සැසිය අස්සේ ඉම්රාන් ඛාන්ගේ පැමිණීම සැක සහිතයි – මානව හිමිකම් වෙනුවෙන් දකුණු ආසියානුවෝ සංවිධානය

මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ වාර්තාව මත පදනම්ව මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව පිළිබඳ නව යෝජනාවක් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙන අවස්ථාවක පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ කාල වකවානුව හා අරමුණ සැකසහිත බව මානව හිමිකම් වෙනුවෙන් දකුණු ආසියානුවෝ සංවිධානය (SAHR) පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය මේ බව සඳහන් කර ඇති අතර එම සංවිධානය වෙනුවෙන් එහි සභාපති ආචාර්ය රාධිකා කුමාරස්වාමි සහ සම සභාපති ආචාර්ය රොෂ්මි ගෝස්වාමි ඊට අත්සන් කර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශයන්ට පටහැනිව කොවිඩ්-19 ආසාදිත මළ සිරුරු බලහත්කාරයෙන් ආදාහනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විවේචනයට ලක්ව ඇති අවස්ථාවක මෙය සිදුවීම ගැන අවධානය⁣ යොමු කළ යුතු බවද එම සංවිධානය කියයි. පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය ශ්‍රී ලංකාව පිළිබඳ ගෙන ඒමට නියමිත යෝජනාවකට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ සහාය ලබා ගැනීම බවට විශ්වාස කරන බවද එම සංවිධානය විශ්වාසය පළ කරයි.
එම නිවේදනයේ මෙසේද දැක්වෙයි.
“අග්‍රාමාත්‍ය ඛාන් සිය සංචාරයේදී මුස්ලිම්වරුන්ගේ මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇතැයි අපේක්ෂා කරන අතර රජයේ ප්‍රධාන නිලධාරීන් සහ පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා පවත්වනු ඇත.
කොවිඩ්-19 ආසාදිතව මිය යන මුස්ලිම් පුරවැසියන්ගේ දේහ ආදාහනය වෙනුවට භූමදානය කිරීමට අවසර දෙන බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර තිබිණි. නමුත් රජය පසුව එය අගමැතිවරයාගේ පෞද්ගලික මතය ලෙස විස්තර කළේය. අගමැති ඛාන් සිය සංචාරයේදී ශ්‍රී ලංකා මුස්ලිම් සුළුතරය මුහුණ දුන් ගැටලු විසඳීමට ඇති කැමැත්ත පැසසුමට ලක් කරන අතරම, මෙම සාකච්ඡා රටේ දෙමළ සුළුතරයට ඇති කරන බලපෑම පිළිබඳව ද අපි බිය පළ කරමු.
ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කරන සංක්‍රාන්ති යුක්තියේ ක්‍රියාවලියක් ඉල්ලා සිටින 30/1, 34/1 සහ 40/1 යෝජනාවල සම අනුග්‍රාහකත්වයෙන් ඉල්ලා අස්වීමටත් ඒ වෙනුවට දේශීයව සැලසුම් කර ක්‍රියාත්මක කරන ප්‍රතිසන්ධාන හා වගවීමේ ක්‍රියාවලියක් අනුගමනය කිරීමටත් තීරණය කළ බව ශ්‍රී ලංකා ආණ්ඩුව 2020 පෙබරවාරි මාසයේදී මානව හිමිකම් කවුන්සිලය වෙත දැනුම් දුන්නේය. මෙයට පාකිස්තානයේ සහ වෙනත් රටවල සහයෝගය ලැබීම මගින් ශ්‍රී ලංකා රජයට හිතාමතාම රටේ දෙමළ හා මුස්ලිම් සුළුතරයන්හී වින්දිතයින්ට ලැබිය යුතු සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ නිසි ක්‍රියාදාමය මග හැරීමට රජයට ඉඩ ලැබෙනු ඇත.
