සූරියවැවේ ගොවීහු නිල දැනුම්දීමක් ඉල්ලති – කැබිනට් යෝජනාව සම්මත වෙයි – ආණ්ඩුවට පැය 24 ක් !

හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම ප්‍රමාද කිරීමට එරෙහිව අද (23) යළිත් ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ මාරාන්තික උපවාසය හෙට (24) දින පස්වරු 12 දක්වා කල් දමා තිබේ.

චමල් දුන් පොරොන්දුව

සූරියවැව, වල්සපුගල වැව් කණ්ඩිය මතදී පසුගිය ජනවාරි 18 දා ගොවි සංවිධාන 84 ක් ඒකාබද්ධව මීට අදාළ සත්‍යග්‍රහය ආරම්භ කරන ලදි. ඉන්පසු ජනවාරි 20 දා ගොවීන් මාරාන්තික උපවාසයක් ආරම්භ කරන ලද අතර, ජනවාරි 23 දා එය අවසාන කරන ලදි. ඒ මේ අලි කළමනාකරණ රක්ෂිතයට අදාළ වන ඉඩම්වලින් බහුතරයක් අයත් වන මහවැලි විෂය භාර කැබිනට් ඇමති චමල් රාජපක්ෂ විසින් මේ ගැටළුව මාසයක් තුළ විසදන බවට පොරොන්දුවක් ලබාදීමෙන් පසුව ය.

කැබිනට් අනුමැතිය හිමිවෙයි

එහෙත් ගොවීන් සත්‍යග්‍රහය දිගටම පවත්වාගෙන ආ අතර, ඊයේ (22) දිනයේ ඔවුහු අගමැති මහින්ද රාජපක්ෂ සහ වනජීවී විෂය භාර කැබිනට් ඇමති සී.බී.රත්නායක මුණගැසී මීට අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කරන ලෙස බලකරන ලදි. ඉන්පසු ඊයේ පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට සී.බී.රත්නායක ඇමතිවරයා විසින් මීට අදාළ කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කර තිබූ අතර, එය සම්මත කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
එහි මෙසේ සඳහන් විය..
“හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ සිදුවෙමින් පවතින වේගවත් සංවර්ධන ව්‍යාපෘති සමග වන අලි ඇතුළු අනෙකුත් වන ජීවීන්ගේ වාසස්ථාන හා සංක්‍රමණ මාර්ගවලට දැඩි ලෙස බලපෑම් ඇතිවෙමින් පවතී. මෙම තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශවල අලි මිනිස් ගැටුම් දිනෙන් දින උග්‍රවෙමින් පවතින අතර ඊට පිළියමක් වශයෙන් වන අලින්ගේ සංක්‍රමණ මාර්ග විහිදී ඇති ආකාරය පර්යේෂණ මගින් තහවුරු කර ගෙන වන අලින් සහ අනෙකුත් ජීවින් සදහා වන අලි කළමනාකරණ රක්ෂිතයක් ප්‍රකාශයට පත් කිරීමට වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය මූලික පියවර ගනු ලැබ ඇත. ඒ අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු ඉඩම් හෙක්ටයාර 23,746.55ක භූමියක් යෝජිත රක්ෂිතය සදහා හදුනාගෙන ඇත. ඒ සදහා අවශ්‍ය මාර්ගෝපදේශ හා රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ එකගත්වය මත කෙටුම්පත් කරනු ලැබ ඇත. එකී ගැසට් නිවේදනය සදහා නීති කෙටුම්පත් සම්පාදකගේ එකගතාව ලබා ගැනීමෙන් අනතුරුව රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට වාර්මාර්ග අමාත්‍යතුමා හා වනජිවි හා වන සංරක්ෂණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.“

නිල දැනුම්දීමක් අවශ්‍යයි

අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබීම නිසා යළිත් මාරාන්තික උපවාසය ආරම්භ කිරීම හෙට දිනය දක්වා කල්දමන බවත්, අදාළ ගැසට් නිවේදනය හෝ නිල දැනුම්දීමක් කිරීමට හෙට දක්වා ආණ්ඩුවට කාලය ලබාදෙන බවත් වලව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති මහින්ද සමරවික්‍රම මහතා පැවසීය.

චමල්ගේ විරෝධය

කෙසේ වෙතත් මහවැලි විෂය භාර කැබිනට් ඇමති චමල් රාජපක්ෂ මුල සිටම පවසා තිබුණේ මේ අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීමට ඉඩ නොදෙන බවත්, ආයෝජන ව්‍යාපෘති සදහා ඉඩම් ලබාගැනීම අත්‍යවශ්‍ය බවත් ය.

