යුක්තියට දොරටු වැසූ රටක් – මහ කොමසාරිස්වරිය චෝදනා කරයි : දේශපාලන න්‍යාය පත්‍රයක් – ලංකාවෙන් පිළිතුරු

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් සකස් කරනු ලැබූ වාර්තාව පිළිබඳ සාකච්ඡා මානව හිමිකම් කවුන්සිලය ඊයේ (24) පස්වරුවේ ආරම්භ කළේය.

ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් විසින් ඉදිරිපත් කරනු ලැබූ වාර්තාව කවුන්සිලය මෙහිදී සාකච්ඡාවට ගත්තේය.

මහ කොමසාරිස්වරියගෙන් චෝදනා

ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් වී වසර 12කට ආසන්න කාලයක් ගතවී ඇති නමුත් එම සන්නද්ධ ගැටුමේ වින්දිතයින්ට සාධාරණය ඉටු කිරීම සඳහා සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා දේශීය ක්‍රියාමාර්ග ගැනීම නැවත නැවතත් අසමත් වී ඇති බව මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය කීවාය.
2015 දී එවකට ශ්‍රී ලංකා රජය මෙම ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් කැපවීම් සිදුකර තිබියදීත් ඉන්පසු පත්වූ වත්මන් රජය යුක්තිය ඉටුකිරිම සඳහා වගවීමේ ක්‍රියාවලියක් අනුගමනය කිරීමට අසමත් වී ඇතැයි ඇය සඳහන් කළාය.
ඇය මෙසේ ද කීවාය.
“යුද්ධයෙන් දිවි ගලවාගත් දහස් ගණනක් වූ සියලු ජනකොටස්වල ජනතාවට එහි බලපෑම විනාශකාරී වූ අතර පසුගිය වසර පුරා ඇති වූ කලබලකාරී ප්‍රවණතා මෙම වාර්තාව මගින් ඉස්මතු කර දක්වා තිබෙනවා. අතීත මානව හිමිකම් උල්ලංගණයන් සම්බන්ධයෙන් වගවීම ඉදිරියට ගෙනයාමට නැවත නැවතත් අපොහොසත් වීමෙන් සහ කවුන්සිලයේ 30/1 යෝජනාවට සහ ඊට අදාළ ක්‍රියාමාර්ග සඳහා වූ අනුග්‍රහය ඉවත් කර ගැනීමෙන්, වැරදිවලට දඬුවම් නොලැබීම අවසන් කිරීම සඳහා ජාතික ක්‍රියාවලියක් හරහා ප්‍රගතියක් ලබා ගැනීම⁣ට ඇති හැකියාවට ශ්‍රී ලංකා රජය දොරටු වසා දමා තිබෙනවා.
මීට පෙර සැලකිය යුතු ලෙස වර්ධනය වෙමින් පැවති සිවිල් සමාජයට සහ ස්වාධීන මාධ්‍ය සඳහා තිබූ නිදහස් අවකාශය දැන් වේගයෙන් නැතිවෙමින් තිබෙනවා.
මෑතකදී සම්මත වූ විසිවන ව්‍යවස්ථා සංශෝධනය මගින් අධිකරණයේ ස්වාධීනත්වය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, ජාතික පොලිස් කොමිසම සහ අනෙකුත් ප්‍රධාන ආයතන ගැඹුරින් ඛාදනයට ලක්ව තිබෙනවා. ප්‍රධාන සිවිල් කාර්යයන් මිලිටරිකරණය වීම ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ආක්‍රමණය කිරීමක්. දෙමළ හා මුස්ලිම් සුළුතරයන්වල වැසියන් ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ සිටම කොන් කිරීම් සහ වෙනස් කොට සැලකීම් වලින් පීඩාවට පත්ව සිටිනවා.
කොවිඩ්-19 වින්දිතයින් බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය සුළුතර මුස්ලිම් හා ක්‍රිස්තියානි ප්‍රජාවන්ට වේදනාවක් හා පීඩාවක් ගෙන දී තිබෙනවා. සත්‍යය විශ්වාසදායක ලෙස තහවුරු කිරීමට සහ වගවීම සහතික කිරීමට රජයේ කොමිෂන් සභා අසමත් වී ති⁣බෙනවා.
