර ඇත්තේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පමණක් බව  කැබිනට් තීරණය සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි. ආදානි සමාගම (Adani Ports and Special Economic Zone Limited) ඉදිරිපත් කළ යෝජනාව සදහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ එකඟතාව ලැබී ඇති බවත්, දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡා පදනම් කරගෙන අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි මෙම තීරණය ගෙන ඇති බවත් එහි වැඩිදුරටත් දැක්වේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැවසුවේ අදාළ කරුණ සම්බන්ධයෙන් තමන්ට මේ අවස්ථාවේ කිසිදු ප්‍රකාශයක් කළ නොහැකි බවයි.

දේශීය නියෝජිතයා ජෝන් කීල්ස්

ඒ අනුව ආදානි සමාගම සහ එම සමාගමේ දේශීය නියෝජිතයා වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව රාජ්‍ය-පොද්ගලික ව්‍යාපාරයක් ලෙස වසර 35ක කාලයක් සඳහා බටහිර පර්යන්තය සංවර්ධනය කොට, ආපසු භාරදීමේ පදනම යටතේ බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා වරාය හා නාවික අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව මෙසේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
මීට අදාළව වරාය හා නාවික ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා විසින් මීට පෙර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද ඇමැති මණ්ඩල සංදේශයට අනුව කොළඹ වරායේ බටහිර පර්යන්තය වසර 35ක කාලයකට මෙම පාර්ශ්වයට ලබාදීමට යෝජනා කර ඇත. එම වෙනත් පාර්ශ්වය යන්න අදාළ පත්‍රිකාවේ පැහැදිලි කර තිබුණේ ඉන්දීය රජය සහ ජපාන රජය නම් කරන පෞද්ගලික පාර්ශ්වයක් ලෙසයි. මේ සඳහා වරාය අධිකාරිය ද මැදිහත් විය යුතු බවත්, එය රාජ්‍ය-පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යා යුතු බවත් එහි වැඩිදුරටත් සඳහන් වී තිබිණි. නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉන්දියාව සහ ජපානය සමග ශ්‍රී ලංකාව ගිවිසුමක් අත්සන් කර තිබීම ඊට හේතු ලෙස ද දක්වා තිබිණි.

ජෝන් කීල්ස් සහ අජිත් නිවාඩ් කබ්රාල්

ජෝන් කීල්ස්හි සභාපතිවරයා ලෙස එම සමාගමේ වෙබ් අඩවියේ දැක්වෙන්නේ ක්‍රිෂාන් බාලේන්ද්‍ර ය. ගිහාන් කුරේ නියෝජ්‍ය සභාපතිවරයා වන අතර, විධායක නොවන අධ්‍යක්ෂවරුන් 05 දෙනෙකු ද සමාගම් අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටී. අෂ්රෝෆ් ඕමාර්, ප්‍රෙමිලා පෙරේරා, අමල් කබ්රාල්, නිහාල් ෆොන්සේකා සහ හෑන්ස් විජේසූරිය එම විධායක නොවන අධ්‍යක්ෂවරු වෙති.
මේ අතරින් අමල් කබ්රාල් සහ නිහාල් ෆොන්සේකා වර්තමාන රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල්ගේ ඥාති සහෝදරයන් වේ. ඩීඑෆ්සීසී බැංකුවේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා ද වන නිහාල් ෆොන්සේකාගේ සහෝදරියක ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු කර තිබූ අතර, නිහාල් ෆොන්සේකා ද අදාළ බැඳුම්කර සිද්ධියට සම්බන්ධ ප්‍රාථමික ගනුදෙනුකරුවකු වූ ඇක්විටි සමූහයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස අදාළ ගනුදෙනුව සිදුවන කාලයේ කටයුතු කර තිබූ බව මාධ්‍ය වාර්තා කළේය.
එසේම අදාළ ආන්දෝලනාත්මක ගනුදෙනුව සිදුවූ කාලයේදී මහ බැංකුවේ තවත් ප්‍රාථමික ගනුදෙනුකරුවකු වූ හැටන් නැෂනල් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස අමල් කබ්රාල් කටයුතු කර තිබිණි. මූල්‍ය සහ ප්‍රාග්ධන වෙළෙඳ කටයුතු විෂය භාර රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් පසුගිය ජනවාරි 28දා දිනපතා අයිලන්ඩ් පුවත්පතට පවසා තිබුණේ කොළඹ වරායේ පර්යන්ත සංවර්ධනය ඉන්දියාව සමග සිදුකිරීම අනිවාර්ය කටයුත්තක් බවයි. ඉන්දියාව මගහැර එය සිදු කළ නොහැකි බව ද ඔහු පවසා තිබිණි.