දින 37 ක සටනක්

දින 37 ක් තිස්සේ ගොවීන් එක්ව මේ සත්‍යග්‍රහය සහ මාරාන්තික උපවාසය පැවැත්වූ අතර, අලින් වෙනුවෙන් අලින්ට ඉඩම් වෙන්කරදෙන ලෙස ඉල්ලා මිනිසුන් විසින් මේ විරෝධතා පැවැත්වීම විශේෂත්වයකි.

අතීත කතාව

හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම දිගින්-දිගටම ප්‍රමාද කිරීමට හේතු වී ඇත්තේ දේශපාලනඥයන් සහ ඔවුන්ගේ සමීපතමයන් විසින් ඊට අදාළ ඉඩම් නීතිවිරෝධී ලෙස සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදාගැනීම බව MediaLK කළ විමර්ශනයකදී අනාවරණය විය.
2009 වසරේ සිට මේ රක්ෂිතය ප්‍රකාශයට පත්නොකර, ජනතාව දැඩි පීඩාවට පත් කිරීමට දේශපාලනඥයෝ කටයුතු කරමින් සිටිති.
මේ පීඩාව දරාගත නොහැකි නිසාම ඉකුත් ජනවාරි 20 දා සිට සූරියවැව ඒකාබද්ධ ගොවි සංවිධානය විසින් මාරාන්තික උපවාසයක් ආරම්භ කළේය. මහවැලි විෂය භාර කැබිනට් ඇමැති චමල් රාජපක්ෂ විසින් සූරියවැව අලි කළමනාකරණ රක්ෂිතය මාසයක කාලයක් තුළ ගැසට් කරන බවට ජනවාරි 23 වැනිදා පොරොන්දු වීමෙන් පසු එම මාරාන්තික උපවාසය තාවකාලිකව අත්හැරීමට ගොවීහු තීරණය කළහ.

පොරොන්දුව ලිඛිතව නෑ – සත්‍යග්‍රහය අඛණ්ඩව

ගැසට් කිරීමට අවශ්‍ය නීති කටයුතු සිදුකිරීම සඳහා යම් කාලයක් අවශ්‍ය බවත්, එම නිසා මාසයක් තුළ එය අනිවාර්යෙන්ම සිදුකරන බවත් මාරාන්තික උපවාසය පැවැති සූරියවැව, වල්සපුගල වැව්කණ්ඩිය මතට පැමිණි ඇමැතිවරයා පොරොන්දු විය. කෙසේ වෙතත් එය ලිඛිතව ලබාදෙන ලෙස ගොවීන් කරන ලද ඉල්ලීම ඉටු වූයේ නැත. එහිදී ඇමැතිවරයා සමග පැමිණි භික්ෂූන් වහන්සේ පිරිසක් පොරොන්දු වී ඇත්තේ තමන් ඊට වගකියන බවටයි. මාසයක් තුළ අදාළ කටයුතු සිදු නොවුවහොත් තමන් වහන්සේලා ද පැමිණි සත්‍යග්‍රහයට වාඩි වන බව එහිදී අදාළ භික්ෂූන් වහන්සේලා පැවසූහ.
ඒ අනුව මාරාන්තික උපවාසය තාවකාලිකව අත්හැරීමට සූරියවැව ඒකාබද්ධ ගොවි සංවිධානය තීරණය කළ අතර, පොරොන්දුව ඉටු කරන තුරු සත්‍යග්‍රහය අඛණ්ඩව පවත්වාගෙන යෑමටද තීරණය කෙරිණි. මාරාන්තික උපවාසයේ සිටි ගොවීන් දෙදෙනෙකු සූරියවැව රෝහලට ඇතුළත් කෙරුණු අතර, ගොවි සංවිධානයේ සභාපති මහින්ද සමරවික්‍රම ද දැඩි අසාධ්‍ය තත්ත්වයට පත්ව සිටියේය.

