මානව හිමිකම් සැසිය ඇ⁣රඹෙයි : ලංකාව කොතැනද?

මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය අද (22) ආරම්භ විය.
එම සැසිවාරය අද සිට ලබන මාර්තු 23 වැනිදා තෙක් පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාව පිළිබඳ සාකච්ඡාව පෙබරවාරි 24 වැනිදා සිදුකිරීමට නියමිතය. එදිනට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස්වරිය ඉදිරිපත් කරනු ලැබූ වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට අදාළව සහ ඒවාට ඇතිවෙමින් පවතින තර්ජන සම්බන්ධයෙන් එම වාර්තාව සකස් කර තිබූ අතර එම වාර්තාවේ සදහන් ප්‍රධාන කරුණු වන්නේ සිවිල් රජයේ කාර්යයන් හමුදාකරණය කිරීම, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී තිබූ ආරක්ෂාවන් ආපසු හැරවීම, අපරාධ සහ මානව හිමිකම් උල්ලංගණය කිරීම් සම්බන්ධයෙන් වගවීම කෙරෙහි දේශපාලනයෙන් ඇතිවන බාධා, සිවිල් සමාජ ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් සෝදිසි කිරීම්, බිය ගැන්වීම් සහ ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ අවහිර කිරීම ඇතුළු කරුණුය.

30/1 යෝජනාව

2020 පෙබරවාරි මාසයේදී වර්තමාන රජය 40/1 යෝජනාවේ සහ 34/1 සහ 30/1 යෝජනාවල සම අනුග්‍රහයෙන් ඉල්ලා අස්වන බව මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දුන්නේය. එහිදී එම යෝජනාවලට අදාළ කටයුතු දේශීය ක්‍රියාවලියක් හරහා සිදුකරන බවට රජය ප්‍රකාශ කර තිබිණි.
30(1) යෝජනාව ක්‍රියාත්මක කිරීම සහ ඒ සම්බන්ධයෙන් තක්සේරු කිරීම පිළිබඳව මහකොමසාරිස්වරිය නිකුත් කළ වාර්තාවේ සඳහන් කර තිබේ. පසුගිය රජය එම යෝජනාව වෙනුවෙන් සහ මානව හිමිකම් වෙනුවෙන් යම් කිසි කාර්යභාරයක් සිදුකළ නමුත් වාර්තමාන⁣යේ රට ගමන් කරමින් ඇත්තේ වෙනත් දිශාවකට බව එම වාර්තාව සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධ 30/1 යෝජනාව මගින් පොරොන්දු වූ අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවට බරපතල මානව හිමිකම් උල්ලංගණයන්ට තුඩු දුන් ප්‍රතිපත්ති හා භාවිතාවන් නැවත නැවත ඇති වන ආකාරයට ශ්‍රී ලංකාවේ වර්තමාන ගමන් මඟ වෙනස් ඇතැයි එම වාර්තාවේ සඳහන් වෙයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය 2015 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එනු ලැබූ 30/1 යෝජනාවලියෙන් ඉවත් වීම සඳහා ඒකමතිකව කැබිනට් අනුමැතිය හිමිවූ බව 2020 වසරේ පෙබරවාරි 20 වැනිදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.
එමෙන්ම අගමැති මහින්ද රාජපක්ෂ මහතාද ඊට පෙර දින නිවේදනයක් නිකුත් කරමින් පවසුවේ 30/1 යෝජනාව ලංකාවේ සම අනුග්‍රාහකත්වය තුළින් පවත්වාගෙන යාමේ ක්‍රියාවලියෙන් ඉවත් වීමට ආණ්ඩුව තීරණය කර ඇති බවයි.
30/1 යෝජනාව කෙටියෙන්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්මේලනයේ 30/1 යෝජනාවලිය අනුව ශ්‍රී ලංකා රජය 2015දී එකඟ වී තිබූ කරුණු 9කි.
  • කාලානුරූපී අධිකරණ ක්‍රියාවලියක් සඳහා පුළුල් ජාතික උපදේශකත්වයක් ලබා දීම
  • සත්‍යය, නීතිය, සංහිඳියාව සහ යළි ගැටුම් ඇති නොවීම සම්බන්ධයෙන් කොමිසමක් ස්ථාපනය කිරීම
  • අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක් ස්ථාපනය කිරීම
  • වන්දි ගෙවීම් කාර්යාලයක් ස්ථාපනය කිරීම
  • එල්ටීටීඊ සංවිධානය විසින් සිදු කරන ලද ප්‍රචණ්ඩ ක්‍රියා සහ අපචාර විමර්ශනය කිරීම
  • විශේෂ උපදෙස් මත ක්‍රියාත්මක අධිකරණ යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීම‍
  • අධිකරණ සහ නීතිමය ආයතන මෙහෙයවීම සඳහා අවංක සහ අපක්ෂපාතී පුද්ගලයින් පත් කිරීම
  • ජාත්‍යන්තර විනිසුරුවරුන්, නීතිවේදීන්, නීතිඥයන් සහ විමර්ශකයන් ඒකාබද්ධ කිරීම සඳහා විශේෂ නීති සම්පාදනය කිරීමට දෙමුහුන් විශේෂ අධිකරණයක් ස්ථාපනය කිරීම
  • කාලානුරූපී අධිකරණ ක්‍රියාවලිය සඳහා ජාත්‍යන්තර පාර්ශවකරුවන්ගෙන් මූල්‍යමය, ද්‍රව්‍යමය හා තාක්ෂණික සහය ලබා ගැනීමට අවසර දීම

