ජනාධිපති නීතිඥ සාලිය පීරිස් වැඩි ඡන්ද 2386කින් සභාපති ධුරයට

ශ්‍රී ලංකා නීතිඥ සංගම් නිලවරණය වැඩි ඡන්දයෙන් ජයගැනීමට ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අද(24) සමත් විය.
මෙවර එහි සභාපති ධුරය සඳහා ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස් සහ කුවේර ද සොයිසා ඉදිරිපත්ව සිටි අතර එහිදී වැඩි ඡන්ද 2386ක් ලබාගෙන සාලිය පීරිස් මහතා සභාපති ධුරයට පත්විය. කුවේර ද සොයිසා මහතා ඡන්ද 2707ක් ලබාගෙන තිබේ.
තම ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා MediaLK සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ කීවේය.
නීති ක්ෂේත්‍රයට පිවිසීම සහ පසුගිය කාලයේ ඔබේ ක්‍රියාකාරිත්වය පිළිබඳව මුලින්ම කතා කරමු ?
උසස් පෙළ අවසන් වූ පසුව මම නීති ප්‍රවේශ විභාගය ලිව්වා. එහිදී ලංකාවේ පළමුවැනියා වෙන්න මට පුළුවන් වුණා. ඒ හරහා මම නීති විද්‍යාලයට ඇතුළත් වුණා. ඒ වගේම විවෘත විශ්විද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ලබාගත්තා. පසුව ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර ව්‍යාපාර නීතිය පිළිබඳව පශ්චාත් උපාධිය හැදෑරුවා. ඒ ආකාරයට තමයි මම නීති ක්ෂේත්‍රයට පැමිණියේ. නීතිය සහ දේශපාලනය ගැන මම නිතරම උනන්දු වුණා. අපරාධ නඩුවල, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නඩුවල නීතිය ක්‍රියාත්මක වන ආකාරය අපි ප්‍රායෝගිකවත් දැක්කා. අපරාධ යුක්ති විනිශ්චය සභාව විසින් විත්තිකාරයන් වැරදිකාරයන්ව කරපු සිදුවීම තමයි මගේ මතයේ මුලින්ම තිබෙන්නේ. එතැන් සිට ප්‍රසිද්ධ නඩු කෙරෙහි මගේ උනන්දුවක් තිබුණා. ඒ හරහා මම නීති ක්ෂේත්‍රයට පිවිසුණා.
නීතිඥවරයෙක් ලෙස විවිධ වර්ගයේ නඩුවලට මම පෙනී ඉඳලා තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළව 18, 19 සංශෝධන දෙකටම මම අධිකරණයේ පෙනී සිටියා. මම මුලින්ම අපරාධ නඩුවලට පෙනී සිටියා. රජයේ අධිනීතිඥවරයෙක් වශයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ වසර 04ක් සේවය කළා. මේ කාලය තුළ අපරාධ නඩු, සිවිල් නඩු ආදී සියල්ලටම පෙනී ඉඳලා තිබෙනවා. මම පෙනී හිටපු ප්‍රසිද්ධ නඩු ගැන කතා කළොත් ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මියගේ දෝශාභියෝග නඩුවේ නිතිඥ කණ්ඩායමේ කටයුතු කළා. ඒ වගේම ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට තිබුණු අපරාධ නඩු 02ක ප්‍රධාන නිතිඥවරයා ලෙස කටයුතු කළා. ඊට අමතරව මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජිකයෙක් ලෙස (2015-2018) කටයුතු කළා. පසුව අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට මාව පත්කළා. අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට මාව පත්කළේ ජනාධිපති නිර්දේශය මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතියෙන්. පක්ෂ විපක්ෂ සියලුදෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නියෝජනය කරනවා.
නීතිඥ සංගමයේ සභාපති ධුරයට තරග කරන්නට ඔබ අදහස් කළේ ඇයි ?
ස්වාධීන, ශක්තිමත් නීතිඥ සංගමයක් අවශ්‍යයි කියලා මම විශ්වාස කරනවා. නීතිඥ සංගමය පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ගිය ආයතනයක් විය යුතුයි. නමුත් ඒ වගේම පවතින රජය සමග කටයුතු කරන අතරතුර වැරදි දේ වැරදියි කියලා කියන්නත් හරි දෙයට උදව් කරන්නත් නීතිඥ සංගමයට හැකියාවක් තිබිය යුතුයි. ඒ වගේම සංගමය සිය සාමාජිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙනුත් කටයුතු කළ යුතුයි. මේ කාරණා මුල්කරගෙන මම සභාපති ධුරයට තරග කරන්න හිතුවා. ඒ වගේම සංගමයක නායකත්වයට පත්කරන පුද්ගලයෙක්, යම් ස්ථාවරයක් ගන්න පුළුවන් පුද්ගලයෙක් විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඓතිහාසිකව මම නිතරම ස්ථාවරයක් අරගෙන තිබෙනවා.