අග්‍රාමාත්‍ය ඛාන්ගේ සංචාරය දෙරටට සුවිශේෂී ද්විපාර්ශ්වික අවස්ථාවක් සනිටුහන් කරන නමුත් ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ දකුණු ආසියානු කලාපය සම්බන්ධ පොදු මානව හිමිකම් ගැටලු පිළිබඳව මෙනෙහි කිරීම ද වැදගත් ය. ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිය සීමා කිරීම මෙම කලාපයට පොදුය. සුළුතරයන් කොන් කිරීම, සිවිල් නිදහස සීමා කිරීම, රාජ්‍ය හා රාජ්‍ය නොවන අංශ විසින් ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන සේවකයින් ඉලක්ක කිරීම, මානව හිමිකම් ආරක්ෂා කරන්නන් සහ විපක්ෂ සාමාජිකයන් නිසි නීති ක්‍රියාදාමයකින් තොරව රඳවා තබාගැනීම, විධායක බලතල හරහා අනවශ්‍ය බලපෑම්, හිංසා පීඩා විඳීමට හේතු වන ජාතිකවාදයේ හා ආගමික අන්තවාදයේ වැඩිවීම වැනි සිද්ධීන් දකුණු ආසියාවේ බහුලව දක්නට ලැබේ. ඉන්දියානු දේශගුණික ක්‍රියාකාරිනියක වන දීෂා රවී අත්අඩංගුවට ගැනීම මානව හිමිකම් සීග්‍රයෙන් පිරිහීම සම්බන්ධයෙන් දිය හැකි අලුත්ම උදාහරණයයි.
එපමණක් නොව, වසංගත පාලනය මුහුණුවරක් ලෙස භාවිතා කරමින් රජයන් විසින් ජනතාවගේ අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී අගයන් අමු අමුවේ උල්ලංගණය කිරීම් පිළිබඳ අවස්ථා ගණනාවක් තිබේ. පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාවේ ද මිලිටරිකරණය වැඩි කිරීම සහ විශේෂයෙන් කොවිඩ් 19 සම්බන්ධ ක්‍රියාමාර්ගවලට මෙන්ම සිවිල් පරිපාලනය, ව්‍යාපාර සහ සිවිල් ජීවිතයේ අනෙකුත් අංශවලට හමුදාව නායකත්වය දීම මගින් දකුණු ආසියාවේ ජනතාව භුක්ති විඳින නිදහස සහ සිවිල් නිදහස තවදුරටත් අඩු කර තිබේ.
පාකිස්තානයේ සුළු ජාතීන් මුහුණ දෙන දුක් වේදනා සහ රජය කුරිරු නීති ක්‍රියාත්මක කිරීම නිසා ඇතැම් විට ඔවුන් අසල්වැසි රටවල සරණාගතයින් බවට පත්වීමට හේතු වී තිබේ. ඔවුන්ගේ ගැටලුවලට තිරසාර විසඳුම් සෙවීමට උත්සාහ නොකර සිසුන්ගේ ව්‍යාපාරය සහ පෂ්තුන් ජනතා ව්‍යාපාරය මැඩපැවැත්වීම සඳහා ගනු ලැබූ කුරිරු පියවරයන් ශ්‍රී ලංකාවේ මුස්ලිම් සුළුතරයේ ගැටලු විසඳීම සඳහා අගමැති ඛාන්ගේ සුජාතභාවය පිළිබඳ ගැටළුවක් මතු කරයි. එවැනි ද්වීපාර්ශ්වික අවස්ථාවන් එක් ප්‍රජාවක අවශ්‍යතා නොසලකා හැර තවත් සුළු ප්‍රජාවක ප්‍රශ්න විසඳීමට යොදා නොගත යුතු බවට අපි විශ්වාස කරමු.
එබැවින්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවන්හි සහතික කර ඇති අයුරින් සියලුම සුළු ජාතීන්ගේ අයිතිවාසිකම්වලට ගරු කරන ලෙසත්, සැමට සමාන සැලකිල්ලක් දක්වමින් ඔවුන්ගේ ගැටළු විසඳා ගන්නා ලෙසත් අප පාකිස්තාන සහ ශ්‍රී ලංකා රජයන්ගෙන් ඉල්ලා සිටී.