බටහිරට වාසිය වැඩියි

කෙසේ වෙතත් කොළඹ නැව්ගත කරන්නන්ගේ ඇකඩමියේ ප්‍රධාන විධායක නිලධාරි රොහාන් මාසකෝරාළ පවසන්නේ නැගෙනහිර පර්යන්තය සහ බටහිර පර්යන්තය එක්වර සංවර්ධනය කිරීමේ වැඩි වාසිය බටහිර පර්යන්තයට අත්වන බවයි. ඊට හේතුව බටහිර පර්යන්තය සංවර්ධනය කරන සමාගමට වැඩි ජාත්‍යන්තර සම්බන්ධතා ප්‍රමාණයක් පැවතීම නිසා ඔවුන්ට වැඩි මෙහෙයුම් ප්‍රමාණයක් සිදු කිරීමේ අවස්ථාව හිමිවීම බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි. ඉන්දියාවේ ආදානි සමාගම මේ වනවිටත් ලෝකයේ ප්‍රමුඛතම නැව් සමාගමක් වන එම්එස්සී සමාගම සමග ඒකාබද්ධ මෙහෙයුම් සිදුකරන බව ද ප්‍රධාන විධායක නිලධාරිවරයා අවධාරණය කරයි. ඉන්දියාවේ මුන්ඩ්‍රා වරායේ බහාලුම් මෙහෙයුම් කටයුතු 2013 සිට සිදු කරන්නේ ආදානි සමාගම සහ එම්එස්සී සමාගම එක්ව ය. මේ සමාගම් දෙක එක්ව කටයුතු කිරීම ආරම්භ කිරීමෙන් පසු ආදානි සමාගම් සමූහයේ සභාපති ගෞතම් ආදානි මාධ්‍යයට පවසා තිබුණේ කලාපයේ සියලු මෙහෙයුම් කටයුතු තම භාරයට ගත් බවයි.

නැගෙනහිර ජැටියෙන් පසු

මීට පෙර ඉන්දියාවේ ආදානි සමාගමට ලබාදීමට නියමිතව තිබුණේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයයි.
ඊට වෘත්තීය සමිති 23ක් ඇතුළු සිවිල් සංවිධානවලින් දැඩි විරෝධයක් එල්ල විය. එම පර්යන්තය කෙසේ හෝ ආදානි සමාගමේ ආයෝජනය සඳහා විවෘත කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ වරාය අධිකාරියේ සභාපති දයා රත්නායක ඇතුළු පිරිස මුලින් පැවසුවද, පසුව එම තීරණය වෙනස් කෙරිණි. ඒ අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සියයට සීයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පාලනය යටතේ තබාගැනීමටත්, එහි බටහිර පර්යන්තය සංවර්ධනය සඳහා ආයෝජන කැඳවීමටත් කැබිනට් මණ්ඩලය පසුගිය පෙබරවාරි 01 වැනිදා තීරණය කළේය.

