‘දූපත් ව්‍යාපෘතිය’ ජනතාවගේ කැමැත්තට පිටින් : උතුර එක්වෙයි !

ජනතාවගේ අවශ්‍යතා පිළිබඳව නොසලකමින් යාපනයට ආසන්නයේ පිහිටි දූපත් තුනක් චීනය සමග ක්‍රියාත්මක කරන ඒකාබද්ධ බලශක්ති ව්‍යාපෘතියක් සඳහා ලබාදීමේ ආණ්ඩුවේ තීරණයට උතුරු පළාතේ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධානවලින් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
මේ සම්බන්ධයෙන් සිය විරෝධය මේ සතියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිඛිතව ඉදිරිපත් කිරීමට ඔවුන් සැලසුම් කර ඇති අතර, එම ඉල්ලීමට යහපත්  ප්‍රතිචාර නොලැබුණහොත් ජනතාව සමග එක්ව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට ද එම පාර්ශ්ව තීරණය කර ඇත. පසුගිය 14 වැනිදා යාපනයේදී මීට අදාළ මූලික සාකච්ඡාව පැවැති අතර, ඒ සඳහා උතුරේ ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂ 9ක ප්‍රධාන නියෝජිතයන් සහභාගි වී ඇත. මෙහි දෙවැනි සාකච්ඡාව මේ සතියේ මැද පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා දේශපාලන පක්ෂ 14ක නියෝජිතයන්ට, සිවිල් සංවිධාන සහ ආගමික නායකයන්ට ආරාධනා කර ඇත.

විමසීමකින් තොර අනුමැතිය

යාපනයට ආසන්නයේ පෝක් සමුද්‍රසන්ධියේ පිහිටි ඩෙල්ෆ්ට්, අනලතිව් සහ නයිනතිව් දූපත් මෙසේ අදාළ ව්‍යාපෘතිය සඳහා ලබාදීමට පසුගිය ජනවාරි 18දා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත. දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති පද්ධතියක් ස්ථාපිත කිරීම යනුවෙන් මේ ව්‍යාපෘතිය හඳුන්වා ඇති අතර, ආණඩුවේ මේ තීරණය සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි අවධානයකින් පසුවන බව එරට ද හින්දු පුවත්පත වාර්තා කර තිබේ. ඉන්දියානු සමාගමක්ද මේ ව්‍යාපෘතිය සඳහා මුල් වටයේදී ටෙන්ඩර් ඉදිරිපත් කර ඇතත්, ප්‍රසම්පාදන කමිටුව මගින් එය ප්‍රතික්ෂේප කර ඇත. ඉන්පසු මේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය සම්පූර්ණ මුදල පරිත්‍යාගයක් ලෙස මෙරටට ලබාදීමට ඉන්දීය රජය කැමැත්ත පළකර ඇත.

වගකිවයුතු ආයතන දැනුවත් නෑ

කෙසේ වෙතත් මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මෙතෙක් මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් හෝ මධ්‍යම පරිසර අධිකාරියෙන් අනුමැතිය ලබාගෙන නැති අතර, එම ආයතනවලට මෙතෙක් කිසිදු නිල දැනුම්දීමක් ද කර නැත. මෙවැනි බලශක්ති ව්‍යාපෘතියක් සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගැනීම අනිවාර්ය වේ. මේ ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, චීනයේ එටෙක්වින් සමාගම සහ ලංකා විදුලිබල මණ්ඩලය සම පාර්ශ්වකරුවන් ලෙස කටයුතු කරයි. ඇමරිකානු ඩොලර් මිලියන 12ක වටිනාකමකින් යුත් මේ ව්‍යාපෘතිය, කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද ප්‍රසම්පාදන කමිටුවක් මගින් ද අනුමත කර ඇති අතර, මෙරට ප්‍රසම්පාදන ක්‍රමවේද අනුව ව්‍යාපෘතියේ සියලු කටයුතු සිදුවන බව ආණ්ඩුව පාර්ශ්වයෙන් සඳහන් කරයි.

තරගකාරී ටෙන්ඩර් ක්‍රමය

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු දෙමින් විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම පැවසුවේ උතුරේ දූපත්වල විදුලිය සම්බන්ධයෙන් ඇති ගැටළුවට ස්ථිර විසඳුමක් ලෙස ඉදිරිපත් කර ඇති මේ බලශක්ති ව්‍යාපෘතියට මූල්‍යාධාර සපයන්නේ ආසියානු සංවර්ධන බැංකුව බවත්, චීන සමාගම තරගකාරී ටෙන්ඩර් ක්‍රමය යටතේ සුදුසුකම් සම්පූර්ණ කරන ලද සමාගම බවත් ය.

අන්තිම පීඩාව ජනතාවට

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රිනී ආනන්දි ශෂිදරන් පැවසුවේ මෙය සැබෑ ජනතා අවශ්‍යතාවක් නොවන බවයි. ජනතාවගේ අදහස් විමසීමකින් තොරව මෙන්ම අදාළ දූපත්වල ඇති ප්‍රශ්න පිළිබඳ කිසිදු අවබෝධයකින් තොරව මෙම තීන්දුව ගෙන ඇති බවත්, මෙවැනි තීන්දුවක් නිසා ඉන්දියාවෙන් ඇතිවන බලපෑම්වලට අවසානයේදී මුහුණ දීමට සිදුවන්නේ උතුරේ ජනතාවට බවත් ඇය වැඩිදුරටත් පැවසීය.
තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කළේ විවිධ ආණඩුවල අවශ්‍යතා මත උතුරට ඉදිරිපත් කළ ව්‍යාපෘති නිසා උතුරේ ජනතාව දැඩි පීඩාවට පත්ව ඇති බවයි. මේ නිසා අදාළ දූපත්වල මෙවැනි චීනය සමග ඒකාබද්ධ ව්‍යාපෘතියක් සිදුකිරීම වෙනුවට ජනතාව සමග එක්ව රජයේ ව්‍යාපෘතියක් ඉදිකිරීමට ප්‍රමුඛතාව ලබාදිය යුතු බව ද ඔහු අවධාරණය කළේය. එසේ ජනතාවගේ අවශ්‍යතා මත සිදුකෙරෙන රජයේ ව්‍යාපෘතියකට සහායදීමට සියල්ලන් එක්වනු ඇතැයි ද අප කළ විමසීමට පිළිතුරු දෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. පසුගිය 14දා  පැවැති සාකච්ඡාවට තමිල් අරසු කච්චි, ටෙලෝ, ඊපීආර්එල්එෆ්, ප්ලොට්, තමිල් මක්කල් කූටනි, ඊලත්තමිලර් සුයාඩ්ච්චික්කුලම්, පසුමෙයි තයහම් කච්චි, තමිල් දේශම් කච්චි සහ පෝරාලිහල් ජනනායක කච්චි, ඉලංගෙයි තමිල් කොංග්‍රස් ඇතුළු පක්ෂ නියෝජනය කරමින් මාවෙයි සේනාධිරාජා, එස්.ශිවඥානම්, ශ්‍රී කාන්ත්, ආනන්දි ශෂිදරන්, ශිවාජිලිංගම්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ඇතුළු පිරිසක් සහභාගි වී ති‌බේ.
Previous article‘ඉරා අඳුරු පට’ වාරණය වැරදියි : වසර 12ක නඩු විභාගයකින් පසු ලැබුණු සුවිශේෂී තීන්දුවක් !
Next articleශානි අබේසේකර ජාතික රෝහලෙන් වැලිකඩට

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here