දින 8 මාසයක් දක්වා කල් යයි

හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් සූරියවැව අලි කළමනාකරණ රක්ෂිතය වහාම ගැසට් කරන ලෙසත්, රක්ෂිතයට අදාළ භූමිය බලහත්කාරයෙන් පවරාගෙන සිටින දේශපාලනඥයන්ගේ හිතවතුන් ඉවත් කරන ලෙසත් බලකරමින් සූරියවැව, වල්සපුගල වැව් කණ්ඩිය මතදී මේ මාරාන්තික උපවාසය ආරම්භ කෙරුණේ ජනවාරි 20 දා උදෑසන ය. ඊට පෙර 18දා උදෑසන සිට මෙහි සත්‍යග්‍රහයක් පැවතිණි. ආණ්ඩුව පාර්ශ්වයෙන් මේ ගැටළුවට විසඳුම් ලබාදීම සදහා මීට පෙර ජනවාරි 28 දක්වා කල් ඉල්ලා තිබිණි. ඒ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයා විසින් ය. ඒ අතර ආණ්ඩුවට හිතවත් පාර්ශ්ව පැමිණ උපවාසය කඩාකප්පල් කිරීමට උත්සාහ දරා තිබිණි.

අනවසර වගා රැසක්

සූරියවැව ඒකාබද්ධ ගොවි සංවිධානය පෙන්වා දෙන්නේ මේ වනවිට අදාළ රක්ෂිතයට යෝජිත භූමියෙන් විශාල භූමි කොටස් දේශපාලනඥයන්ගේ හිතවතුන් විසින් වෙන්කරගෙන සිටින බවයි. අන්දරවැව, උස්ගල ප්‍රදේශයේ මේ ආකාරයට ඉහළ පොලිස් නිලධාරියෙකු, පළාත් සභා ඇමැතිවරයෙකු ඇතුළු පිරිසක් ද ඉඩම් වෙන්කරගෙන ඇතැයි පෙන්වා දෙන එම ගොවි සංවිධානය, මහවැලි අධිකාරිය හරහා මේ ඉඩම්වලට කඩිනමින් ඔප්පු ලබාගැනීමට ඔවුන් උත්සාහ දරමින් සිටින බව ද අවධාරණය කරයි. මේ සම්බන්ධයෙන් විමසීමේදී මහවැලි විෂය භාර රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් පැවසුවේ මෙතෙක් අදාළ කලාපයෙන් කිසිවකුට ඉඩම් ලබාදීමක් සිදු කර නැති බවයි. ඇමැතිවරයා එසේ පැවසුවද, ගොවි සංවිධාන නියෝජිතයන් පෙන්වා දෙන්නේ මේ වනවිටත් අදාළ ඉඩම් කොටස්වල විවිධ වාණිජ වගා ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කටයුතු සිදුවෙමින් පවතින බවයි.
කෙසේ වෙතත් මීට පෙර සූරියවැව ඒකාබද්ධ ගොවි සංවිධානයේ නියෝජිතයන් සමග පැවැති සාකච්ඡාවකදී චමල් රාජපක්ෂ ඇමැතිවරයා අවධාරණය කර තිබුණේ මේ භූමිය රක්ෂිතය සඳහා නිදහස් කළ නොහැකි බවයි. ඇමැතිවරයා මෙහිදී පෙන්වා දී තිබුණේ අදාළ භුමිය වගා කටයුතු සහ ආයෝජන කටයුතු සඳහා භාවිත කිරීම වඩා වැදගත් වන බව ය. රක්ෂිතය ලෙස ගැසට් කිරීමට යෝජිත මේ භූමියෙන් විශාල ප්‍රදේශයක් අයත්වන්නේ මහවැලි ව්‍යාපාරයට අයත් වලව කලාපයටයි.
රක්ෂිතය තුළ පිහිටි විනාශ කළ භූමියක්

25,000 ක් ද, 5,500ක් ද?

මේ කලාපයේ අලින් 466 දෙනෙකු සිටින බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කරන අතර, යෝජිත රක්ෂිතය සඳහා හෙක්ටයාර් 25,000ක භූමි ප්‍රමාණයක් නිර්දේශ කර තිබිණි. කෙසේ වෙතත් මහවැලි විෂය භාර රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත්ගෙන් මේ සම්බන්ධයෙන් මීට පෙර කළ විමසීමකදී ඔහු පැවසුවේ අදාළ රක්ෂිතය සඳහා හෙක්ටයාර් 5,500ක් ලබාදීමට අදාළ සාකච්ඡා මේ වනවිට පැවැත්වෙන බවයි. අදාළ කලාපයට හෙක්ටයාර් 8,500ක් අයත් වන බවත්, එයින් හෙක්ටයාර් 3,000ක් ආයෝජන ව්‍යාපෘති සඳහා මහවැලි අධිකාරිය සතුව තබාගෙන, ඉතිරි ප්‍රමාණය අලි කළමනාකරණ රක්ෂිතයට නිදහස් කිරීමට‌ අපේක්ෂා කරන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මත්තල ගුවන්තොටුපොළ සහ හම්බන්තොට වරාය ආශ්‍රිතව කර්මාන්ත පුරයක් සහ ආයෝජන කලාපයක් පිහිටුවීම ආණ්ඩුවේ සැලසුම් බවත්, පරිසරය සුරක්ෂිත කරගනිමින් අදාළ සංවර්ධන කටයුතුද අනිවාර්යෙන්ම සිදු කළ යුතු බවත් පෙන්වා දුන් ඇමැතිවරයා, මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් කඩිනමින් ගන්නා බව ද අප මීට පෙර කළ විමසීමකදී පැවසීය.