බටහිර පර්යන්තය විදෙස් සමාගම්වලට දෙන්න එපා – ජනපතිට ලිපියක්

මේ අතර කොළඹ වරායේ බටහිර පර්යන්තය විදේශීය සමාගම්වලට ලබාදීමේ තීරණය වහාම වෙනස් කරන ලෙස ඉල්ලමින් වරාය පොදු සේවක සමිතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පසුගියදා ලිපියක් යොමු කර තිබිණි. එම සමිතියේ කැඳවුම්කරු නිරෝෂන් ගොරකානගේ මහතාගේ අත්සනින් යොමු කර තිබූ මේ ලිපිය මගින් මේ පර්යන්තය වරාය අධිකාරිය සතුව තබාගැනීමේ වැදගත්කම ජනාධිපතිවරයාට අවධාරණය කර තිබූ අතර, වරායේ බටහිර පර්යන්තය යනු නැගෙනහිර පර්යන්තය මෙන්ම ජාතික ආර්ථිකයට වැදගත් ස්ථානයක් බවත්, එකිනෙකාට ප්‍රතිවිරුද්ධ රටවල් දෙකක ගොදුරුබිමක් බවට රට පත් නොකොට මෙම ප්‍රශ්නය විසඳීමට කඩිනමින් කටයුතු කරන ලෙසත් එමගින් ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබිණි.

අපේ ක්‍රමය මේක නෙමෙයි

කෙසේ වෙතත් වරාය පොදු සේවක සමිතියේ මේ ලිපියට එකඟතාව පළකරන්නේද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වාණිජ, කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ වරාය ශාඛාවේ ප්‍රධාන ලේකම් ශ්‍යාමල් සුමනරත්න මහතා‌ගෙන් පසුගියදා අප කළ විමසීමේදී ඔහු සඳහන් කළේ සියල්ලට විරෝධය දැක්වීම තම සංගමයේ ක්‍රමය නොවන බවයි. කොළඹ වරායේ දියකඩන සංවර්ධනය සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 300ක ණය මුදලක් ලබාගැනීමේදී මීට අදාළ පොරොන්දුවක් ලබාදී ඇතැයි ද සඳහන් කළ ලේකම්වරයා, බටහිර පර්යන්තය කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති ආකාරයට ලබාදීමට සිදුවන බව ද පෙන්වා දුන්නේය. 2005 වසරේදී රනිල් වික්‍රමසිංහ විසින් මීට අදාළ ගිවිසුමක් අත්සන් කර ඇති බවත්, එහි ඇතැම් කරුණු සංශෝධනය කළද, බටහිර පර්යන්තය විදේශයකට පැවරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ද එකඟ වී තිබූ බවත් ලේකම්වරයා අප කළ විමසීමට පිළිතුරු දෙමින් වැඩිදුරටත් පැවසීය.

ඉන්දියාවේ විරෝධය

කෙසේ වෙතත් බටහිර පර්යන්තය සම්බන්ධයෙන් මීට පෙර කැබිනට් මණ්ඩලය මගින් ගත් තීරණය සම්බන්ධයෙන් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මාධ්‍ය වෙත අදහස් දක්වා තිබිණි.
‘ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපානය 2019 මැයි මාසයේදී එළැඹි ත්‍රයිපාර්ශ්වික එකඟතාව අනුව එම රටවල්වල සහභාගීත්වයෙන් නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම කඩිනමින් ක්‍රියාත්මක වනු ඇතැයි යන්න ඉන්දීය රජයේ බලාපොරොත්තුව වේ. ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ කැපවීම නොයෙක්වර අප හට දන්වා තිබේ. ඒ බව නායක මට්ටමින්ද දන්වා ඇත. එසේම මීට මාස තුනකට ඉහතදී ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය ද විදෙස් ආයෝජකයන් සමග එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තීරණයක් ගත්තේය.’

බටහිර ජැටිය යනු කුමක්ද ?

කොළඹ වරායේ බටහිර පර්යන්තය යනු මෙතෙක් ඉදිකර නැති පර්යන්තයකි. කොළඹ වරායේ ක්‍රියාත්මක පර්යන්ත පහක් තිබේ. ජායා පර්යන්තය (Jaya Container Terminal), සමගි පර්යන්තය (Unity Container Terminal), SAGT (South Asia Gateway Terminal) පර්යන්තය, CICT (Colombo International Container Terminal) පර්යන්තය සහ නැගෙනහිර පර්යන්තය (EAST Container Terminal – ECT) ඒවා වේ. තවමත් ඉදිකර නොමැති යෝජිත පර්යන්තය වන්නේ WCT (Western Container Terminal) හෙවත් බටහිර පර්යන්තයයි. මේ අතරින් දැනට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කොළඹ වරායට අයිති පර්යන්තක් ලෙස ක්‍රියාත්මක වන්නේ ජායා පර්යන්තය (JCT) පමණි.

