බටහිර ජැටිය පිටට දෙන්න එපා – වරායෙන් ජනපතිට ලිපියක් : හැමදේටම විරුද්ධවෙන්න අපිට බෑ – ආණ්ඩුවේ වෘත්තීය සමිතිය කියයි !

කොළඹ වරායේ බටහිර පර්යන්තය විදේශීය සමාගම්වලට ලබාදීමේ තීරණය වහාම වෙනස් කරන ලෙස ඉල්ලමින් වරාය පොදු සේවක සමිතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර ඇත.
එම සමිතියේ කැඳවුම්කරු නිරෝෂන් ගොරකානගේ මහතාගේ අත්සනින් යොමු කර ඇති මේ ලිපිය මගින් මේ පර්යන්ත වරාය අධිකාරිය සතුව තබාගැනීමේ වැදගත්කම ජනාධිපතිවරයාට අවධාරණය කර ඇත. වරායේ බටහිර පර්යන්තය යනු නැගෙනහිර පර්යන්තය මෙන්ම ජාතික ආර්ථිකයට වැදගත් ස්ථානයක් බවත්, එකිනෙකාට ප්‍රතිවිරුද්ධ රටවල් දෙකක ගොදුරුබිමක් බවට රට පත් නොකොට මෙම ප්‍රශ්නය විසඳීමට කඩිනමින් කටයුතු කරන ලෙසත් සිය ලිපිය මගින් සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

නැගෙනහිර ජැටියෙන් පසු

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති 23ක් ඇතුළු සිවිල් සංවිධානවලින් දැඩි විරෝධයක් එල්ල විය. එම නිසා එම පර්යන්තය කෙසේ හෝ අදානි සමාගමේ ආයෝජනය සඳහා විවෘත කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, වරාය අධිකාරියේ සභාපති දයා රත්නායක ඇතුළු පිරිස මුලින් පැවසුවද, පසුව එම තීරණය වෙනස් කෙරිණි. ඒ අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සියයට සීයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පාලනය යටතේ තබාගැනීමටත්, එහි බටහිර පර්යන්තය සංවර්ධනය සඳහා ආයෝජන කැඳවීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කළේය.

වසර 35ක් පිටට

මීට අදාළ ව වරාය හා නාවික ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන ලද ඇමැති මණ්ඩල සංදේශයට අනුව කොළඹ වරායේ බටහිර පර්යන්තය වසර 35ක කාලයකට වෙනත් පාර්ශ්වයකට ලබාදීමට යෝජනා කර ඇත. එම වෙනත් පාර්ශ්වය යන්න අදාළ පත්‍රිකාවේ පැහැදිලි කර ඇත්තේ ඉන්දීය රජය සහ ජපාන රජය නම් කරන පෞද්ගලික පාර්ශ්වයක් ලෙසයි. මේ සඳහා වරාය අධිකාරිය ද මැදිහත් විය යුතු බවත්, එය රාජ්‍ය-පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යා යුතු බවත් එහි වැඩිදුරටත් සඳහන් ය. නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉන්දියාව සහ ජපානය සමග ශ්‍රී ලංකාව ගිවිසුමක් අත්සන් කර තිබීම ඊට හේතු ලෙස ද දක්වා තිබේ.

අද වැඩ අරඹයි

මේ අතර බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු සඳහා ඉන්දීය හා ජපාන නියෝජිතායතන සම්බන්ධ කරගැනීමට අදාළ දැනුම්දීම් අද (17) සිදුකරන බව වරාය අමාත්‍යංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතා මාධ්‍යයට පවසා තිබිණි. ඉන්දියාවේ හා ජපානයේ තානාපති කාර්යාලවලට මෙම දැනුම්දීම සිදුකිරීමට නියමිත බව ද සඳහන් විය.

ඉන්දියාවේ විරෝධය

කෙසේ වෙතත් බටහිර පර්යන්තය සම්බන්ධයෙන් ගත් මේ තීරණය සම්බන්ධයෙන් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මාධ්‍ය වෙත අදහස් දක්වා තිබිණි.
‘ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපානය 2019 මැයි මාසයේදී එළැඹි ත්‍රයිපාර්ශ්වික එකඟතාව අනුව එම රටවල්වල සහභාගීත්වයෙන් නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම කඩිනමින් ක්‍රියාත්මක වනු ඇතැයි යන්න ඉන්දීය රජයේ බලාපොරොත්තුව වේ. ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ කැපවීම නොයෙක්වර අප හට දන්වා තිබේ. ඒ බව නායක මට්ටමින්ද දන්වා ඇත. එසේම මීට මාස තුනකට ඉහතදී ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය ද විදෙස් ආයෝජකයන් සමග එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තීරණයක් ගත්තේය.’

බටහිර ජැටිය යනු කුමක්ද ?

කොළඹ වරායේ බටහිර පර්යන්තය යනු මෙතෙක් ඉදිකර නැති පර්යන්තයකි. කොළඹ වරායේ ක්‍රියාත්මක පර්යන්ත පහක් තිබේ. ජායා පර්යන්තය (Jaya Container Terminal), සමගි පර්යන්තය (Unity Container Terminal), SAGT (South Asia Gateway Terminal) පර්යන්තය, CICT (Colombo International Container Terminal) පර්යන්තය සහ නැගෙනහිර පර්යන්තය (EAST Container Terminal – ECT) ඒවා වේ. තවමත් ඉදිකර නොමැති යෝජිත පර්යන්තය වන්නේ WCT (Western Container Terminal) හෙවත් බටහිර පර්යන්තයයි. මේ අතරින් දැනට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කොළඹ වරායට අයිති පර්යන්තක් ලෙස ක්‍රියාත්මක වන්නේ ජායා පර්යන්තය (JCT) පමණි.

අපේ ක්‍රමය මේක නෙමෙයි

කෙසේ වෙතත් වරාය පොදු සේවක සමිතියේ මේ ලිපියට එකඟතාව පළකරන්නේද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වාණිජ, කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ වරාය ශාඛාවේ ප්‍රධාන ලේකම් ශ්‍යාමල් සුමනරත්න මහතා‌ගෙන් අප කළ විමසීමේදී ඔහු සඳහන් කළේ සියල්ලට විරෝධය දැක්වීම තම සංගමයේ ක්‍රමය නොවන බවයි. කොළඹ වරායේ දියකඩන සංවර්ධනය සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 300ක ණය මුදලක් ලබාගැනීමේදී මීට අදාළ පොරොන්දුවක් ලබාදී ඇතැයි ද සඳහන් කළ ලේකම්වරයා, බටහිර පර්යන්තය කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති ආකාරයට ලබාදීමට සිදුවන බව ද පෙන්වා දුන්නේය. 2005 වසරේදී රනිල් වික්‍රමසිංහ විසින් මීට අදාළ ගිවිසුමක් අත්සන් කර ඇති බවත්, එහි ඇතැම් කරුණු සංශෝධනය කළද, බටහිර පර්යන්තය විදේශයකට පැවරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ද එකඟ වී තිබූ බවත් ලේකම්වරයා අප කළ විමසීමට පිළිතුරු දෙමින් වැඩිදුරටත් පැවසීය.
Previous articleසජීවී රූපවාහිනී වැඩසටහනක් වාරණයට ලක්කිරීමට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් ජයග්‍රහණය කරයි !
Next articleවින්දිතයන් වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරියට මරණ තර්ජන : ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම කැඳවයි !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here