කලාපයේ සියලුම පුරවැසියන්ගේ මානව හිමිකම් ගැටළු විසඳීම සඳහා එක්ව කටයුතු කරමින් සැබෑ දකුණු ආසියානු මිත්‍රත්වයක් සඳහා මෙම අවස්ථාව භාවිතා කරන ලෙස අපි ශ්‍රී ලංකා සහ පාකිස්තාන රජයන්ගෙන් ඉල්ලා සිටිමු.”

ගිවිසුම් පහකට අත්සන් තබයි

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (23) පස්වරු 4.00 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළිිිිින් දිවයිනට පැමිණි අතර ඊයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමගත් අද (24) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමගත් ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීය.
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ දෙදින නිල සංචාරයට සමගාමීව ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ආර්ථික වශයෙන් වැදගත් ගිවිසුම් පහකට අරලියගහ මන්දිරයේ දී අත්සන් තැබූ බව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය අංශය නිවේදනය කළේය.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අත්සන් කළ බව කියන ද්විපාර්ශවික ගිවිසුම් පහතින් දැක්වෙයි.
1. සංචාරක සහයෝගීතාව පිළිබඳව පාකිස්තාන ඉස්ලාමීය ජනරජය හා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය අතර අවබෝධතා ගිවිසුම
2. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආයෝජන මණ්ඩලය සහ පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ ආයෝජන මණ්ඩලය අතර සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම
3. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය කාර්මික තාක්‍ෂණ ආයතනය (ITI) සහ පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ කරච්චි විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම
4. කොළඹ කාර්මික තාක්ෂණ ආයතනය සහ ඉස්ලාමාබාද් හි කොම්සැට්ස් (COMSATS) විශ්වවිද්‍යාලය අතර සහයෝගීතාව
5. කොළඹ විශ්වවිද්‍යාලය සහ පාකිස්තානයේ ලාහෝර් ආර්ථික විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම

මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශය

“පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ අග්‍රාමාත්‍ය අතිගරු ඉම්රාන් ඛාන් මහතා සහ එතුමාගේ ඉහළ පෙළේ නියෝජිත පිරිස අද 2021.02.23 දින පිළිගැනීමට ලැබීම පිළිබඳව මම මහත් සතුටට පත් වෙනවා. අගමැතිතුමනි, ඔබ ශ්‍රී ලංකා ජනතාවට අමුත්තෙකු නොවේ. පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රිකට් පිටියේ ඔබගේ නායකත්වය අගය කළ මිලියන සංඛ්‍යාත පිරිසක් මේ රටේ සිටිති.
ඔබගේ රට දිගුකාලීන ද්විපාර්ශ්වික හවුල්කරුවෙකු වන අතර ශ්‍රී ලංකාව හැමවිටම පාකිස්තානය සමීප හා අව්‍යාජ මිතුරෙකු ලෙස සලකයි. අපේ ජනතාව ද පාකිස්තානය ඉතා ඉහළින් අගය කරති. පාකිස්තානය අත්‍යවශ්‍ය අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට සහය දැක්වූ සමීප මිතුරෙකි. මගේ ජනාධිපතිධූර කාලය තුළ දී භයානක ත්‍රස්තවාදී සංවිධානයක් සමඟ සටන් වැදීමට අපට සිදුවිය. 2009 මැයි මාසයේ දී එම ත්‍රස්තවාදී සංවිධානය සම්පූර්ණයෙන්ම පරාජය කිරීමට පාකිස්තානයෙන් ලද සහයෝගයට අපි කෘතඥ වෙමු.
අද සවස පැවැති අපගේ ද්විපාර්ශ්වික සාකච්ඡා අතරතුර, අගමැති ඉම්රාන් ඛාන් මහතා සහ මම දෙරට අතර ආර්ථික, වෙළඳ, ආයෝජන, විද්‍යා හා තාක්‍ෂණ, ආරක්ෂක සහ අධ්‍යාපනය ක්ෂේත්‍රවල ඉතා සමීප සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට ගිවිස ගතිමු. පකිස්තාන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම් රාමුව තුළ ඉදිරිපත්ව ඇති අවස්ථාවන් හඹා යාමට ද අපි එකඟ වූයෙමු. අපගේ සාකච්ඡාවේ දී කොවිඩ් වසංගතය ඇතුළු කලාපීය හා ජාත්‍යන්තර ගැටලු පිළිබඳව ද අවධානය යොමු විය. දෙරට අතර සංචාරක හා ගුවන් සේවා අංශවල ක්‍රියාකාරකම් ඉහළ දැමීමට ද අපි එකඟ වූයෙමු.