සංවර්ධන ව්‍යාපෘති පමණයි

චමල් රාජපක්ෂ ඇමැතිවරයා විසින් 2020 අගෝස්තු 05 පැවැති පාර්ලිමේන්තු මැතිවරණයට පෙර මහවැලි අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබුණේ හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයට අයත් ඉඩම් විවිධ සංවර්ධන ව්‍යාපෘති සහ මහා පරිමාණ ඒක භෝග වාණිජ වගා සඳහා ලබාදීමට කටයුතු කරන ලෙසයි. මේ අනුව යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ ඉඩම් සමාගම්වලට සහ ව්‍යාපාරිකයන්ට ලබාදීම ඇරඹිණි.
ගල්වැව, වැලිවැව, කුරුදාන, කැටැන්වැව, ගලහිටිය වැවට ඉහළින් පිහිටි අන්දර වැව දක්වා ප්‍රදේශයේ සහ ගොන්නෝරුව, බුරුතන්කන්ද අතර ප්‍රදේශයේ අක්කර 2,000කට වැඩි ප්‍රදේශයක් මේ අනුව ඩෝසර් කිරීම සිදු විය. 2020 වසරේ මුල සිට මෙසේ අදාළ ප්‍රදේශය ඩෝසර් කිරීම ඇරඹී ඇත. ගුවන් හමුදාවේ හිටපු ඉහළ නිලධාරියෙකු විසින් ගොන්නෝරුව හා බුරුතන්කන්ද අතර අක්කර 500ක භූමියක් සූර්ය බලශක්ති බලාගාර ව්‍යාපෘතියක් සඳහා එළිපෙහෙළි කර ඇත.
නීතිවිරෝධී පස් කැණීම්

අධි අවදානම් කලාපයක්

යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ සිට මදුනාගල අභය භූමිය දක්වා අලි ගමන් කිරීම සිදු වන බුරුතන්කන්ද අලිමංකඩ ආශ්‍රිත ඉඩම් සියල්ලම මෙසේ මහවැලි අධිකාරිය මගින් බෙදා දී ඇති ඉඩම් අතර වේ. මේ නිසා මදුනාගල අභය භූමිය තුළ පමණක් අලි-ඇතුන් 25-30ක් පමණ කොටු වී සිටිතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු සඳහන් කරති. මේ සතුන් ඒ අවට ගම්මානවලට පිවිසීම හා වගා බිම්වලට පැමිණ වගා හානි කිරීම නිරන්තරයෙන් සිදුවන්නකි.
මීට අමතරව හම්බන්තොට වරාය ඉදිකිරීමට යොදා ගත් වනාන්තර අක්කර 5,000ක භූමියෙන් දැනට ඉතිරි වී තිබෙන වනාන්තර අක්කර 2,500ක පමණ කොටසේද අලි-ඇතුන් විශාල ප්‍රමාණයක් රැඳී සිටී. මේ සතුන් ද ගම් වැදීම නිසා පසුගිය කාලයේ බරපතළ ගැටළු රැසකට මුහුණ දීමට ජනකාවට සිදුවිය. මීට බලපා ඇති ප්‍රධාන හේතුව යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය සහ මේ වනාන්තර කොටස අතර සම්බන්ධතාව බිඳ වැටී තිබීම ය.
යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ ගොන්නෝරුව ප්‍රදේශය ආශ්‍රිතව සිටින අලින්ට බූන්දල ජාතික වනෝද්‍යානයට පිවිසීමට ඇති මාර්ගය සම්පූර්ණයෙන්ම ඇහිරී තිබේ. ගල්වැව ප්‍රදේශයෙන් මේ සම්බන්ධතාව වනාන්තර අතර පැවතුණත්, එම ප්‍රදේශයේ මහා පරිමාණයෙන් වනාන්තර එළිකිරීමේ ප්‍රතිඵලයක් ලෙස අලි පිවිසුම් මාර්ගය සම්පූර්ණයෙන්ම ඇහිරී ඇත. මේ සියල්ලේම ප්‍රතිඵලයක් ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කය ආශ්‍රිත බොහෝ ප්‍රදේශ අලි-මිනිස් ගැටුමේ අධි අවදානම් කලාපයක් ලෙස හඳුනාගෙන තිබේ.

