ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීම අහවර වෙලා : මානව හිමිකම් නියෝජ්‍ය මහ කොමසාරිස් සාකච්ඡාව අවසන් කරමින් කියයි

මනව හිමිකම් කවුන්සිලය අද (25) ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ වාර්තාව පිළිබඳ සාකච්ඡාව අවසන් ක⁣⁣ළේය.
මානව හිමිකම් මහ කොමසාරිස්වරිය වන මිෂෙල් බැචෙලට්, ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ සිය වාර්තාව ඊයේ (24) එම කවුන්සිලය වෙත ඉදිරිපත් කළ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන ඊට පිළිතුරු ලබාදුන්නේය.
එම සාකච්ඡාවේදී රටවල් සහ සිවිල් සංවිධාන 48ක නියෝජිතයින් සිය අදහස් ඉදිරිපත් කළ අතර ඇතැම් නියෝජිතයන් මහකොමසාරිස්වරියගේ වාර්තාව සහ එමගින් පෙන්වා දී ඇති අතීත මානව හිමිකම් උල්ලංගණයන් සම්බන්ධයෙන් වගවීම පිළිබඳ කරුණු පිළිගත් අතර ශ්‍රී ලංකාවේ වර්තමාන මානව හිමිකම් තත්ත්වය පිළිබඳව ද අවධානය යොමු කරන ලදී.
වත්මන් රජය මිලිටරීකරණය කිරීම සහ දෙමළ හා මුස්ලිම් ප්‍රජාවන්ට එය බලපාන ආකාරය සැලකිලිමත් විය යුතු බව ද කොවිඩ්-19 වින්දිතයින්ගේ දේහ බලහත්කාරයෙන් ආදාහනය කිරීම නතර කළ යුතු බව ද ඇතැම් නියෝජිතයෝ පැවසූහ.
40/1 යෝජනාවෙන් ශ්‍රී ලංකාව ඉවත්වීම සහ පුළුල් මානව හිමිකම් කවුන්සිල ක්‍රියාවලියට එහි සහාය නොලැබීම කණගාටුවට කරුණක් බවත් ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය සඳහා ඇති නිදහස අඩුවෙමින් පැවතීම ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කළ යුතු බවත් ඇතැම්හූ කීහ.
එමෙන්ම යාපනය විශ්ව විද්‍යාලයේ ස්මාරකය කඩා බිඳ දැමීම පිළිබඳව ඇතැම් නියෝජිතයෝ කණගාටුව ප්‍රකාශ කළ අතර, පසුගිය කාලය සලකාබැලීමේදී දේශීය මානව හිමිකම් ක්‍රියාමාර්ග විශ්වාසනීය නොවන බව ද සඳහන් කළහ. දශකයකට ආසන්න කාලයක් කවුන්සිලයේ මැදිහත්වීම අතීත යුද අපරාධ සම්බන්ධයෙන් වගවීමක් ඇති කර නැති බවත් ශ්‍රී ලංකාව රජයේ ජ්‍යෙෂ්ඨ තනතුරුවලට වැරදිකරුවන් පත් කර තවදුරටත් වැරදිවලට පහසුකම් සපයන බවත් ඇතැම්හු පෙන්වා දුන්හ.
වගවීමේ ක්‍රියාවලියට වින්දිතයින්ට සම්බන්ධ විය හැකි ක්‍රම පිළිබඳව ඇතැම් නියෝජිතයෝ මහ කොමසාරිස්වරියගෙන් විමසූහ.
වියට්නාමය, බෙලරූසය, චීනය, පිලිපීනය, කියුබාව, සිරියාව, ඉරානය, රුසියාව, පාකිස්තානය, නේපාලය, ඊජිප්තුව, කාම්බෝජය, අසර්බයිජානය, ලාඕසය, නිකරගුවාව යන රටවල් ශ්‍රී ලංකාවට සහය පළ කරමින් අදහස් දැක්වීය.