ඊයේ අනුමැතිය හිමි වූ කැබිනට් තීරණය සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනය  පහතින්

‘කොළඹ දකුණු වරායේ බටහිර බහාලුම් පර්යන්තය ඉන්දීය රජය සහ ජපන් රජය විසින් නම් කරනු ලබන පාර්ශ්වයන් සහ ශ්‍රි ලංකා වරාය අධිකාරිය හා එක්ව රාජ්‍ය පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කිරීමටත්, ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වන යෝජනා ඇගයීම් පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් සහ ව්‍යාපෘති කමිටුවක් පත් කිරීමටත්, 2021 පෙබරවාරි මස 01 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදි.
ඒ අනුව, සාකච්ඡා සම්මුති කමිටුව විසින් අනුමත කරන ලද, ඉදිකර, මෙහෙයුම් කර, පවරා දීමේ ගිවිසුම සහ යෝජනා ඉල්ලීම් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ ජපන් තානාපති කාර්යාලය වෙත යොමු කර, ආයෝජකයන් නම් කරන ලෙස ඉල්ලීමක් කර ඇත. Adani Ports and Special Economic Zone Limited(APSEZ Consortium) ඉදිරිපත් කළ යෝජනාව සදහා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ එකඟතාව ලැබී ඇති අතර, ජපන් රජය විසින් කිසිදු ආයෝජකයෙකු නම් කර නොමැත.
දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡා පදනම් කරගෙන අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය පරිදි Adani Ports and Special Economic Zone Limited(APSEZ Consortium) සහ එම සමාගමේ දේශීය නියෝජිත වන John Keels Holding PLC(APSEZ Consortium) සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා එක්ව රාජ්‍ය-පොද්ගලික ව්‍යාපාරයක් ලෙස වසර 35ක කාලයක් සදහා සංවර්ධනය කොට ක්‍රියාත්මක කර ආපසු භාර දීමේ පදනම යටතේ බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීම පිණිස වරාය හා නාවික අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.’

පෙබරවාරි 01 වැනිදා කැබිනට් තීරණය සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය

‘කොළඹ දකුණු වරායේ නැ‍ඟෙනහිර බහාලුම් පර්යන්තය (ECT) සංවර්ධනය කිරීමට අදාළව ශ්‍රී ලංකාව, ඉන්දියාව හා ජපානය යන රටවල් අතර සහයෝගිතා ගිවිසුමකට අත්සන් තබා ඇත. එම ගිවිසුමේ විධිවිධාන අනුව ඉන්දීය ආයෝජකයෙකු විසින් ඉදිරිපත් කරන ලද ආයෝජන ‍යෝජනාවක් ඇගයීම පිණිස සාකච්ඡා සම්මුති කමිටුවක් පත්කිරීමට 2020 ඔක්තෝබර් මස 26 දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදි. එකී සාකච්ඡා සම්මුති කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ පදනම් කරගෙන වරාය හා නාවික අමාත්‍යතුමා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.
* නැ‍ඟෙනහිර බහාලුම් පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සම්පූර්ණ හිමිකාරිත්වය සහිත බහාලුම් පර්යන්තයක් ලෙස මෙහෙයුම් කිරීම.
* කොළඹ වරාය මෙම කලාපයේ තරගකාරී වරායක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් හා ශ්‍රී ලංකා රජය විසින් අත්සන් තබා ඇති ජාත්‍යන්තර ගිවිසුම්වලට අනුගත වෙමින්, ඉන්දීය රජය සහ ජපන් රජය විසින් නම් කරනු ලබන පාර්ශ්වයන් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව රාජ්‍ය – පෞද්ගලික ව්‍යාපාරයක් වශයෙන් සංවර්ධනය කර ක්‍රියාත්මක කර වසර 35කින් ආපසු භාර දීමේ පදනම මත කොළඹ දකුණු වරායේ බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම.’

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here