සියලුම පාර්ශවයන් සඳහා ජාත්‍යන්තර මට්ටමින් විවිධ ආකාරයේ වගවීමක් ඇති කිරීම සඳහා නව ක්‍රමයක් සොයාබලන ලෙස සභාවෙන් ඉල්ලා සිටිනවා. අනාගත වගවීමේ ක්‍රියාවලීන් සඳහා සාක්ෂි සහ තොරතුරු එක්රැස් කිරීම හා සංරක්ෂණය කිරීම සඳහා සහාය වීම ඇතුළුව වින්දිතයින් සඳහා සහනයක් සෙවීමටත් මීට අදාළ  අධිකරණ කටයුතු කවුන්සිලයේ සාමාජික රටවල සිදුකිරීම සඳහා සහාය ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.”

ලංකා⁣වේ විදේශ ඇමතිගෙන් පිළිතුරු

මහ කොමසාරිස්වරියගේ චෝදනාවලට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසූවේ මහ කොමසාරිස්වරියගේ වාර්තාව ප්‍රතික්ෂේප කරන බවත් එම වාර්තාව සිය විෂය පථය අසාධාරණ ලෙස තවත් පුළුල් කර ඇති බවත්ය.
අදාළ නිර්දේශ සහ නිගමන පදනම් වී ඇත්තේ වැරදි චෝදනා මත බවත් එය ශ්‍රී ලංකාවට එරෙහි දේශපාලනීකරණය වූ න්‍යාය පත්‍රයක් පිළිබිඹු කරන බවත් ඔහු මානව හිමිකම් කවුන්සිලයට දැන්වීය. එබැවින් ඒවා තරයේ ප්‍රතික්ෂේප කරන බවද හෙතෙම කීවේය.
එම චෝදනා පදනම් වී ඇත්තේ මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකාවට පරීක්ෂා කිරීමට ඉඩ නොදුන් සාක්ෂි මත බවත් මහ කොමසාරිස්වරිය අදාළ වාර්තාවට ශ්‍රී ලංකාවේ අදහස් එකතු කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවත් විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙම වාර්තාවේ මූලාශ්‍රයන් සත්‍ය සාවද්‍යතාවන්ගෙන් පිරී ඇති බවද ත‍්‍රස්තවාදී සංවිධානයක් වන දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය විසින් සිදුකරන ලද හිංසාවන් ශ්‍රී ලංකා රජය විසින් ගනු ලැබූ නීත්‍යානුකූල කි‍්‍රයාමාර්ග සමඟ සමාන කරන බවක් මෙම වාර්තාවෙන් පෙනෙන්නට ඇති බවද ඔහු පැවසීය. මෙම වාර්තාව පදනම් කරගත් යෝජනාවන් ප්‍රතික්ෂේප කරන ලෙස ශ්‍රී ලංකාව සාමාජික රටවලින් ඉල්ලා සිටියේය.
විදේශ ඇමතිවරයා සිදුකළ සම්පූර්ණ සාකච්ඡාව පහතින්…
” සභාපතිතුමියනි,
මහ කොමසාරිස්තුමියනි,
තානාපතිවරුනි,
නෝනාවරුණි මහත්වරුණි,
අද ඉදිරිපත් කරන ලද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව, පසුගිය වසරේ දී පැවති මෙම කවුන්සිලයේ 43 වන සැසියේ දී ශ්‍රී ලංකා රජය සම-අනුග්‍රාහකත්වය ඉල්ලා අස්කර ගන්නා බව නිවේදනය කරන ලද 30/1 සහ 40/1 යෝජනාවලින් ඇරඹෙන්නකි.
ඕනෑම ස්වයං-ගෞරවයක් සහිත ස්වෛරී රටක පාලනය පිළිබඳ කරුණු සහ මූලික වශයෙන් දේශීය කරුණු ඇතුළත් කරමින්, අසාධාරණ ලෙස තම විෂය පථය සහ වරම පුළුල් කර ඇති මහ කොමසාරිස්වරියගේ වාර්තාව ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි. මෙය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 2 (7) වගන්තිය වන “වර්තමාන ප්‍රඥප්තියේ අඩංගු කිසිවක් මඟින් කිසිදු රාජ්‍යයක දේශීය අධිකරණ බලය තුළ පවතින කාරණාවලට මැදිහත් වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට බලය පවරන්නේ නැත.” යන්න සම්පූර්ණයෙන් උල්ලංඝනය කිරීමකි.