ඇමතිවරයෙක්ගේ පිරිසක් මන්නාරම උසාවියට ගල් ගහපු අවස්ථාවේ, දෝශාභියෝගය අවස්ථාවේ ආදී අධිකරණයේ ස්වාධිපත්‍යයට, නීතියේ ආධිපත්‍යයට හා සම්බන්ධ සෑම අවස්ථාවකම මම ස්ථාවරයක් අරගෙන තිබෙනවා. නායකත්වයට පත්වෙන්න බලාපොරොත්තු වන පුද්ගලයෙකුට ස්ථාවරයක් තිබිය යුතුයි. කිසිම කාරණාවක් ගැන ස්ථාවරයක් නැති පුද්ගලයෙකුට නායකත්වයක් ගැනීම ගැන බලාපොරොත්තු වෙන්න බැහැ. එවැනි නායකයෙකුට සාර්ථක වෙන්න බැහැ. එවැනි කාරණා නිසා තමයි මම සභාපති ධුරයට ඉදිරිපත් වෙන්න තීරණය කළේ. නීතිඥ සංගමයේ නොයෙක් මත දරන අය මට සහාය දෙනවා. අපේ සංගමය ස්වාධීන, ශක්තිමත් ආයතනයක් විය යුතුයි කියන එක තමයි ඒ අයගේ පොදු ස්ථාවරය.
නීතිඥ සංගමයේ සභාපති ලෙස ඔබ පත්වුවහොත්, ඔබගේ ඉදිරි වැඩපිළිවෙළ කෙබඳු ද ?
අපේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කාරණා 17ක් මුල්කරගනිමින් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය දැනටමත් නිකුත් කර තිබෙනවා. සංගමයේ ඉතිහාසයේ මෙවැනි ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරපු මුල්ම අවස්ථාව මෙයයි. මේ කාරණා 17 අතර නීතිඥවරුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් සඳහන් කර තිබෙනවා. පොලිස් ස්ථානවල, අධිකරණ කාර්යාලවල, ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලවලදි නීතිඥවරුන්ට විවිධ ප්‍රශ්නවලට මුහුණපාන්න සිදුවෙලා තිබෙනවා. මේ දේවල් ගැන මේ සංගමය ක්‍රියාකාරීව සම්බන්ධ විය යුතුයි කියන මතයේ අපි ඉන්නවා. ඒ වගේම නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් කැපවෙන ශක්තිමත්, තීරණාත්මක දේවල් කරන සංගමයක් විය යුතුයි. කණිෂ්ඨ නීතිඥවරුන්ගේ වර්ධනය වෙනුවෙන් වැඩපිළිවෙළ කිහිපයක්ම අපි යෝජනා කරලා තිබෙනවා. ඒ වගේම පොදුවේ නීතිඥවරුන්ගේ වෘත්තිය ප්‍රවර්ධනය ගැන අපි කතා කර තිබෙනවා. ඒ වගේම කාන්තා නීතිඥවරුන් සම්බන්ධයෙන් වන ගැටලු හඳුනාගෙන ඔවුන්ගේ බාධා ඉවත්කිරීම සඳහා ක්‍රමවේද යෝජනා කරමින් ඒකට වෙනම පරිච්ඡේදයක් වෙන්කරලා තිබෙනවා. එමෙන්ම රාජ්‍ය අංශයේ සහ ව්‍යාපාර අංශයේ සේවය කරන නීතිඥවරුන් වෙනුවෙන් වෙනම වැඩපිළිවෙළක් අපි යෝජනා කර තිබෙනවා. මේ ආකාරයෙන් අපේ කණ්ඩායම කරුණු 17ක් මත ප්‍රතිපත්ති ප්‍රකාශයක් නිර්මාණය කර තිබෙනවා.
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ කනිෂ්ඨ නීතිඥවරුන් බොහෝ ප්‍රශ්නවලට මුහුණ දී සිටිනවා. මේ තත්ත්වය තුළ ඔවුන් සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් තිබෙනවාද ?
කෝවිඩ් ප්‍රශ්නයේදී කනිෂ්ඨ නීතිඥවරුන් පීඩාවට පත්වුණා. කෝවිඩ් මැද වැඩකරන්න අපිට සිදුවෙනවා. ඒ අනුව අධිකරණ කටයුතු ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියන කාරණය සම්බන්ධයෙන් අපි අධිකරණය සමග සහයෝගයෙන් කටයුතු කළ යුතු වෙනවා. ඒ සඳහා නව තාක්ෂණය භාවිතා කිරීම්, නව රීති සකස් කිරීම් ආදිය සිදුකිරීමට දායකවෙන්න වෙයි. කෝවිඩ් ප්‍රශ්නයට අමතරව කනිෂ්ඨ නීතිඥවරුන් වෙනුවෙන් තවත් යෝජනා කිහිපයක්ම තිබෙනවා. ඒ අතර හදිසි අවස්ථාවන්වලදී දායකවීමට නීතිඥ භාරකාර අරමුදලක් ඇතිකරන්න යෝජනා කර තිබෙනවා.
සමස්ත නීති ක්ෂේත්‍රයේ ඔබ දකින අඩුපාඩු මොනවාද?