පාකිස්තානයේ පුරාණ බෞද්ධ උරුමයන් නැරඹීම වන්දනා මාන කිරීමට ශ්‍රී ලාංකේයන් සඳහා මඟවිවර කරදීම පිළිබඳව පාකිස්තාන රජයට අපගේ කෘතඥතාව හිමිවෙයි. අප ගත් තවත් වැදගත් තීරණයක් නම් පාකිස්තාන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායම් ඔස්සේ පාර්ලිමේන්තු අන්තර්ක්‍රියාවලිය නැවත ආරම්භ කිරීමයි. දකුණු ආසියාවේ තිරසාර සංවර්ධනය, ආර්ථික වර්ධනය සහ සමෘද්ධිය ළඟා කර ගැනීම උදෙසා දේශපාලන ස්ථාවරත්වය සහ කලාපීය සාමය ප්‍රධාන වශයෙන් වැදගත්වන බව ශ්‍රී ලංකාවේ විශ්වාසයයි. අපගේ සංවර්ධන න්‍යාය පත්‍රයේ වැදගත් කොටසක් වන දරිද්‍රතාවය සහ සමාජ ආර්ථික විෂමතාවය සමනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා දරණ උත්සාහය මම ඉතා අගය කොට සළකමි.
ත්‍රස්තවාදය, ආගමික මූලධර්මවාදය සහ අන්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා අපි අඛණ්ඩව එක්ව කටයුතු කරමු. නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම, ආයුධ ජාවාරම සහ වෙනත් නීති විරෝධී ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා අදාළ නියෝජිත ආයතන ඔස්සේ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා වර්තමාන යාන්ත්‍රණය සමඟ ඉදිරියට යාමට අපගේ සාකච්ඡාවල දී අපි එකඟ වූයෙමු. ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ සහයෝගීතාව සහ රටේ ක්‍රීඩා පුහුණු පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා සහාය වීම පිළිබඳව අපි පාකිස්තානයට ස්තූතිවන්ත වෙමු. පාකිස්තානයේ ඉහළ පෙළේ බහු-විධ ව්‍යාපාරික දූත පිරිසක් සමඟ හෙට දිනයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා ව්‍යාපාර හා ආයෝජන සමුළුවක මුල සුන හොබවනු ඇත.
ශ්‍රී ලංකාව සමඟ ඇතිකරගන්නා මෙම සෘජු වෙළඳ සබඳතාවය ඔස්සේ දෙරට අතර ආයෝජන අවස්ථා සහ වෙළඳාම් කටයුතුවල සැලකිය යුතු වර්ධනයක් ඇතිවන ඇතැයි අපි අපේක්ෂා කරමු. ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදීම පිළිබඳව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාට සහ පකිස්තාන දූත පිරිසට ස්තූතිවන්ත වන අතරම, ඔබගේ පැමිණීම ශ්‍රී ලංකාවට ගෞරවයක් බව සඳහන් කරමි. “

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිකුත් කළ නිවේදනය

“දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර නිල හමුව අද (24) පෙරවරුවෙ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
ජනාධිපති කාර්යාලය වෙත පැමිණි පාකිස්ථාන අග්‍රාමාත්‍යතුමා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහත්වරුන් විසින් පිළිගනු ලැබීය.
