ශ්‍රී ලංකාවේ අතීත හිංසාවන්ට වගවීමක් නොමැතිකම ඇතුළු යෝජනාවලට සහය දෙන්නැයි ඇමෙරිකාව ඉල්ලයි

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් සම්බන්ධයෙන් ඉදිරිපත් වන යෝජනාවලට සහය දෙන ලෙසට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දිරිමත් කරන බව එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් එම කවුන්සිලය අමතමින් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ සිදුව ඇති අතීත හිංසාවන්ට වගවීමක් නොමැතිකම සම්බන්ධයෙන් වන යෝජනාවට ද සහය ලබාදීම පිළිබඳ කවුන්සිලය දිරිමත් කරන බව හෙතෙම සඳහන් කළේය.
“සිරියාවේ සහ උතුරු කොරියාවේ මානව හිමිකම් උල්ලංගණය කිරීම්, ශ්‍රී ලංකාවේ අතීත හිංසාවන්ට වගවීම නොමැතිකම සහ දකුණු සුඩානයේ තත්ත්වය පිළිබඳ වැඩිදුර විමර්ශනය කිරීමේ අවශ්‍යතාව ඇතුළු මෙම සැසියේදී ඉදිරිපත් වන යෝජනාවලට සහාය දෙන ලෙස අපි මෙම කවුන්සිලය දිරිමත් කරනවා” යැයි ඔහු පැවසීය.
එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් අද(24) ජිනීවාහි පැවති මානව හිමිකම් කවුන්සිලයේ 46 වන නිත්‍ය සැසිවාරයේදී වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිය කතාව සිදු කළේය.
“ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් අපගේ විදේශ ප්‍රතිපත්තියේ හරය ලෙස තබන්නේ ඒවා සාමය හා ස්ථාවරත්වය සඳහා අත්‍යවශ්‍ය වන බැවින්” යනුවෙන් බ්ලින්කන් සිය කතාව ආරම්භ කරමින් පැවසීය. එමෙන්ම ඇමෙරිකාව 2022-24 ධුර කාලය සඳහා මානව හිමිකම් කවුන්සිලයට නැවත එක්වීමට බලාපොරොත්තු වන බව ලේකම්වරයා කීවේය.
ඇමෙරිකාව මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා සාමාජිකයන් 47 දෙනකුගෙන් සැදුම්ලත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වී මේ වන විට වසර තුනක් ගත වී ඇත. හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2018 ජුනි මාසයේදී එක්සත් ජනපදය මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වන බවට නිවේදනය කළේ “ඊශ්‍රායලය කෙරෙහි දිගින් දිගටම සතුරුකම් කරන කුහක සංවිධානයක්” ලෙස හඳුන්වා දෙමිනි.
එම කවුන්සිලයෙන් ඉවත් වීම ට්‍රම්ප් ගේ ‘ඇමරිකා ෆස්ට්’ ප්‍රතිපත්තියේ කොටසක් විය. පැරිස් – දේශගුණික ගිවිසුම, ඉරාන න්‍යෂ්ටික ගිවිසුම, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ප්‍රංශයේ පිහිටි එක්සත් ජනපද අධ්‍යාපන හා සංස්කෘතික ආයතනයක් වන යුනෙස්කෝවෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමට ට්‍රම්ප් කටයුතු කළේය. පසුගිය මාසයේ බලයට පත්වූ ජනාධිපති ජෝ බයිඩන් පැරිස් ගිවිසුම හා ලෝක සෞඛ්‍ය සංවිධානය යන දෙකටම නැවත එක්වීමට තීරණය කළේය.
මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය අමතමින් බ්ලින්කන් වැඩිදුරටත් කියා සිටියේ, මානව හිමිකම් කවුන්සිලයට නැවත එක්වීමට ඇමරිකාව දරන උත්සාහයට සියලු සාමාජික රටවල සහාය ඉල්ලා සිටින බවයි. මෙම පියවර සමග පසුගිය ට්‍රම්ප් පරිපාලනයේ තවත් ප්‍රධාන ප්‍රතිපත්තිමය තීන්දුවක් ආපසු හැරවෙනු ඇත.
“කවුන්සිලයේ කටයුතු සහ සාමාජිකත්වය වැඩිදියුණු කිරීම සඳහා අප එක්ව කටයුතු කළ යුතුයි. එමඟින් ලොව පුරා ජනතාවගේ අයිතිවාසිකම් ඉදිරියට ගෙන යාමට ඊටත් වඩා වැඩි යමක් කළ හැකිය” යනුවෙන් ඔහු පැවසීය. මානව හිමිකම් විශ්වීය වශයෙන් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත් ජනපදය සම්පුර්ණයෙන්ම කැපවී සිටින බව පැවසූ ඔහු කවුන්සිලයේ පැවැත්ම සහතික කිරීම සඳහා සාමාජික හවුල්කරුවන් සමඟ සහ සියලු කලාපවල රාජ්‍ය නොවන සංවිධාන ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.
“ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ ආවරණය යටතේ සැඟවෙමින් මානව හිමිකම් අඩපණ කිරීමට උත්සාහ කරන අය ඔවුන්ගේම මානව හිමිකම් උල්ලංගණය කිරීම්වලට වගවීමට ලක්වනු ඇත” බ්ලින්කන් සඳහන් කළේය. වෙනිසියුලාව, නිකරගුවාව, කියුබාව සහ ඉරානය වැනි රටවල සිදුවන අපයෝජනවලට එරෙහිව එක්සත් ජනපදය දිගින් දිගටම නඟන බව ඔහු කීවේය.
ඔහු මෙසේද කීවේය.
” සිය අයිතිවාසිකම් ක්‍රියාත්මක නිසා වැරදි⁣ ලෙස රඳවාගනු ලැබ සිටින ඇලෙක්සි නවාල්නි මෙන්ම අනෙකුත් සිය ගණනක් රුසියානු පුරවැසියන් වහාම හා කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස අපි රුසියානු රජයට කළ ඉල්ලීම නැවත අවධාරණය කරනවා.
ෂින්ජියැන් හි හිංසාවන් සිදු වන විට හෝ හොංකොං හි මූලික නිදහස නැතිකරන අවස්ථාවන්වලදී එක්සත් ජනපදය විශ්වීය වටිනාකම් වෙනුවෙන් කතා කරනවා. බුරුමයේ ප්‍රජාතන්ත්‍රවාදයේ පසුබෑම ගැන අපි තැතිගෙන සිටිනවා. මේ සභාවට නැවත සම්බන්ධ වීමට මෙම අර්බුදයත් හේතුවක්.”
Previous articleසැසිය අස්සේ ඉම්රාන් ඛාන්ගේ පැමිණීම සැක සහිතයි – මානව හිමිකම් වෙනුවෙන් දකුණු ආසියානුවෝ සංවිධානය
Next articleවතු කම්කරු වැටුප් වැඩි කිරීමට වැවිලිකරුවන්ගේ සංගමයේ විරෝධය : දෙපැත්තම දිනන ක්‍රමයක් ඉල්ලයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here