නිර්දේශ සහ නිගමන සම්බන්ධයෙන් මතුවී ඇති ගමන් මඟ, ශ්‍රී ලංකාවට එරෙහි ඇතැම් කොටස් විසින් නිර්දය ලෙස ලුහුබඳිනු ලබන පූර්ව නිගමනය, දේශපාලනීකරණය සහ අගතිගාමී න්‍යාය පත්‍රය පිළිබිඹු කරයි. වැරදි ලෙස ගොඩනංවන ලද චෝදනා මත මෙම නිර්දේශ පදනම් වී ඇත.
මහ කොමසාරිස් වාර්තාවේ අඩංගු නිගමන සහ නිර්දේශ ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරයි.
වත්කම් අත්හිටුවීම, සංචාරක තහනම් පැනවීම, ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත යොමු කිරීම සහ එක් එක් රාජ්‍යයන් විසින් විශ්වීය අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම සඳහා කෙරෙන ඉල්ලීම්, මහ කොමසාරිස් කාර්යාලය විසින් මේ දක්වා ප්‍රවේශය ලබා දීම ප්‍රතික්ෂේප කොට ඇති සහ ඒවායින් සමහරක් වසර තිහක් තිස්සේ නිකුත් නොකොට රඳවා ගෙන ඇති සාක්ෂි මත පදනම් වන අතර, විශේෂයෙන් එක්සත් ජාතීන් හා එහි යාන්ත්‍රණයන් සමඟ නිරතුරුව හා ඵලදායී ලෙස සම්බන්ධ වී සිටින ශ්‍රී ලංකාව වැනි රටක් සම්බන්ධයෙන් ගත් මෙම ක්‍රියාව ජාත්‍යන්තර ප්‍රජාව විසින් සමස්තයක් වශයෙන් සැලකිල්ලට ගත යුතු පැහැදිලි හා සුවිශේෂී අනතුරක් පෙන්වා දෙයි. ඇතැම් රටවල් විසින් සිදුකරනු ලබන එවැනි ඒකපාර්ශ්වික ක්‍රියා පිළිගත නොහැකි අතර, එය ස්වාභාවික යුක්තියේ මූලධර්ම උල්ලංඝනය කිරීමකි.
පසුගිය මාර්තු මාසයේ සිට ලබා ඇති ප්‍රගතියට අමතරව, වාර්තාවේ අඩංගු වැරදි තොරතුරු, වැරදි වැටහීම් සහ අත්තනෝමතික තක්සේරු කිරීම් පිළිබඳව ශ්‍රී ලංකාව ලිඛිත අදහස් දැක්වීම් ලබා දී ඇත.
ඒ පිළිබඳව පෙර නොවූ විරූ ප්‍රචාරක ව්‍යාපාරයක් සමඟින්, මහ කොමසාරිස් කාර්යාලය සිය වාර්තාව ප්‍රකාශයට පත් කිරීම සහ එම වාර්තාව පිළිබඳ අපගේ අදහස් අතිරේකයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම ප්‍රතික්ෂේප කිරීම කනගාටුවට කරුණකි. මෙමඟින් වාර්තාව පිළිබඳ ශ්‍රී ලංකාවේ අදහස් සම්බන්ධයෙන් සමාන දෘශ්‍යතාවක් ලබා ගැනීම, ශ්‍රී ලංකාවට සහ සාමාජික රටවලට අහිමි වී ඇත.
මීට පෙර මෙම කවුන්සිලය වෙත පැහැදිලි කරන ලද හේතු මත ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කර ඇති වගවීම පිළිබඳ විශේෂඥ කමිටුවේ (PoE) අතිශය විවාදාත්මක වාර්තාව සහ ශ්‍රී ලංකාව පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ විමර්ශන වාර්තාව (OISL) තුළින් ප්‍රතිනිෂ්පාදනය කර ඇති මහ කොමසාරිස් වාර්තාවේ අඩංගු චෝදනා ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි.