ජනාධිපතිතුමා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍යතුමා දීර්ඝ වේලාවක් ද්විපාර්ශ්වික සබඳතා ගැන සාකච්ඡා කළහ. කතාබහ බෙහෙවින් ඵලදායී විනැයි පාකිස්ථානු නායකයා පැවසීය. දෙරටේ කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා තාක්ෂණික දැනුම හුවමාරුව පිළිබඳවත් රාජ්‍ය නායකයෝ දෙදෙනා අදහස් හුවමාරු කර ගත්හ. ගොවියාට ඉහළ ආදායමක් සහ පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙන ආකාරයෙන් කෘෂි ආර්ථිකය නගා සිටුවීම සිය ඉලක්කය බව නායකයෝ ප්‍රකාශ කළහ. පාකිස්ථානයේ කෘෂි ආර්ථිකය බෙහෙවින් ශ්‍රී ලංකාවට සමාන බව ඉම්රාන් ඛාන් මැතිතුමා සඳහන් කළේය. පාකිස්ථානය මෙරට අපනයන ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවෙකි. දෙරට අතර වෙළෙඳාම ප්‍රවර්ධනය සහ ආයෝජන අවස්ථා පුළුල් කිරීමට ඇති ඉඩකඩ ගැනද ජනාධිපතිතුමා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍යතුමා අවධානය යොමු කළහ.
කොවිඩ් වසංගතය මර්ධනය සමග මෙරට සංචාරය සඳහා පාකිස්ථාන ජනතාවට ආරාධනා කළ ජනාධිපතිතුමා දෙරටේ සංචාරක ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග ගැන අදහස් දැක්වීය.
තාක්ෂණික දැනුම හුවමාරුව ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි රාජ්‍ය නායකයෝ අවධානය යොමු කළහ. පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍ය මක්දුම් ෂා මෙහෙමුඩ් කුරේෂි, වාණිජ කටයුතු පිළිබඳ අග්‍රාමාත්‍ය උපදේශක අබ්දුල් රසාක් ඩාවුඩ්, විදේශ කටයුතු පිළිබඳ අග්‍රාමාත්‍ය විශේෂ සහයක බුකාරි සෙයිඩ් ෂුල්ෆිකාර්, විදේශ කටයුතු ලේකම් සොහෙයිල් මෙහමුඩ්, පාකිස්ථානයේ ශ්‍රී ලංකා තානාපති මේජර් ජෙනරල් (විශ්‍රාමික)මොහොමඩ් සාඩ් කටක් , විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පරිවාර අමාත්‍ය අලි සබ්‍රි, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු ද්විපාර්ශ්වික සාකච්ඡාවට එක්ව සිටියහ.”

පාකිස්තාන අගමැතිවරයාගේ මාධ්‍ය නිවේදනය

” අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ අරලිය ගහ මන්දිරයේදී (අග්‍රාමාත්‍ය කාර්යාලයේ) පුළුල් සාකච්ඡා පැවැත්වීය. අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා අතර පැවති එක් රැස්වීමකින් අනතුරුව දෙපාර්ශ්වය අතර නියෝජිත මට්ටමේ සාකච්ඡා ද පැවැත්විණි.
දකුණු ආසියාවේ සාමය, ස්ථාවරත්වය සහ ආර්ථික සමෘද්ධිය යන අරමුණු ඉදිරියට ගෙනයාම සඳහා පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පුළුල් සහ කල් පවත්නා හවුල්කාරිත්වයක් ඇති කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් නායකයින් දෙදෙනා මෙලෙස පුළුල් සාකච්ඡා පැවැත්වූහ. පුළුල් පරාසයක් තුළ එකට වැඩ කිරීමේ අධිෂ්ඨානය නායකයින් දෙදෙනා යළිත් තහවුරු කළහ.
වෙළඳ හා ආයෝජන, තොරතුරු තාක්ෂණ හා මානව සම්පත් සංවර්ධනය, කෘෂිකාර්මික හා විද්‍යා හා තාක්‍ෂණය, ආරක්ෂාව සහ ආරක්ෂක සහයෝගීතාව සහ සංස්කෘතික හා සංචාරක යන ක්ෂේත්‍රයන්හි අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාවක් සඳහා විශාල අවස්ථාවන් සහ හැකියාවන් ඇති බව ඔවුහු පිළිගත්හ.