එම රටවල්වල ඇතැම් නියෝජිතයන් කියා සිටියේ වාර්තාවේ නිසි විශ්ලේෂණයක් අන්තර්ගත නොවන බවත් කොවිඩ්-19 වසංගතයේ බලපෑම හා ශ්‍රී ලංකාවේ ප්‍රකාශ අදාළ වාර්තාව තුළ සැලකිල්ලට ගෙන නැති බවත් ය. මානව හිමිකම් තත්ත්වය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකාව දරන උත්සාහය සහ එහි ගැටළු සාකච්ඡා කිරීමේදී එහි විවෘතභාවය අගය කළ යුතු බව ද එම රටවල්වල ඇතැම් නියෝජිතයෝ පැවසූහ.
එමෙන්ම අදාළ වාර්තාව මගින්, ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ ශ්‍රී ලංකාවේ දීර්ඝ ඉතිහාසය මෙන්ම විශ්ව කාලාන්තර සමාලෝචනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැක්වූ සහයෝගීතාව වැරදි ලෙස අර්ථකථනය කර ඇති බව ද ඔවුහු කීහ.
අවසන් අදහස් දැක්වීමේදී මානව හිමිකම් නියෝජ්‍ය මහ කොමසාරිස් නාඩා අල්-නෂීෆ් සඳහන් කළේ මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා රජය සමඟ ඉතා අවංක හා විවෘත සම්බන්ධතාවයක් භුක්ති විඳ ඇති බවයි. වගවීමේ ක්‍රියාවලියේදී වින්දිතයින්ට සම්බන්ධ විය හැකි ක්‍රම පිළිබඳව ඇතැම් නියෝජිතයන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇය සඳහන් කළේ වගවීමේ යාන්ත්‍රණයන් සැලසුම් කිරීමේදී වින්දිතයින්ට කේන්ද්‍රීය ස්ථානයක් ලබාදිය යුතු බවයි. මේ සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය සහාය ලබා දුන් බවත් ඇය සඳහන් කළාය. ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූල විය යුතු බවද ඇය පැවසුවාය.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් බරපතල ලෙස උල්ලංගණය කිරීම් සම්බන්ධයෙන් මහකොමසාරිස්වරියගේ කාර්යාලය විසින් විශාල සාක්ෂි / ලේඛන සංඛ්‍යාවක් එකතු කරනු ලැබ ඇති බවත් ඒවා විශ්වීය අධිකරණ බලය යටතේ නඩු පැවරීම සඳහා ලබා දීමට සූදානම් බවත් ඇය සඳහන් කළාය.
ඇය මෙසේද කීවාය.
“පිලිපීනය සඳහන් කළා කොරෝනා වසංගතය නිසා ලංකාව මුහුණ දුන් අභියෝග ගැන සඳහන් කරන්න අසමත් වෙලා කියලා. නමුත් මම කියන්න ඕන ඒ ගැන සඳහන් වෙලා තියෙනවා – වසංගතය නිසා පෙර නොවූ විරු අභියෝග ශ්‍රී ලංකාව මුහුණ දුන් බවට. නමුත් මිලිටරිකරණය සමග කොරෝනා වසංගතයේ සම්බන්ධයක් නැහැ. ආරක්ෂක අමාත්‍යාංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය මිනිසුන්ගේ ජීවිතවලට බලපාන අයුරින් ව්‍යාප්ත කරලා තියෙනවා. දුප්පත්කම තුරන් කිරීම, පුරාවිද්‍යා උරුමයන් වැනි කාර්ය සාධක බලකාවලට මිලිටරි පුද්ගලයන් පත්කරලා තියෙනවා. මෙන්න මේ ගැනයි අපි කියලා තියෙන්නේ.
ශ්‍රී ලංකාවට සකස් කර දුන් වගවීමේ යාන්ත්‍රණය තුළ වින්දිතයන් තමයි කේන්ද්‍රය ලෙසට ඇතුළත් කරලා තිබුණේ. 30/1 යෝජනාව මගින් එය තමයි තහවුරු කරලා තිබුණේ. නමුත් ලංකාවේ වින්දිතයන් අතහැර දමලා තියෙනවා. වින්දිතයින්ගේ ආරක්ෂාව සහ ගරුත්වය ආරක්ෂා වනු පිණිස වින්දිතයන්ට සංවේදී වූ යාන්ත්‍රණයක් සැලසුම් කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට අපි ලංකාවට තාක්ෂණික සහය ලබාදුන්නා.