ඉහත මතභේදාත්මක වාර්තාවලින් උකහා ගත් මෙම වාර්තාවේ අන්තර්ගතය, ජාත්‍යන්තර වශයෙන් තහනම් කර ඇති ත‍්‍රස්තවාදී සංවිධානයක් වන එල්ටීටීඊය විසින් සිදුකරන ලද ත්‍රස්තක්‍රියාවන්, රටේ භෞමික අඛණ්ඩතාව සහ අපේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කිරීම සඳහා රජය විසින් ගෙන ඇති නීත්‍යානුකූල පියවර සමඟ සමාන කොට දක්වන සාවද්‍ය කරුණුවලින් පිරී තිබේ.
සභාපතිතුමියනි,
මෙම කවුන්සිලය සහ සියලුම එක්සත් ජාතීන්ගේ සංවිධාන සමඟ අපගේ අඛණ්ඩ සහයෝගය සහ සම්බන්ධතාවය තිබියදීත්, නිරන්තරයෙන් ව්‍යාප්ත වන බාහිරයෙන් පාලනය කරනු ලබන උපදෙස් පිළිබඳව අවධාරණය කිරීම, අභියෝග රැසක් ඇති කළ හැකි අතර එවැනි ක්‍රියාදාමයන් එක්සත් ජාතීන්ගේ සියලුම සාමාජික රටවලට බලපාන භයානක පූර්වාදර්ශයක් විය හැකිය.
දේශපාලන අභිප්‍රේරණයන් විසින් මෙහෙයවනු ලැබ, මෙම කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන අසමාන අවධානය පිළිබඳව අපි කනගාටු වෙමු. මෙම වාර්තාව පදනම් කරගත් ඕනෑම යෝජනාවක් මෙම කවුන්සිලය විසින් ප්‍රතික්ෂේප කොට එය අවසානයක් කරා ගෙන එන ලෙස ශ්‍රී ලංකාව මෙම කවුන්සිලයේ සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටී.
අවසන් වශයෙන්,
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සහ දේශීය ප‍්‍රමුඛතා සහ ප‍්‍රතිපත්තිවලට අනුකූලව, මෙම කවුන්සිලය ද ඇතුළුව එක්සත් ජාතීන් සමඟ සහ අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ අංශවල දී ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ඵලදායි ලෙස සම්බන්ධ වීම සඳහා අපි විවෘතව සිටිමු.
අයුබෝවන් ! “
ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ මානව හිමිකම් මහ කොමසාරිස්ගේ වාර්තාව පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා එම කවුන්සිලය අද(25) යළි රැස් වීමට නියමිතය.
යුරෝපීය සංගමය, ඩෙන්මාර්කය, ජර්මනිය, රුසියානු සමූහාණ්ඩුව, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය, වෙනිසියුලාව, නෙදර්ලන්තය, උතුරු කොරියාව, බෙල්ජියම, එක්සත් ජනපදය, ස්පාඤ්ඤය, චීනය, බෙලාරූසය, ඔස්ට්‍රියාව, පිලිපීනය, ඉතියෝපියාව, එක්සත් රාජධානිය, දකුණු සුඩානය, අයර්ලන්තය, ශ්‍රී ලංකාව, සුඩානය, නිකරගුවාව, කියුබාව සහ ජිබුටි රාජ්‍යය යන රටවල් මෙම සාකච්ඡාවට සම්බන්ධ වී ඇත.
පහත සඳහන් සිවිල් සමාජ සංවිධාන ද මේ සඳහා සහභාගි වී තිබේ.
  1. Centre for Global Nonkilling,
  2. Elizka Relief Foundation,
  3. East and Horn of Africa Human Rights Defenders Project
  4. Christian Solidarity Worldwide
  5. Reporters Without Borders International
  6. International Fellowship of Reconciliation
  7. Jubilee Campaign
  8. International Organization for the Elimination of All Forms of Racial Discrimination
  9. CIVICUS – World Alliance for Citizen Participation and Advocates for Human Rights
Previous articleශ්‍රී ලංකාවේ මුස්ලිම් පුරවැසියන්ගේ අයිතිය ඉක්මණින්ම ලබා දෙන්නැයි මානව හිමිකම් කවුන්සිලයට ප්‍රකාශයක්
Next articleශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීම අහවර වෙලා : මානව හිමිකම් නියෝජ්‍ය මහ කොමසාරිස් සාකච්ඡාව අවසන් කරමින් කියයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here