අලි ඇතුන් ගැන විගණන වාර්තාව යළි කෝපා හමුවට

ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම් පිළිබඳ සිදුකරන ලද විශේෂ විගණන වාර්තාව හෙට (23) නැවතත් පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) වෙත කැඳවා තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම් අවම කිරීම සම්බන්ධව ඉදිරිපත්ව ඇති නිර්දේශ කෝපා කමිටුවේදී අවධානයට ලක් කෙරෙනු ඇත.
අලි-මිනිස් ගැටුම් නිසා ලෝකයේ වැඩියෙන්ම අලි මරණ සිදුවන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව පසුගිය දෙසැම්බර් 09 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවති කෝපා කමිටුවේදී අනාවරණය වූ අතර අලි මිනිස් ගැටුම් නිසා ලෝකයේ වැඩියෙන්ම මිනිස් මරණ සිදුවන රටවල් අතර ශ්‍රී ලංකාව දෙවන තැන ගන්නා බවද එහිදී අවධාරණය විය.
අලි-මිනිස් ගැටුම් හේතුවෙන් පසුගිය 2019 වසර තුළදී අලිඇතුන් 407 දෙනෙකු සහ මිනිසුන් 122 දෙනෙකු මියගොස් ඇති බව ගිණුම් කාරක සභාවේදී අනාවරණය විය. අලි මිනිස් ගැටුම සම්බන්ධව පර්යේෂණාත්මක අත්දැකීම් සහිත විද්වතකු වන ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු මහතා ලබාදුන් පර්යේෂණ ප්‍රතිඵල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී මෙම කරුණු අනාවරණය වී තිබිණි.
ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම් හේතුවෙන් වසරකට මියයන අලි ඇතුන් ප්‍රමාණය සාමාන්‍යයෙන් 272 ක් බවද අලි මිනිස් ගැටුම් හේතුවෙන් සාමාන්‍යයෙන් වසරකට මිය යන මිනිසුන් ගණන 85 ක් බවද ගණන් බලා තිබුණද මෙම ප්‍රමාණය සැලකිය යුතු අන්දමින් ඉහල යාම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවිය යුතු යැයි පෘතිවිරාජ් ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායම අදහස් දක්වමින් සඳහන් කර ඇත.

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here