අපි අපේක්ෂා කරනවා ශ්‍රී ලංකාව මෙම කවුන්සිලය සමග දිගටම කටයුතු කරයි කියලා. අපි හැමෝම එකම පැත්තක ඉන්නේ. ඒක නිසයි ⁣අපි මේ ගැන මෙච්චර කටයුතු කරන්නේ. වින්දිතයින්ගේ පවුල්වල අය තුළ විශ්වාසයක් ගොඩනැගීමට අවශ්‍යයි. දේශීය ක්‍රියාවලිය තුළ සාර්ථක විසඳුමකට යන්න බැරි වෙලා තියෙනවා. යුක්තිය පසිඳලීම අහවර වෙලා තියෙනවා. ඒකයි අපි පුළුල් වගවීමක් ඉල්ලා සිටින්නේ.
ශ්‍රී ලංකාවේ සිදුවූ මානව හිමිකම උල්ලංගණයන් ගැන සාක්ෂි එක්තැනක රැස් කරලා තියෙනවා. ඒවා ඉදිරියේදී වගවීමේ ක්‍රියාවලියට භාවිත කරන්න පුලුවන්. අධිකරණ ක්‍රියාවලියක් සඳහා සාමාජික රාජ්‍ය වලට ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. අපිට මේ සම්බන්ධයෙන් වි⁣⁣⁣ශේෂඥ සම්පත් අවශ්‍යයි.
මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිනවා සමාජ ක්‍රියාකාරීන්, මානව හිමිකම් ක්‍රියාකාරීන්, රාජ්‍ය නොවන සංවිධාන, වින්දිතයින් සහ සිවිල් ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් සෝදිසි කිරීම්, හිරිහැර කිරීම් නවත්වන්න කියලා. ශ්‍රී ලංකා රජය ඇතැම් නීති අවභාවිත කරන බවක් පෙනෙන්න⁣ට තියෙනවා. රාජ්‍ය නොවන සංවිධාන නියාමනයට නීති ගෙනෙන බවක් වාර්තා වෙලා තියෙනවා. අපි සිවිල් සංවිධාන ආරක්ෂා කරන්න ඕන. ඔවුන්ට සම්පත් තවදුරටත් ලබාදෙන්න ඕනේ. “
එක්සත් රාජධානිය, යුරෝපා සංගමය, නෝර්වේ (නෝර්ඩික් රටවල් වෙනුවෙන්), කැනඩාව, ජර්මනිය, රුසියානු සමූහාණ්ඩුව, ප්‍රංශය, උතුරු මැසිඩෝනියාව, ඕස්ට්‍රේලියාව, පිලිපීනය, ස්විට්සර්ලන්තය, වෙනිසියුලාව, ජපානය, නෙදර්ලන්තය, ඉන්දියාව, මාෂල් දූපත්, උතුරු කොරියාව, බෙල්ජියම, ගැබොන්, පකිස්ථානය, එක්සත් ජනපදය, ඉරානය, කැමරූන්, චීනය, බෙලරුස්, මාලදිවයින, මොන්ටිනිග්‍රෝ, වියට්නාමය, සිරියාව, කාම්බෝජය, නේපාලය, ඊජිප්තුව, අයර්ලන්තය, අසර්බයිජානය, ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, නිකරගුවාව, කියුබාව සහ එරිත්‍රියාව ශ්‍රී ලංකාව සම්බන්ධ සාකච්ඡාවේදී අදහස් දැක්වීය.
පහත සඳහන් සිවිල් සංවිධාන ද මෙහිදී අදහස් දැක්වීය.
  • International Movement Against All Forms of Discrimination and Racism
  • Amnesty International
  • Human Rights Watch
  • Asian Forum for Human Rights and Development
  • Lawyers’ Rights Watch Canada
  • International Commission of Jurists
  • Commonwealth Human Rights Initiative
  • CIVICUS – World Alliance for Citizen Participation
  • Society for Threatened Peoples
  • Christian Solidarity Worldwide.