නීතිඥවරුන් වෘත්තියට පිවිසුණාට පසුව දැනුම යාවත්කාලීන කරනොගැනීම අපේ වෘත්තීය ප්‍රවර්ධනයට තිබෙන එක් බාධාවක්. විශේෂයෙන්ම නීති අධ්‍යාපනය සම්බන්ධයෙන් අපි සංගමයක් විදිහට මැදිහත් විය යුතුයි කියලා මම යෝජනා කරනවා. ඒ වගේම නීති අධ්‍යාපනය ලබාදෙන ආයතනවල විෂය නිර්දේශයන් යාවත්කාලීන කළ යුතුයි. ඒවා වසර ගණනාවකින් යාවත්කාලීන වෙලා නැහැ. තරුණ නීතිඥවරුන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම වර්ධනය කරන්නත් අපි යෝජනා කර තිබෙනවා.
රටේ මූලික ප්‍රශ්න පිළිබඳව නීතිඥ සංගමයේ මැදිහත්වීම සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අපි බැඳිලා ඉන්න කාරණා තිබෙනවා. සංගමයේ ව්‍යවස්ථාව තුළත් නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය වැනි කාරණා වෙනුවෙන් ඒවා ආරක්ෂා කරන්න කැපවෙලා ඉන්නවා. ඒ නිසා නීතිඥ සංගමයට ඒ කාරණා ගැන හඬක් වෙන්න පුළුවන් කියලා මම හිතනවා. අපේ විෂය ක්ෂේත්‍රය තුළ මතුවන කරුණු වෙනුවෙන්  සංගමයක් හැටියට අපි හඬ නැගිය යුතුයි කියන ස්ථාවරයේ මම ඉන්නවා.
පොදුවේ ජනතාව තුළ නීතිය සම්බන්ධ දැනුම අල්ප බව සියලුදෙනා දන්නා කාරණයක්. මේ තත්ත්වය වෙනස් කරන්න ඔබ සංගමයට දායකවෙන්න පුළුවන්ද ?
නීති අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම අපිට පමණක් තනිව කළ හැකි දෙයන් නෙමෙයි. නමුත් එය කළ යුතුයි. අපේ රටෙන් බිහිවුණු කීර්තිමත් විනිසුරුවරයෙක් වන සී.ජී.වීරමන්ත්‍රී මැතිතුමාත් නිතරම කිව්වේ නීතිය ගැන දැනුම වර්ධනය කළ යුතුයි කියලා. එතුමා ඔස්ට්‍රේලියාවේ ජීවත්වන කාලයේ වික්ටෝරියා ප්‍රාන්තයේ නීති සතියක් පැවැත්වීම එතුමා විසින් යෝජනා කරන ලද්දක්. නීතිය මිනිස්සුන්ට සමීප කරන්නයි එය කළේ. මිනිස්සු නීතිය ගැන දැනුවත් විය යුතුයි වගේම නීතිය පාසල් විෂයට ඇතුළත් කළ යුතුයි කියලා මම හිතනවා. මොකද නීතියට අවනත වෙන්න නම් නීතිය ගැන දැනුවත් විය යුතුයි. එය රජය විසින් කළ යුතුයි. එයට නීතිඥ සංගමයත් සහයෝගය ලබාදීමට සූදානම්.
රාජ්‍ය නොවන සංවිධාන සමග ඔබ සම්බන්ධ බවට මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ විවේචන එල්ලවෙනවා. මේ චෝදනාවල ඇත්ත – නැත්ත මොකක්ද ?
මගේ වෘත්තීය කාලය තුළ කිසිම දවසක රාජ්‍ය නොවන සංවිධානවලින් මාව හසුරවලා නැහැ. අතුරුදන් වූ තැනැත්තන්ගේ කාර්යාලය කියන්නේ රාජ්‍ය නොවන සංවිධානයක් නෙමෙයි. එය ස්වාධීන කොමිෂන් සභාවක්. එයට සාමාජිකයන් පත්කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත රටේ ජනාධිපතියි. වත්මන් අගමැතිතුමා ජනාධිපතිව සිටින විට පත්කළ උගත් පාඩම් හා සංහිඳියා කොමිෂන් සභාවේ නිර්දේශ අනුවයි ඒක කරන්නෙ. මේ කොමිෂන් සභාවේ සියලුම වාර්තා ලබාදුන්නේ ජනාධිපතිට සහ ශ්‍රීලංකා රජයට. ඒ නිසා  මේ කාර්යාලය තුළින් රටට අයහපතක් වුණා කියන එක සම්පූර්ණ අසත්‍ය කාරණයක්. නීතිඥ සංගම් නිලවරණය නිසා තමයි මේ අසත්‍ය කරුණු මතුකරන්නේ.
Previous articleවතු කම්කරු වැටුප් වැඩි කිරීමට වැවිලිකරුවන්ගේ සංගමයේ විරෝධය : දෙපැත්තම දිනන ක්‍රමයක් ඉල්ලයි
Next articleශ්‍රී ලංකාවේ මුස්ලිම් පුරවැසියන්ගේ අයිතිය ඉක්මණින්ම ලබා දෙන්නැයි මානව හිමිකම් කවුන්සිලයට ප්‍රකාශයක්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here