ඉඩම් විකිණීමේ ජාවාරමක්

යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයට අයත් වනාන්තර ඉඩම් මහා පරිමාණයෙන් විකිණීමේ ව්‍යාපාරයක් ද ක්‍රියාත්මක විය. වලව මහවැලි කලාපය ලෙස ප්‍රකාශයට පත්කර ඇති මේ යෝජිත රක්ෂිතයට අයත් වනාන්තර ඉඩම් නින්දගම් ඉඩම් යැයි සඳහන් කරමින් කට්ටි කර විකිණීම සිදු කෙරිණි. ගොන්නෝරුව නින්දගම ලෙස හැඳින්වෙන පන්වැව සිට ගොන්නෝරුව දක්වා විහිදී ඇති වනාන්තර ප්‍රදේශයේ අක්කර 500ක් පමණ මෙසේ අක්කර 25 සහ 50 බැගින් කට්ටි කර, කොළඹ ආශ්‍රිතව පදිංචි මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට විකිණීම සිදුකර ඇත. කැටැන්වැව සිට මළලආර දක්වා කොටසේ පිහිටි ගලහිටියවත්ත නින්දගම ලෙස හඳුන්වන වනාන්තර ප්‍රදේශයේ ඉඩම් කට්ටි කර විකිණීමේ ජාවාරමක් ද ප්‍රබල දේශපාලනඥයකුගේ සමීපතම ආධාරකරුවකු විසින් සිදු කරමින් සිටී.
මීට අමතරව යෝජිත හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයට අයත් ප්‍රධාන අලිමංකඩක් වන හැඬිල්ල අලිමංකඩ අවහිර කිරීමද සිදු කෙරෙමින් තිබේ. බූන්දල ජාතික වනෝද්‍යානය සහ හම්බන්තොට ප්‍රදේශයේ වනාන්තරවල ජීවත්වන අලි-ඇතුන් ලුණුගම්වෙහෙර හා උඩවලව ජාතික වනෝද්‍යානවලට ගමන් කිරීම සිදුකරන්නේ මේ අලිමංකඩ හරහා ය. වර්තමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින්ද, ඔහු පසුගිය ආණ්ඩුවේ නිවාස විෂය භාර ඇමැතිවරයා ලෙස කටයුතු කළ කාලයේ නිවාස සංකීර්ණයක් ඉදිකර මේ අලිමංකඩ අවහිර කර තිබේ. ගොන්නෝරුව හා කැටැන්වැව ප්‍රදේශ අතර මේ අලිමංකඩ අවහිර වන ලෙස මේ නිවාස සංකීර්ණය ඉදිකර ඇත.
රක්ෂිතයේ පිහිටි වගාබිමක්

හම්බන්තොට අලි කළමනාකරණ සැලැස්ම

උඩවලව, ලුණුගම්වෙහෙර හා බූන්දල ජාතික වනෝද්‍යාන සම්බන්ධ කරමින් අලි-ඇතුන්ගේ සංක්‍රමණික රටා හඳුනාගෙන හම්බන්තොට අලි-මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා ‘හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය’ ප්‍රකාශයට පත්කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යෝජනා කර තිබේ. ඒ මගින් හම්බන්තොට ප්‍රදේශයේ ජීවත් වන අලි-ඇතුන් විශාල ප්‍රමාණයකගේ වාසස්ථාන සුරක්ෂිත කළ හැකිය. 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 2 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 2 වැනි වගන්තියට අනුව මේ රක්ෂිතය ප්‍රකාශයට පත්කිරීමට යෝජිත ය.
2009 සිට 2011 දක්වා කාලයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් සකස් කළ මේ සැලැස්මට 2012 වසරේදී අනුමැතිය ලැබී ඇත. මේ සැලැස්මට අනුව හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත්කිරීම, විදුලි වැටවල් ඉදිකිරීම හා අලිමංකඩ විවෘත කිරීම සිදුකිරීමට නියමිතව තිබිණි. මීට අදාළ සියලු වනජීවී වාර්තා සකස් කර මේ වන විට වසර නවයකි. මේ සැලැස්ම සඳහා ඉඩම් අත්පත් කරගැනීමේ යෝජනාව දැනට වසර 07කට පෙර ඉඩම් අමාත්‍යංශය වෙත යොමුකර ඇත.
ප්‍රධාන අලිමංකඩ කිහිපයක් සුරක්ෂිත වන ආකාරයට මේ සැලැස්ම සකස් කර තිබේ. ඒ අනුව යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයට බූන්දල ජාතික වනෝද්‍යානයේ සිට අලි සංක්‍රමණය වන ප්‍රධාන අලිමංකඩ පිහිටා ඇත්තේ කොහොලංකල ප්‍රදේශයේ ය. මෙය කොහොලංකල-කෑලියපුර අලිමංකඩ ලෙස හැඳින්වේ. යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය හා ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය සම්බන්ධ වන්නේ උනාතුවැව අලිමංකඩෙන් ය. මේ අලිමංකඩ ද මේ වන විට ඇහිරී තිබේ.