මහ කොමසාරිස්වරියගේ අදහස් දැක්වීම (පෙබරවාරි 24 සාකච්ඡාව)
ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් වී වසර 12කට ආසන්න කාලයක් ගතවී ඇති නමුත් එම සන්නද්ධ ගැටුමේ වින්දිතයින්ට සාධාරණය ඉටු කිරීම සඳහා සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා දේශීය ක්‍රියාමාර්ග ගැනීම නැවත නැවතත් අසමත් වී තිබෙනවා.
2015 දී එවකට ශ්‍රී ලංකා රජය මෙම ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් කැපවීම් සිදුකර තිබියදීත් ඉන්පසු පත්වූ වත්මන් රජය යුක්තිය ඉටුකිරිම සඳහා වගවීමේ ක්‍රියාවලියක් අනුගමනය කිරීමට අසමත් වුණා. යුද්ධයෙන් දිවි ගලවාගත් දහස් ගණනක් වූ සියලු ජනකොටස්වල ජනතාවට එහි බලපෑම විනාශකාරී වූ අතර පසුගිය වසර පුරා ඇති වූ කලබලකාරී ප්‍රවණතා මෙම වාර්තාව මගින් ඉස්මතු කර දක්වා තිබෙනවා. අතීත මානව හිමිකම් උල්ලංගණයන් සම්බන්ධයෙන් වගවීම ඉදිරියට ගෙනයාමට නැවත නැවතත් අපොහොසත් වීමෙන් සහ කවුන්සිලයේ 30/1 යෝජනාවට සහ ඊට අදාළ ක්‍රියාමාර්ග සඳහා වූ අනුග්‍රහය ඉවත් කර ගැනීමෙන්, වැරදිවලට දඬුවම් නොලැබීම අවසන් කිරීම සඳහා ජාතික ක්‍රියාවලියක් හරහා ප්‍රගතියක් ලබා ගැනීම⁣ට ඇති හැකියාවට ශ්‍රී ලංකා රජය දොරටු වසා දමා තිබෙනවා.
මීට පෙර සැලකිය යුතු ලෙස වර්ධනය වෙමින් පැවති සිවිල් සමාජයට සහ ස්වාධීන මාධ්‍ය සඳහා තිබූ නිදහස් අවකාශය දැන් වේගයෙන් නැතිවෙමින් තිබෙනවා.
මෑතකදී සම්මත වූ විසිවන ව්‍යවස්ථා සංශෝධනය මගින් අධිකරණයේ ස්වාධීනත්වය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, ජාතික පොලිස් කොමිසම සහ අනෙකුත් ප්‍රධාන ආයතන ගැඹුරින් ඛාදනයට ලක්ව තිබෙනවා. ප්‍රධාන සිවිල් කාර්යයන් මිලිටරිකරණය වීම ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ආක්‍රමණය කිරීමක්. දෙමළ හා මුස්ලිම් සුළුතරයන්වල වැසියන් ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ සිටම කොන් කිරීම් සහ වෙනස් කොට සැලකීම් වලින් පීඩාවට පත්ව සිටිනවා.
කොවිඩ්-19 වින්දිතයින් බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය සුළුතර මුස්ලිම් හා ක්‍රිස්තියානි ප්‍රජාවන්ට වේදනාවක් හා පීඩාවක් ගෙන දී තිබෙනවා. සත්‍යය විශ්වාසදායක ලෙස තහවුරු කිරීමට සහ වගවීම සහතික කිරීමට රජයේ කොමිෂන් සභා අසමත් වී ති⁣බෙනවා.
සියලුම පාර්ශවයන් සඳහා ජාත්‍යන්තර මට්ටමින් විවිධ ආකාරයේ වගවීමක් ඇති කිරීම සඳහා නව ක්‍රමයක් සොයාබලන ලෙස සභාවෙන් ඉල්ලා සිටිනවා. අනාගත වගවීමේ ක්‍රියාවලීන් සඳහා සාක්ෂි සහ තොරතුරු එක්රැස් කිරීම හා සංරක්ෂණය කිරීම සඳහා සහාය වීම ඇතුළුව වින්දිතයින් සඳහා සහනයක් සෙවීමටත් සාමාජික රටවල අදාළ අධිකරණ කටයුතු සඳහා සහාය වීමටත් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.”