ශ්‍රී ලංකාවට නිර්දේශ

a) ශ්‍රී ලංකාවේ සියලු දෙනාගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම මත පදනම්ව 2030 තිරසාර දැක්ම ප්‍රවර්ධනය කිරීම.
b) ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ කරන විට දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණයන් ක්‍රියාත්මක කිරීම සහ මානව හිමිකම් කවුන්සිලය මගින් සිදු කරන නිර්දේශ පිළිගැනීම.
c) වධහිංසා පැමිණවීම, ලිංගික හිංසනය සහ වෙනත් මානව හිමිකම් උල්ලංඝණය කිරීම් යන දෑ තහනම් කර ඇති බවත් එවැනි සිදුවීම් සිදුවුවහොත් ක්‍රමානුකූලව විමර්ශනය කර දඩුවම් කරනු ලබන බවට හමුදාවටන්ට, බුද්ධි අංශවලට, එහි අනෙකුත් අංශවලට සහ පොලිස් බලකාවලට පැහැදිලිව උපදෙස් නිකුත් කිරීම.
d) මානව හිමිකම් ආරක්ෂා කරන්නන්, සමාජ ක්‍රියාකාරීන් සහ මානව හිමිකම් උල්ලංඝනයවීමට ලක්වූ වින්දිතයින්ට එරෙහිව සිදු කරන හිරිහැර, පළිගැනීම් සහ සියළුම ආකාරයේ සෝදිසි කිරීම් වහාම අවසන් කරන ලෙස සියලු ආරක්ෂක ආයතනවලට නියෝග කිරීම.
e) මානව හිමිකම් උල්ලංගණය කිරීම් සහ ජාත්‍යන්තර මානුෂීය නීති බරපතල ලෙස උල්ලංගණය කිරීම, වධහිංසා පැමිණවීම සහ අයුතු ලෙස සැලකීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් කඩිනමින්, අපක්ෂපාතීව විමර්ශනය කර නඩු පැවරීමට ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දීම.
f) මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුව මානව හිමිකම් උල්ලංගණ සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති ආරක්ෂක අංශ නිලධාරීන් සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන් ඉවත් කිරීම, වගවීම ශක්තිමත් කිරීම සහ එය සහතික කිරීම සඳහා ආරක්ෂක අංශයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම.
g) මානව හිමිකම් කොමිෂන් සභාව ක්‍රියාත්මක වීමට අවශ්‍ය ව්‍යුහාත්මක ආරක්ෂාවක්, ස්වාධීනත්වයක් සහ ප්‍රමාණවත් සම්පත් ලබාදීම.
h) අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බලන කාර්යාලයට (OMP) සහ වන්දි ගෙවීමේ කාර්යාලයට ස්වාධීනව ක්‍රියාත්මක වීම සඳහා සුදුසු පරිසරයක් සහතික කිරීම, ඔවුන්ගේ රාජකාරි කාර්යක්ෂම ලෙස ඉටු කිරීමට ප්‍රමාණවත් සම්පත් සහ තාක්ෂණික ක්‍රම ලබා දීම. බලපෑමට ලක්වී ඇති පවුල් කෙරෙහි අවධානය යොමු කර සහන පියවරයන් සමග පුළුල් වන්දි ලැබීමේ අයිතිය සහ සත්‍යය දැනගැනීමට ඇති අයිතිය ලබා දී යුක්තිය ඉටු කිරීම.
i) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සඳහා තහනමක් පැනවීම සහ ජාත්‍යන්තර රීතින්ට අනුකූල එය ප්‍රතිස්ථාපනය වන තෙක් අත්අඩංගුවට ගැනීම නවතා දැමීම.
j) ජනාධිපති සමාව ලබා දීමේ දී සම්මත ක්‍රියා පටිපාටියක් ස්ථාපිත කර, අධිකරණ සමාලෝචනයට යටත්ව එය කිරීමටත්, මිනීමැරීම් සම්බන්ධයෙන් සහ මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීති උල්ලංඝනය කිරීම්වලට චෝදනා ලැබූ වැරදිකරුවන්ට සමාව ලබා නොදිය හැකි ලෙසට නීති සම්පාදනය කිරීම.