නීතිවිරෝධී ව්‍යාපෘති

මේ වන විට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ අයිරිෂ්, ඇනෝචි, ෆාර්නා, නැව්ටාස් යන සමාගම් විසින් සූර්ය බලශක්ති බලාගාර ඉදිකිරීම සඳහා තිස්සපුර, බුරුතංකන්ද ප්‍රදේශයේ වනාන්තර අක්කර 600ක් නීතිවිරෝධී ලෙස එළිපෙහෙළි කර තිබේ. වල්සපුගල, දිවුල්පැලැස්ස වැව් ඉහත්තෑවේ අලි-ඇතුන් ජීවත් වූ අක්කර 300කට වැඩි වනාන්තර භූමි ප්‍රදේශයක් ද සම්පූර්ණයෙන්ම එළිපෙහෙළි කර, මහා පරිමාණ සූර්ය බලශක්ති ගම්මානයක් ඉදිකර ඇත. මේ ප්‍රදේශය අලි-ඇතුන් විශාල රංචු වශයෙන් ජීවත් වූ ප්‍රදේශයකි. එසේම මහවැලි අධිකාරිය මගින් කෑලියපුර, ගොන්නෝරුව, කැටැන්වැව, පහළ අන්දරවැව හා කුඩාඉඳිවැව යන ප්‍රදේශවල පිහිටි යෝජිත රක්ෂිතයට අයත් වනාන්තර අක්කර 6,000ක් පමණ වාණිජ ඉඩම් ලෙස ව්‍යාපෘති සඳහා ලබා දී තිබේ.
යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයට අයත් උඩමළල ප්‍රදේශයේ ලෝලුගස්වෑකඩ, මැටිගත්වැව, පරෙංගිවැව, ළිංවැව, ස්වර්ණමාලීවැව හා මායියන්වැව ආවරණය වන පරිදි අක්කර 1,500ක භූමියක් තෙල් පිරිපහදු සංකීර්ණයක් ඉදිකිරීම සඳහා චීන සමාගමකට ලබාදීමට සැලසුම් සකස් කෙරෙමින් පවතී. මැටිගත්වැව හා ස්වර්ණමාලීවැව යටතේ කුඹුරු අක්කර 100කට ආසන්න ප්‍රමාණයක වී වගා කෙරේ. මේ වැව් 02ට වලව වම් ඉවුරු ඇළ ව්‍යාපෘතිය යටතේ ජලය සැපයෙන අතර, ඒ මඟින් යල-මහ දෙකන්නයේ වී වගාව සාර්ථකව සිදු කරනු ලබයි. මේ වැව් රක්ෂිත වෙහෙරගල රක්ෂිතය ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අතර, මේ වනාන්තරය හරහා බූන්දල ජාතික වනෝද්‍යානය දෙසට අලි සංක්‍රමණය වේ. මේ වනාන්තරය තෙල් පිරිපහදු සංකීර්ණයක් ස්ථාපිත කිරීම සඳහා නිදහස් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විරෝධතාව පළ කර ඇත.
රක්ෂිතය තුළ පිහිටි වැවක්