පාකිස්තානයේ බෞද්ධ උරුමය සහ ආගමික සංචාරක කර්මාන්තය අගය කරමින්, සංචාරක කර්මාන්තය පිළිබඳ විශේෂඥ දැනුම බෙදා ගැනීම, පුහුණුව සහ ධාරිතාව ඉහළ නැංවීම ඇතුළුව අන්‍යෝන්‍ය සහයෝගීතාව වැඩි දියුණු කිරීමට ද මෙහිදී එකඟ විය. දෙපාර්ශ්වය අතර බහුපාර්ශ්වීය වේදිකාවල ඇති සමීප සහයෝගීතාවය පිළිබඳව දෙපාර්ශ්වයම සතුට පළ කළ අතර සියලු රාජ්‍ය මට්ටම්වල දී උපායමාර්ගික සන්නිවේදනය සහ සම්බන්ධීකරණය තවදුරටත් ගැඹුරු කිරීමට තීරණය කෙරිණි.
පෙර නොවූ විරූ කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමේදී පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල් දෙකම සාපේක්ෂව හොඳින් කටයුතු කර ඇති බව දෙපාර්ශ්වයම සඳහන් කළහ. ජාත්‍යන්තරය තුළ, වසංගතයේ අහිතකර සමාජ-ආර්ථික බලපෑම් අවම කිරීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ “ණය සහන පිළිබඳ ගෝලීය මුල පිරීම” පිළිබඳ වැදගත්කම එහිදී ඉස්මතු කර දැක්වීය.
කලාපයේ සාමය හා ස්ථාවරත්වය සඳහා පාකිස්තානයේ කැපවීම ගැන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අවධාරණය කළ අතර ඇෆ්ගනිස්ථානයේ ගැටුමට දේශපාලන විසඳුමක් ප්‍රවර්ධනය කිරීම සඳහා සෑම පාර්ශ්වයක්ම ඵලදායී ලෙස මැදිහත් වීමේ අත්‍යවශ්‍යතාවය ද අගමැති ඛාන් අවධාරණය කළේය.
පාකිස්තානයේ ආර්ථික ආරක්ෂක දැක්මෙහි කුළුණු තුන – සාමය, සංවර්ධන හවුල්කාරිත්වය සහ සම්බන්ධතාවය බව අවධාරණය කෙරිණි. දකුණු ආසියාවේ සහ ඉන් ඔබ්බෙහි සාමය, ප්‍රගතිය සහ සමෘද්ධිය පිළිබඳ දැක්ම ප්‍රවර්ධනය කිරීම හා සංවාද තුළින් ආරවුල් විසඳීමේ වැදගත්කම අගමැති ඛාන් අවධාරණය කළේය. සාර්ක් ප්‍රඥප්තියේ මූලධර්ම හා අරමුණු කෙරෙහි සිය කැපවීම යළිත් අවධාරණය කළ අතර කලාපීය සහයෝගීතාව සඳහා සාර්ක් ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමේ වැදගත්කම පිළිබඳව දෙපාර්ශ්වයම එකඟ වූහ.
තමාට සහ දූත පිරිසට දැක්වූ උණුසුම් පිළිගැනීම සහ ආගන්තුක සත්කාරය පිළිබඳව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සිය ප්‍රණාමය හා අවංක කෘතඥතාව පළ කළේය. අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හැකි ඉක්මනින් පාකිස්තානයට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුහද ආරාධනයක් කළේය.
සංචාරක, ආයෝජන, අධ්‍යාපන සහ තාක්‍ෂණ යන ක්ෂේත්‍රවල සහයෝගීතාව පිළිබඳ වැදගත් අවබෝධතා ගිවිසුම් අත්සන් කෙරිණි.”
Previous articleලංකාවේ කොවිඩ් සිරුරු ආදාහනයට එරෙහිව කැනඩා පාර්ලිමේන්තුවට පෙත්සමක්
Next articleශ්‍රී ලංකාවේ අතීත හිංසාවන්ට වගවීමක් නොමැතිකම ඇතුළු යෝජනාවලට සහය දෙන්නැයි ඇමෙරිකාව ඉල්ලයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here