ශ්‍රී ලංකාවේ මුස්ලිම් පුරවැසියන්ගේ අයිතිය ඉක්මණින්ම ලබා දෙන්නැයි මානව හිමිකම් කවුන්සිලයට ප්‍රකාශයක්

මුස්ලිම් ජනතාවගේ භූමදානය කිරීමේ අයිතිය සහතික කිරීමට ඉතා ඉක්මණින් පියවර ගන්නැයි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බව ලෝක ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ මහලේකම් යූසුෆ් අල් ඔතයිමීන් මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිය අමතමින් පැවසීය.
ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයින් මුහුණ දෙන තත්ත්වය ගැන ලෝක ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය කණස්සල්ල පළ කරන බවත් වෛරසයෙන් මියයන අයගේ දේහයන් භූමදානය කිරීමට ඇති අයිතිය ඔවුන්ට හිමි වී නැති බවත් ඔහු කීවේය.
“මුස්ලිම් ජනතාවගේ භූමදානය කිරීමේ අයිතිය සහතික කිරීමට ඉතා ඉක්මන් පියවර ගන්න කියලා අපි ඉතා ඕනෑකමින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලනවා.” යැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.

එම සංවිධානය දෙසැම්බර් මාසයේදී ද නිවේදනයක් නිකුත් කළ අතර එහිදී ඉල්ලා සිටියේ මුස්ලිම් ජනතාවගේ ඇදහිලිවලට ගරු කරන ලෙසත් භුමදාන චාරිත්‍රයට ගරු කරන ලෙසත්ය.
ඉකුත් දෙසැම්බර් 10 වැනිදා නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන් විය.
“කොවිඩ්-19 ආසාදිතව මිය යන මුස්ලිම් පුරවැසියන්ගේ සිරුරු ආදාහනය කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් බලකරමින් සිටින බවට පළ වන වාර්තා පිළිබඳව ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ මහලේකම්වරයා කාර්යාලය කනස්සල්ල පළ කරයි.
ඉස්ලාමීය ශික්ෂා පදවලට පටහැනිව ⁣මෙය සිදුකරන අතර මුස්ලිම් පුරවැසියන්ගේ ඇදහිලිවල එන භුමදාන චාරිත්‍රයට ගරු කරන්නැයි ඕඅයිසී ඉල්ලා සිටී.”
නොවැම්බර් මාසයේදී එම සංවිධානයේ ස්වාධීන නිත්‍ය මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ මියගිය අය වෙනුවෙන් ආගමික විශ්වාසයන්ට සහ බැඳීම්වලට අනුකූලව ගෞරව කිරීමට ඇති කොන්දේසි විරහිත අයිතිය ද ඇතුළුව කිසිදු භේදයකින් තොරව ආගම ඇඳහීමට ඇති මුස්ලිම් වැසියන්ගේ අයිතිය ආරක්ෂා කිරීම හා ගරු කිරීම මගින් මානව හිමිකම් ඉටු කරන්නැයි ශ්‍රී ලංකා රජයට බල කර සිටින බවයි.
කොරෝනා හේතුවෙන් මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ දේහයන් ශ්‍රී ලංකා බලධාරීන් විසින් බලහත්කාරයෙන් ආදාහනය කරනු ලැබීම පිළිබඳව කනස්සල්ල පළ කරන බව ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ ස්වාධීන නිත්‍ය මානව හිමිකම් කොමිසම (OIC-IPHRC) එමගින් පැවසීය.
ඉන් මුස්ලිම් වැසියන්ගේ ආගමේ නිදහස උල්ලංඝණය වන බව එම කොමිසම සඳහන් කළේය. මුස්ලිම් ඇතුළු බොහෝ ආගමික ජන කොට්ඨාස අනුගමනය කරන ආගමික පිළිවෙතක් වූ ‘භුමදානය’ තහනම් කර, කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් මිය යන සියලු දෙනාගේ දේහයන් ශ්‍රී ලංකාවේ රජය විසින් ආදාහනය කරනු ලබන බවට විවිධ වාර්තා පෙන්වා දෙන බවත් ඒ ගැන කනස්සල්ල පළ කරන බවත් එම කොමිසම කීවේය.
එම නිවේදනයේ මෙසේ දැක්විණි.
“ආගමක් ඇදහීමේ හෝ විශ්වාසයක් දැරීමේ නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත විසින් සහ බොහෝ මානව හිමිකම් සංවිධාන විසින් මුස්ලිම් ප්‍රජාවේ භුමදානය කිරීමට ඇති අයිතියට ගරු කරන ලෙසට ශ්‍රී ලංකා රජයට බල කරමින් මෙම ගැටළුව මතු කරනු ලැබුවා.
ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය, විශේෂයෙන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) 18 වන වගන්තිය, සියලුම දෙනාට ඔවුන්ගේ ආගම හෝ විශ්වාසය ඇදහී⁣ම, අනුගමනය කිරීම සහ නිරත වීම ඇතුළු ආගමේ නිදහස ආරක්ෂා කරනවා. ආගමික සුළුතරයන්ට සමාජයේ ඔවුන්ගේ අනෙක් සාමාජිකයින් සමග ඔවුන්ගේ සංස්කෘතිය භුක්ති විඳීමට මෙන්ම ඔවුන්ගේ ආගම ඇදහීමට සහ ප්‍රකාශ කිරීමට ඇති අයිතිය අවහිර නොකළ යුතු බව ICCPR හි සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සඳහන් වන 27 වන වගන්තිය තවදුරටත් අවධාරණය කරනවා.
ශ්‍රී ලාංකික බලධාරීන් විසින් අනුගමනය කරන බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ පිළිවෙත, කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කරනු ලැබූ සෞඛ්‍ය උපදෙස්වල කිසිම තැනක සඳහන් නොවේ. එබැවින් ආදාහනය අනිවාර්ය පියවරක් ලෙස බලාත්මක කිරීම සඳහා සාධාරණ හේතුවක් නොමැත.
තම ආගමික විශ්වාසයන්ට සහ බැඳීම්වලට අනුකූලව, මියගිය අයට ගෞරව කිරීමට ඇති කොන්දේසි විරහිත අයිතිය ද ඇතුළුව කිසිදු භේදයකින් තොරව ආගම ඇදහීමට ඇති මුස්ලිම් වැසියන්ගේ අයිතිය ආරක්ෂා කිරීම හා ගරු කිරීම මගින් මානව හිමිකම් ඉටු කරන්නැයි ශ්‍රී ලංකා රජයට බල කර සිටිනවා.”
Previous articleජනාධිපති නීතිඥ සාලිය පීරිස් වැඩි ඡන්ද 2386කින් සභාපති ධුරයට
Next articleයුක්තියට දොරටු වැසූ රටක් – මහ කොමසාරිස්වරිය චෝදනා කරයි : දේශපාලන න්‍යාය පත්‍රයක් – ලංකාවෙන් පිළිතුරු

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here