අනවසර වගාබිම් සහ කළු ගල් වලවල්

යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ පිහිටි මහවැලි අධිකාරියට අයත් වනාන්තර භූමි මහා පරිමාණයෙන් එළිපෙහෙළි කර, අනවසර වගා බිම් පවත්වාගෙන යන ස්ථාන ගණනාවක් තිබේ. එනම් හාමුදුරු වැව, ඉහළ අන්දර වැව, සීනුක්කුගල, පහළ අන්දර වැව, දිමුතුගම හා වැලි වැව ප්‍රදේශවල ය. මීට අමතරව යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර ද එළිපෙහෙළි කර, ස්ථාන ගණනාවක මහා පරිමාණයෙන් අනවසර වගාබිම් පවත්වාගෙන යනු ලැබේ. එනම් රතුකුරුස වැව, දක්ෂිණ වැව, අලුත් වැව, කඩවර වැව, බඳගිරිය වැව, මහ අලුත්ගංආර වැව, රණවරුනාව වැව හා දෙව්රන්වෙහෙර වැව යන ප්‍රදේශවල ය. මයුරපුර හා නාගර වැව ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පස් කැපීම සිදුකරන අතර, අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා ස්ථාන ගණනාවකින් වනාන්තර එළිපෙහෙළි කර මහා පරිමාණයෙන් පස් කැපීම සිදුකරයි.
යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා මහවැලි අධිකාරියට අයත් වනාන්තර ඉඩම් එළිපෙහෙළි කර, මහා පරිමාණ කළු ගල් වලවල් පවත්වාගෙන යයි. වෙහෙරගල සහ මහ අලුත්ගංආර ප්‍රදේශවල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර මේ සඳහා යොදාගෙන ඇත. මීට අමතරව මයුරපුර, සීනුක්කුගල, කැටැන්වැව, ඉහළ අන්දරවැව, කුඩා ඉඳිවැව, ගලහිටිය හා ගොන්නෝරුව ප්‍රදේශවල මහවැලි අධිකාරියට අයත් වනාන්තර භූමිවල ද මහා පරිමාණයෙන් කළු ගල් වලවල් පවත්වාගෙන යනු ලබයි.

මහවැලිය අත්කර දී ඇති ඉරණම

මේ ආකාරයෙන් අවභාවිත වන යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයෙන් සියයට 40ක් පමණ ආවරණය වන්නේ මහවැලි අධිකාරියට අයත් වනාන්තර ඉඩම්වලින් ය. 1979 අංක 23 දරන ශ්‍රී ලංකා මහවැලි අධිකාරි පනතේ 3(1) වගන්තියට අනුව 1981 අප්‍රේල් 16 දින නිකුත් කරන ලද අංක 137 දරන ගැසට් නිවේදනය මගින් වලව බල ප්‍රදේශය වශයෙන් විශාල භූමි ප්‍රමාණයක් මහවැලි අධිකාරිය යටතට පවරා ඇත. එසේ පවරා ඇත්තේ මේ සමස්ත ප්‍රදේශයේම වනාන්තර එළිපෙහෙළි කර, සංවර්ධනය කිරීමට නොවේ.
මහවැලි කඩිනම් සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී වනාන්තර එළිපෙහෙළි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වාසස්ථාන අහිමි වූ අලි-ඇතුන් ඇතුළු සියලු ජෛව ප්‍රජාවට සහ ජල පෝෂක ප්‍රදේශවල සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජාතික වනෝද්‍යාන ඇතුළු බොහෝ ආරක්ෂිත ප්‍රදේශ ප්‍රකාශයට පත්කරන ලදි. නමුත් වලව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී වාසස්ථාන අහිමි වූ අලි-ඇතුන් ඇතුළු ජෛව ප්‍රජාවට සහ ජල පෝෂක ප්‍රදේශවල සුරක්ෂිතතාව තහවුරු කිරීමට මහවැලි අධිකාරියට අයත් කිසිදු වනාන්තර ප්‍රදේශයක් රක්ෂිත තත්ත්වයට පත්කර නැත. වැව් හා ජලාශවල පමණක් නොව, මව් ආර හා මළල ආර පෝෂණය කරන බොහෝ වනාන්තර ප්‍රදේශ ද මේ වන විට සංවර්ධනය නිසා අහිමිවෙමින් තිබේ.
යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ පිහිටි මහවැලි අධිකාරියට අයත් වනාන්තර ප්‍රදේශ 06ක් මේ වන විට අනාරක්ෂිත ය. මදුනාගල අභයභූමිය ආශ්‍රිතව පිහිටි හෙක්ටයාර් 300ක් පමණ වන කරඹගස්මුල්ල ඖෂධ වනය ඒ අතරින් මූලික වේ. මීට අමතරව වැවේගම, වැලිආර, බැඳිවැව, බෝගහඉඳිවැව, කුඩාඉඳිවැව ආශ්‍රිත ප්‍රදේශවල ව්‍යාප්තව ඇති කෝන්කැටි ආර වනාන්තරය හෙක්ටයාර් 700කි. මේ ඝන වනාන්තරය තුළ අලි-ඇතුන් බහුලව ජීවත් වේ.
මීට අමතරව මහවැලි අධිකාරියට අයත් නොවන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් තවත් වනාන්තර ප්‍රදේශ රැසක් යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයට අයත් ය. හෙක්ටයාර් 600ක් පමණ වන තම්මැන්න-බඳගිරිය අවශේෂ වනාන්තරය, හෙක්ටයාර් 500ක් පමණ වන බූන්දල-සිරියගම අවශේෂ වනාන්තරය, හෙක්ටයාර් 2,000ක් පමණ වන රන්මුදුවැව වන රක්ෂිතය සහ හෙක්ටයාර් 600ක් පමණ වන කැලිගම-කොහොලංකල අවශේෂ වනාන්තරය ඒ අතර ප්‍රධාන වේ. මේ වනාන්තරද දැඩි අවදානමට මුහුණ දී තිබේ. ඊට හේතු වී ඇත්තේ මේ අවශේෂ කැලෑ ව්‍යාපෘති සඳහා යොදාගැනීමට වර්තමාන ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද 01/2020 චක්‍රලේඛයයි. ඊට එරෙහිව මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකර ඇත.