ලංකා⁣වේ විදේශ ඇමතිගේ කරුණු දැක්වීම (පෙබරවාරි 24 සාකච්ඡාව)
“සභාපතිතුමියනි,
මහ කොමසාරිස්තුමියනි,
තානාපතිවරුනි,
නෝනාවරුණි මහත්වරුණි,
අද ඉදිරිපත් කරන ලද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව, පසුගිය වසරේ දී පැවති මෙම කවුන්සිලයේ 43 වන සැසියේ දී ශ්‍රී ලංකා රජය සම-අනුග්‍රාහකත්වය ඉල්ලා අස්කර ගන්නා බව නිවේදනය කරන ලද 30/1 සහ 40/1 යෝජනාවලින් ඇරඹෙන්නකි.
ඕනෑම ස්වයං-ගෞරවයක් සහිත ස්වෛරී රටක පාලනය පිළිබඳ කරුණු සහ මූලික වශයෙන් දේශීය කරුණු ඇතුළත් කරමින්, අසාධාරණ ලෙස තම විෂය පථය සහ වරම පුළුල් කර ඇති මහ කොමසාරිස්වරියගේ වාර්තාව ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි. මෙය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 2 (7) වගන්තිය වන “වර්තමාන ප්‍රඥප්තියේ අඩංගු කිසිවක් මඟින් කිසිදු රාජ්‍යයක දේශීය අධිකරණ බලය තුළ පවතින කාරණාවලට මැදිහත් වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට බලය පවරන්නේ නැත.” යන්න සම්පූර්ණයෙන් උල්ලංඝනය කිරීමකි.
නිර්දේශ සහ නිගමන සම්බන්ධයෙන් මතුවී ඇති ගමන් මඟ, ශ්‍රී ලංකාවට එරෙහි ඇතැම් කොටස් විසින් නිර්දය ලෙස ලුහුබඳිනු ලබන පූර්ව නිගමනය, දේශපාලනීකරණය සහ අගතිගාමී න්‍යාය පත්‍රය පිළිබිඹු කරයි. වැරදි ලෙස ගොඩනංවන ලද චෝදනා මත මෙම නිර්දේශ පදනම් වී ඇත.
මහ කොමසාරිස් වාර්තාවේ අඩංගු නිගමන සහ නිර්දේශ ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරයි.
වත්කම් අත්හිටුවීම, සංචාරක තහනම් පැනවීම, ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත යොමු කිරීම සහ එක් එක් රාජ්‍යයන් විසින් විශ්වීය අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම සඳහා කෙරෙන ඉල්ලීම්, මහ කොමසාරිස් කාර්යාලය විසින් මේ දක්වා ප්‍රවේශය ලබා දීම ප්‍රතික්ෂේප කොට ඇති සහ ඒවායින් සමහරක් වසර තිහක් තිස්සේ නිකුත් නොකොට රඳවා ගෙන ඇති සාක්ෂි මත පදනම් වන අතර, විශේෂයෙන් එක්සත් ජාතීන් හා එහි යාන්ත්‍රණයන් සමඟ නිරතුරුව හා ඵලදායී ලෙස සම්බන්ධ වී සිටින ශ්‍රී ලංකාව වැනි රටක් සම්බන්ධයෙන් ගත් මෙම ක්‍රියාව ජාත්‍යන්තර ප්‍රජාව විසින් සමස්තයක් වශයෙන් සැලකිල්ලට ගත යුතු පැහැදිලි හා සුවිශේෂී අනතුරක් පෙන්වා දෙයි. ඇතැම් රටවල් විසින් සිදුකරනු ලබන එවැනි ඒකපාර්ශ්වික ක්‍රියා පිළිගත නොහැකි අතර, එය ස්වාභාවික යුක්තියේ මූලධර්ම උල්ලංඝනය කිරීමකි.
පසුගිය මාර්තු මාසයේ සිට ලබා ඇති ප්‍රගතියට අමතරව, වාර්තාවේ අඩංගු වැරදි තොරතුරු, වැරදි වැටහීම් සහ අත්තනෝමතික තක්සේරු කිරීම් පිළිබඳව ශ්‍රී ලංකාව ලිඛිත අදහස් දැක්වීම් ලබා දී ඇත.
