විල්පත්තු ප්‍රේරණ කලාපය නැවත වනසයි – පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම්

කෝමාරිකා වගාව වෙනුවෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ප්‍රේරණ කලාපය තව දුරටත් විනාශ කරමින් පවතින බව පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා ෆේස්බුක් සටහනක් ඔස්සේ ප්‍රකාශ කරයි.
පෞද්ගලික සමාගමක් විසින් පසුගිය වසරේද විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරණ කලාපයේ රාජාංගනය යාය 18 ගම්මානය ආසන්නයේ ඇති කෑලෑ ප්‍රදේශය මෙලෙස එළි කරනු ලැබූ බවට රවීන්ද්‍ර කාරියවසම් මහතා පෙන්වා දුන් අතර එම කාලයේදී නීතිවිරෝධී ලෙස ජාතික වනෝද්‍යානයේ ප්‍රේරණ කලාපය විනාශ කර වැවක්ද නිර්මාණය කර තිබූ බව ඒ මහතා පවසයි.
අද වන විට ජාතික වනෝද්‍යානයේ ප්‍රේරණ කලාපය තවත් වන සංහාරයකට ලක්කරමින් කෝමාරිකා වගාව වෙනුවෙන් එළිපෙහෙළි කරමින් ඇති අයුරු අද (19) දින පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ නිරික්ෂණ කණ්ඩායමකට නිරික්ෂණය වු බව කාරියවසම් මහතා කියයි.

ජාතික වනෝද්‍යානයක ප්‍රේරණ කලාපයක් වැනසීම වනසත්ව හා වෘක්ෂලතා ආඥාපනතට අනුව දඬුවම් ලැබිය හැකි වරදක් වුවත් දේශපාලකයන්ගේ සහය ඇතිව අදටත් විල්පත්තු ජාතික වනෝද්‍යානය වනසමින් ඇති බව ඒ මහතා වැඩිදුරටත් පවසයි.

පසුගිය වසරේ ජුනි 10 වැනිදා MediaLK පළ කළ පුවත

පසුගිය කාලයේ ආන්දෝලනයකට තුඩු දුන් කෝමාරිකා වගා ව්‍යාපෘතිය මේ වන තෙක් නතර කර නැතැයි ද විල්පත්තු ප්‍රේරණ කලාපයට විශාල විනාශයක් කරමින් කොරෝනා කාලයේදී ද එම ව්‍යාපෘතිය මහා පරිමාණයෙන් කරගෙන ගොස් ඇතැයි ද පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා පවසයි.
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ රාජාංගනය යාය 08 ගම්මානය ආසන්න ප්‍රේරණ කලා⁣පයේ ගස් කපා දමමින් දැවැන්ත පරිසරය විනාශයක් සිදුකරමින් කෝමාරිකා වගා කිරීම සඳහා පෞද්ගලික සමාගමක් විසින් එම ව්‍යාපෘතිය සිදුකරනු ලබන බවද ඒ මහතා කියයි.
එම ප්‍රදේශයේ පවතින පුරාණ වැව් ද ප්‍රතිසංස්කරණය කර කෝමාරිකා වගාව සඳහා යෙදවීමට එම සමාගම උත්සහ කරමින් සිටින බව ඒ මහතා පෙන්වා දෙයි.
විල්පත්තුව වනෝද්‍යානය තුළ විශාල වැවක් නිර්මාණය කර එහි ජලයත් මෙම කෝමාරිකා වගාවට භාවිත කිරීමට එම සමාගම උත්සහ කර ඇතැයි ද රවීන්ද්‍ර මහතා ප්‍රකාශ කරයි.
“මේක වනසත්ව ආඥා පනතට අනුව නීතිවිරෝධී කටයුත්තක්.හේතුව ජාතික වනෝද්‍යානයක ප්‍රේරණ කලාපයක් මේ වගේ දේකට යොදාගැනීම මගින් සත්තුන්ට සහ ශාකවලට විශාල හානියක් වෙන නිසා මේක නීතිවිරෝධී දෙයක්.නමුත් ඒ නීති විරෝධී කටයුත්ත අද වන විට එනම් ජූනි මාසය වෙද්දිත් ක්‍රියාත්මක වෙනවා.මේක 2020 ජනවාරිවල මෙම නීති විරෝධී කටුයුත්ත සිදුවෙනවා කියලා එජයට පෙන්වා දුන්නා.
නමුත් ඒ ගැන කිසිදු තැකීමක් නොකර කොරෝනා කාලයේදී විවිධ කටයුතු කරලා විනාශ කරලා තියෙනවා.
අපි රටේ පරිසර ඇමතිවරයාට ජනාධිපතිවරයාට කියා සිටින්නේ මේ ජාතික වනෝද්‍යානයේ ප්‍රේරණ කලාපය, පුරාණ වැව් පුරාණ ඉඩම් ඒ හින්දා මේවා ආරක්ෂා කරන්න කටයුතු කරන්න ඕනේ.ජාතික වනෝද්‍යානයට මේකෙන් විශාල හානියක් වෙනවා. විල්පත්තුව කියන්නේ ලංකාවේ තියෙන විශාලම ජාතික වනෝද්‍යානය.
මේකේ අලිමංකඩක් තමයි මේ විදියට විනාශ කරමින් ඉන්නේ.මේකේ විශාල සත්ව ප්‍රමාණයක් ඉන්නවා.එහා පැත්තෙන් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා පරිසර විනාශයක් සිද්ධ කරනවා රජයේ අනුමැතිය අනුව.මේ පැත්තෙන් මේ සමාගම විනාශ කරනවා.මේ අනුව විල්පත්තුව හතර වටෙන් විනාශ කරනවා.දැවැන්ත විනාශයක් සිද්ධ වෙනවා කෝමාරිකා වගාවක් වෙනුවෙන් තමා මේ රටේ ජාතික වනෝද්‍යානයක් සුද්ද කරන්නේ.ඉතින් අපි රටේ නායකයන්ට අපි කියන්නේ මේ වගේ විනාශයක් සිද්ධ කරන්න ඉඩ දෙන්න එපා මේ රටේ වනාන්තර ප්‍රතිශතය එන්න එන්න අඩු වෙනවා මේ විදියට.” යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
Previous articleශානි අබේසේකර ජාතික රෝහලෙන් වැලිකඩට
Next article“පදනමක් නැති – අසාධාරණ චෝදනා” – නීතීඥ හිජාස් අධිකරණයට ගෙනෙද්දී මාධ්‍යට කියයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here