හම්බන්තොට අලි-මිනිස් ගැටුම

හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ සහ හම්බන්තොට අධිවේගී මාර්ග ජාලය ඉදිකිරීමට අදාළව සකස් කළ පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවල පැහැදිලිව සඳහන් කර ඇත්තේ මේ සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් අවතැන් වන අලි-ඇතුන්ට රැකවරණය සැලසීම සඳහා හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කළ යුතු බව ය. මෙතෙක් ප්‍රකාශයට පත්කර නැත්තේ ඒ රක්ෂිතයයි. මේ තත්ත්වය හේතුවෙන් වල්සපුගල, කරුවලවැව, මදුනාගල, හැඬිල්ල, කරඹගහමුල්ල, නබඩගස්වැව-කටු වැව, පතලයාගම, ආරබැද්ද, කැලිගම, ගල්වැව, හොඬවැල් පොකුණ, බැල්ලගස් වැව, බැරගම, අම්බලන්තොට, මානජ්ජාව, වැවේගම, වැලි ආර, වැලි වැව, මීගහජඳුර, මත්තල, උඩමත්තල, ගොන්නෝරුව, බඳගිරිය, තම්මැන්නාව, කරුස වැව, ජූල්ගමුව, යහන්ගල, අන්දරවැව, පන්වැව, සීනුක්කුගල, නාගරවැව, කුඩාඉඳිවැව, කැටැන්වැව හා උණුදිය පොකුණ ආදී ප්‍රදේශවල අලි-මිනිස් ගැටුම උග්‍ර වී තිබේ. මීට අමතරව මේ ප්‍රදේශවල ගව පාලනයේ නිරත පුද්ගලයන්ගේ එළ හා මී ගවයන් 30,000කට වැඩි ප්‍රමාණයකගේ ආහාර බිම් ද අහිමි වී ඇත. මේ නිසා මේ සතුන් මාදුරුඔය, ගල්ඔය, කොටියාගල, සියඹලාණ්ඩුව, අම්පාර, පදියතලාව ආදී ප්‍රදේශවල පිහිටි රක්ෂිත වනාන්තරවලට ගෙනගොස් තිබේ. මේ නිසා වෙනත් ගැටළු ද මතුවී ඇත. දෙසැම්බර් මාසයේ මාදුරුඔය ජාතික වනෝද්‍යානයට මෙසේ මුදාහැර තිබූ ගවයන් විශාල ප්‍රමාණයක් සම්බන්ධයෙන් බරපතළ ගැටළු ඇති වූ අතර, එම සතුන් ජාතික වනෝද්‍යානයෙන් ඉවත් නොකරන ලෙස ආණ්ඩුවේ ඉහළ ප්‍රධානීන්ගෙන් බලපෑම් එල්ල වී තිබිණි.

සෞභාග්‍යයේ දැක්ම

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගිය ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කළ ‘ගෝඨාභය – රට හදන සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ‘තිරසර පරිසර ප්‍රතිපත්තියක්’ නම් කොටසේ මෙ‌සේ සඳහන් වේ.
‘ශ්‍රී ලංකාවේ භූමිය භාවිත කළ යුත්තේ ජනතාවගේ යහපැවැත්ම සඳහා ය. මිනිසා මෙන්ම අනෙක් සතුන්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවකු ලෙස රජය ක්‍රියා කළ යුතු ය.’

 

Previous articleමානව හිමිකම් සැසිය ඇ⁣රඹෙයි : ලංකාව කොතැනද?
Next articleකොරෝනා එන්නත : මුල් අරමුණින් දුරස් වුණාද ?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here