ඒ පිළිබඳව පෙර නොවූ විරූ ප්‍රචාරක ව්‍යාපාරයක් සමඟින්, මහ කොමසාරිස් කාර්යාලය සිය වාර්තාව ප්‍රකාශයට පත් කිරීම සහ එම වාර්තාව පිළිබඳ අපගේ අදහස් අතිරේකයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම ප්‍රතික්ෂේප කිරීම කනගාටුවට කරුණකි. මෙමඟින් වාර්තාව පිළිබඳ ශ්‍රී ලංකාවේ අදහස් සම්බන්ධයෙන් සමාන දෘශ්‍යතාවක් ලබා ගැනීම, ශ්‍රී ලංකාවට සහ සාමාජික රටවලට අහිමි වී ඇත.
මීට පෙර මෙම කවුන්සිලය වෙත පැහැදිලි කරන ලද හේතු මත ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කර ඇති වගවීම පිළිබඳ විශේෂඥ කමිටුවේ (PoE) අතිශය විවාදාත්මක වාර්තාව සහ ශ්‍රී ලංකාව පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ විමර්ශන වාර්තාව (OISL) තුළින් ප්‍රතිනිෂ්පාදනය කර ඇති මහ කොමසාරිස් වාර්තාවේ අඩංගු චෝදනා ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි.
ඉහත මතභේදාත්මක වාර්තාවලින් උකහා ගත් මෙම වාර්තාවේ අන්තර්ගතය, ජාත්‍යන්තර වශයෙන් තහනම් කර ඇති ත‍්‍රස්තවාදී සංවිධානයක් වන එල්ටීටීඊය විසින් සිදුකරන ලද ත්‍රස්තක්‍රියාවන්, රටේ භෞමික අඛණ්ඩතාව සහ අපේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කිරීම සඳහා රජය විසින් ගෙන ඇති නීත්‍යානුකූල පියවර සමඟ සමාන කොට දක්වන සාවද්‍ය කරුණුවලින් පිරී තිබේ.
සභාපතිතුමියනි,
මෙම කවුන්සිලය සහ සියලුම එක්සත් ජාතීන්ගේ සංවිධාන සමඟ අපගේ අඛණ්ඩ සහයෝගය සහ සම්බන්ධතාවය තිබියදීත්, නිරන්තරයෙන් ව්‍යාප්ත වන බාහිරයෙන් පාලනය කරනු ලබන උපදෙස් පිළිබඳව අවධාරණය කිරීම, අභියෝග රැසක් ඇති කළ හැකි අතර එවැනි ක්‍රියාදාමයන් එක්සත් ජාතීන්ගේ සියලුම සාමාජික රටවලට බලපාන භයානක පූර්වාදර්ශයක් විය හැකිය.
දේශපාලන අභිප්‍රේරණයන් විසින් මෙහෙයවනු ලැබ, මෙම කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන අසමාන අවධානය පිළිබඳව අපි කනගාටු වෙමු. මෙම වාර්තාව පදනම් කරගත් ඕනෑම යෝජනාවක් මෙම කවුන්සිලය විසින් ප්‍රතික්ෂේප කොට එය අවසානයක් කරා ගෙන එන ලෙස ශ්‍රී ලංකාව මෙම කවුන්සිලයේ සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටී.
අවසන් වශයෙන්,
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සහ දේශීය ප‍්‍රමුඛතා සහ ප‍්‍රතිපත්තිවලට අනුකූලව, මෙම කවුන්සිලය ද ඇතුළුව එක්සත් ජාතීන් සමඟ සහ අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ අංශවල දී ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ඵලදායි ලෙස සම්බන්ධ වීම සඳහා අපි විවෘතව සිටිමු.
අයුබෝවන් ! “
Previous articleයුක්තියට දොරටු වැසූ රටක් – මහ කොමසාරිස්වරිය චෝදනා කරයි : දේශපාලන න්‍යාය පත්‍රයක් – ලංකාවෙන් පිළිතුරු
Next articleදින 331කට පසුව බලහත්කාර ආදාහනයට තිත!

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here