ආදාහනය ගැන අනතුරු ඇඟවීම

කොවිඩ්-19 වෛරසයෙන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු බලහත්කාරයෙන් ආදාහනය කිරීම නතර කරන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකා රජයට පසුගියදා අවධාරණය කළේය. මේ සම්බන්ධයෙන් ද යෝජනාවක් සැසිවාරයේදී ඉදිරිපත් වනු ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි.
එම කොමිසමේ මානව හිමිකම් පිළිබඳ විශේෂඥයන් සිව්දෙනකු විසින් සකස් කරන ලද වාර්තාවක් මගින් මේ බව පෙන්වා දී දුන් අතර මෙසේ බලහත්කාරයෙන් ආදාහනය කිරීම් තවදුරටත් සිදුකිරීම මගින් රටේ සුළු ජන කොටස්වල ආගමික විශ්වාසයන්ට, සංස්කෘතීන්ට හානියක් සිදුවන බවටත්, එමගින් සමාජය තුළ අසමගිය හා නොඉවසිලිමත්භාවය ඇති වී එය ප්‍රචණ්ඩත්වයක් දක්වා වැඩිදියුණු විය හැකි බවටත් එම වාර්තාවෙන් අනතුරු අඟවා තිබිණි.
කොවිඩ්-19 වෛර⁣සයෙන් මියයන අයගේ සිරුරු ආදාහනය කිරීම ⁣එකම විකල්පය ලෙස ශ්‍රී ලංකා රජය පාර්ශ්වයෙන් කරුණු ඉදිරිපත් කර තිබීම මානව හිමිකම් කඩකිරීමක් බව ද එම විද්වත් මණ්ඩලය පෙන්වා දුන්නේය.
‘කොවිඩ්-19 වෛරසයෙන් මියගිය බවට තහවුරු වූ හෝ සැක කරන ලද සිරුරු සම්බන්ධයෙන් ඇති එකම විකල්පය ලෙස ආදාහනය පැනවීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමකි. මළ සිරුරු භූමදානය කිරීම නිසා කොඩිඩ්-19 වැනි රෝග පැතිරීමේ අවදානම වැඩි වන බවට ශ්‍රී ලංකාවේ හෝ වෙනත් රටවල හෝ වෛද්‍ය හෝ විද්‍යාත්මක හෝ සාක්ෂි සොයාගෙන නොමැත’ යනුවෙන් ද වාර්තාවේ සඳහන් විය.
එහි මෙසේද දැක්වෙයි.
‘රටේ මුස්ලිම්වරුන්ට සහ අනෙකුත් සුළු ජාතීන්ට හිංසා-පීඩා කිරීම වැනි වෙනස්කම් කිරීම, ආක්‍රමණශීලී ජාතිකවාදය සහ ජනවාර්ගික කේන්ද්‍රවාදය මත පදනම් වූ එවැනි මහජන සෞඛ්‍ය තීරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අපි දැඩි ලෙස විරුද්ධ වන්නෙමු. සුළු ජාතීන්ට එරෙහිව එවැනි එදිරිවාදිකම්පෑම පවත්නා හිත්-නොහොඳකම්, අන්තර් සමාජයීය ආතතීන් සහ ආගමික නොඉවසීම් උග්‍රවීමට හේතු වෙයි.
එවැනි ප්‍රතිපත්තියක් මගින් දුප්පතුන් සහ වඩාත් අවදානමට ලක්විය හැකි පුද්ගලයන් වෙනස් කොට සැලකීම පිළිබඳ බියෙන් මහජන සෞඛ්‍ය සේවා වෙත ළඟා නොවීමේ අවදානම පිළිබඳව ද අපි සැලකිලිමත් වන්නෙමු.
කෙසේ වෙතත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත හා කොවිඩ් වැළැක්වීමේ රාජ්‍ය අමාත්‍යවරයා විසින් පත්කරන ලද විශේෂ විද්වත් මණ්ඩලයක් විසින් කොවිඩ්-19 නිසා විපතට පත්වූවන්ගේ මළ සිරුරු බැහැර කිරීම සඳහා ආදාහනය සහ භූමදානය කිරීමේ විකල්ප ඇතුළත් කරන ලෙස නිර්දේශ කර තිබියදී එය රජය විසින් නොසලකා හැර ඇත්තේ ඇයිදැයි දැනගැනීමට අපි කැමැත්තෙමු.
සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පත්කරන ලද ප්‍රධාන කමිටුව මගින් දේහ භූමදානය සඳහා භාවිත කළ හැකි විකල්ප පිළිබඳ වාර්තාව ළඟදීම නිකුත් කරනු ඇති බවටද, විදේශ රටක භූමදාන සිදුකිරීමට බලධාරීන් ගෙන ඇති තීරණ අත්හිටුවනු ඇතැයිද අපි බලාපොරොත්තු වෙමු. කොවිඩ්-19 සිරුරු බලහත්කාරයෙන් ආදාහනය කිරීම නවත්වන ලෙසත්, වසංගතයේ අතුරු ඵලයක් ලෙස මුස්ලිම්වරුන් සහ අනෙකුත් සුළු ජාතීන්ගේ වැරදි තොරතුරු, වෛරී ප්‍රකාශ සහ අපකීර්තියට ලක්කිරීම්වලට එරෙහිව සටන් කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසත් අපි ශ්‍රී ලංකා රජයෙන් තරයේ ඉල්ලා සිටිමු. වැරදීමකින් සිදුකරන ලද ආදාහන සඳහා පිළියම් සපයා සහ ඒවායේ වගකීම භාරගනු ඇතැයි බලාපොරොත්තු වෙමු.’

මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ ගැන ඉල්ලීම්

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවු අපරාධවලට වගවීම ප්‍රවර්ධනය කිරීමට නව යෝජනාවක් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සහ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා පියවර ගැනීමට මානව හිමිකම් කවුන්සිලයේදී කටයුතු කරන්නැයි ඒකාබද්ධ වාර්තාවක් නිකුත් කරමින් යුක්තිය සහ වගවීම පිළිබඳ මධ්‍යස්ථානය (CJA) සහ මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව (CPJ) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටියේය.
ජනමාධ්‍යවේදීන්ට සහ ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කරන විමර්ශන නිලධාරීන්ට එරෙහිව සිදුකෙරන හිරිහැර, සෝදිසි කිරීම් සහ පහරදීම් නතර කරන ලෙස ශ්‍රී ලංකා රජයට නිර්දේශ කරමින් යෝජනාවක් සකස් කරන්නැයි ද ඔවුන් ඉල්ලා තිබිණි.
මාධ්‍යවේදීන්ට එරෙහි හිංසන පිළිබඳ පරීක්ෂණ අධීක්ෂණය කරමින් සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා වහාම නිදහස් කිරීමට පියවර ගන්නා ලෙසට ශ්‍රී ලංකා රජයට නිර්දේශ කරන්නැයි ද ඉල්ලා සිටි එම සංවිධාන ලසන්ත වික්‍රමතුංග සහ ප්‍රගීත් එක්නලිගොඩ වැනි මාධ්‍යවේදීන්ගේ ඝාතන සම්බන්ධයෙන් අත්හිටවූ පරීක්ෂණ නැවත ආරම්භ කර එම පරීක්ෂණ සඳහා අවශ්‍ය සම්පත් ලබා දෙන ලෙස ද ඉල්ලා සිටියේය.
Previous articleඅලි ඇතුන් ගැන විගණන වාර්තාව යළි කෝපා හමුවට
Next articleසූරියවැවේ ගොවීහු නිල දැනුම්දීමක් ඉල්ලති – කැබිනට් යෝජනාව සම්මත වෙයි – ආණ්ඩුවට පැය 24 ක් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here