වින්දිතයන් වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරියට මරණ තර්ජන : ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම කැඳවයි !

නාවික හමුදා බාරයේ සිටි තරුණයින් 11 දෙනෙකු අතුරුදන් වීම සිද්ධිය පිළිබද නඩුව ඇතුළු නඩු කිහිපයක අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටීම නිසා තමන්ට මරණ තර්ජන එල්ල වී ඇතැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටියක මුදලක් ලබා දෙන්නැයි ද ඉල්ලා නීතීඥ අචලා සෙනවිරත්න මෙනවිය විසින් ගොනු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මැයි 05 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ජයවර්ධන, එල්.ටී.බී. දෙහිදෙණිය සහ එස්. තුරේරාජා යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබීය. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක නිශාන්ත සොයිසා, කෙසෙල්වත්ත පොලිස් ස්ථානාධිපතිවරයා, අපරාධ සාක්ෂිකරුවන් සහ වින්දිතයින් ආරක්ෂා කර ගැනීමේ ජාතික අධිකාරියේ සභාපති, අපරාධ වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කර ගැනීමේ කොට්ඨාසයේ අධ්‍යක්ෂක, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න සහ නීතිපතිවරයා යන අය නම් කරනු ලැබ සිටිති. නීතීඥ සේනක පෙරේරා මහතා මාර්ගයෙන් එම පෙත්සම ගොනු කර ඇත.
ඉහත නඩු වලට පෙනී සිටීම හේතුවෙන් පෙත්සම්කාරියට ඇති වූ මරණ තර්ජන සම්බන්ධයෙන් කොළඹ කෙසෙල්වත්ත පොලීසියට පැමිණිලි කර ඇති බවත් ඇයට ආරක්ෂාව සලසන ලෙස ඉල්ලා ආරක්ෂක ලේකම්වරයාට පැමිණිලි කර ඇති බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ද පැමිණිලි කර ඇති බවත් එම පෙත්සමේ සඳහන් වෙයි. එහෙත් මේ දක්වා පෙත්සම්කාරියගේ ආරක්ෂාව තහවුරු කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැති බැවින් ඇගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව අදාළ පෙත්සමේ දැක්වෙයි.
එම පෙත්සමේ මෙසේද සඳහන් කර තිබේ.
“පෙත්සම්කාරිය නීතීඥවරියකි. නාවික හමුදාව විසින් තරුණයින් කිහිපදෙනෙකු පැහැර ගැනීමේ සිද්ධිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුව ඇතුළු තවත් නඩු ගණනාවක අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙත්සම්කාරිය පෙනී සිටින්නීය.
මෙම සිද්ධීන් සම්බන්ධ නඩු වලට පෙනී සිටීම හේතුවෙන් පෙත්සම්කාරියට ඇති වූ මරණීය තර්ජන සම්බන්ධයෙන් කොළඹ කෙසෙල්වත්ත පොලීසියට පැමිණිලි කළාය. ඊට අමතරව පෙත්සම්කාරියට ආරක්ෂාව සලසන ලෙස ඉල්ලා ආරක්ෂක ලේකම්වරයාට පැමිණිලි කළාය. තවද මෙම සිද්ධීන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයට පැමිණිලි කළාය.
එහෙත් මේ දක්වා පෙත්සම්කාරියගේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා කිසිදු පියවරක් ගෙන නොමැත. මෙම තත්ත්වය තුළ පෙත්සම්කාරියගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇත.
එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසද, තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප්‍රකාශ කරන ලෙසද, තමන්ට සිදු කර ඇති තර්ජන සිද්ධීන් පිළිබද පැමිණීලි විමර්ශනය කිරීමට නියෝග කරන ලෙසද, රුපියල් කෝටියක වන්දි මුදලක් ලබා දෙන ලෙසද පෙත්සම්කාරිය සිය පෙත්සමින් ඉල්ලා සිටින්නීය.”
Previous articleබටහිර ජැටිය පිටට දෙන්න එපා – වරායෙන් ජනපතිට ලිපියක් : හැමදේටම විරුද්ධවෙන්න අපිට බෑ – ආණ්ඩුවේ වෘත්තීය සමිතිය කියයි !
Next articleනීතීඥ හිජාස් හිස්බුල්ලා රිමාන්ඩ් ; චෝදනා නගා ඇත්තේ එක කටඋත්තරයක් මත පමණක් බවට නීතීඥවරයා කියයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here