අන්තවාදය විවේචනය කළ ඇමරිකානු ලේඛකයාගේ ඝාතනයට බංග්ලාදේශයෙන් දඩුවම් !

Zakir Hossain Chowdhury/Barcro via Getty Images
මීට වසර 6 කට පෙර ආගමික අන්තවාදය විවේචනය කළ එක්සත් ජනපද බ්ලොග් ලියන්නෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සන්නද්ධ කණ්ඩායමක සාමාජිකයින් හය දෙනෙකුට බංග්ලාදේශයේ අධිකරණයක් දඬුවම් නියම කර තිබේ.
පස් දෙනකුට මරණ දඬුවමත් එක් පුද්ගලයකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමත් නියම කර ඇත.
බංග්ලාදේශ සම්භවයක් ඇති එක්සත් ජනපද පුරවැසියෙකු වන අවිජිත් රෝයි 2015 පෙබරවාරි මාසයේදී ඩකා පොත් ප්‍රදර්ශනයක සිට සිය බිරිඳ සමඟ ආපසු ගෙදර යමින් සිටියදී කපා කොටා ඝාතනය කර තිබිණි. ඔහුගේ බිරිඳ සහ සෙසු බ්ලොග් කරුවෙකු වන රෆීඩා අහමඩ්ගේ හිසට තුවාල සිදු වී ඇති අතර අතේ ඇඟිල්ලක් ද අහිමි වී ඇත.
මෙලෙස වරදකරුවන් වූ හය දෙනා අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ අනුග්‍රහය ලත් සන්නද්ධ කණ්ඩායමක් වන අන්සාර් උල්ලා බංග්ලා නැමැති කණ්ඩායමට අයත් බව බංග්ලාදේශයේ රජයේ නීතිඥ ගෝලාම් සර්වර් ඛාන් එරට මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ. එම කණ්ඩායම සිවිල් ක්‍රියාකාරීන් සහ බ්ලොග් ලියන්නන් ඝාතනය කිරීම්වලට සම්බන්ධ බව එරට පොලිසිය සඳහන් කර ඇත.
“ඔවුන්ට එරෙහි චෝදනා කිසිදු සැකයකින් තොරව ඔප්පු වුණා. උසාවිය ඔවුන්ට ඉහළම දඬුවම ලබා දුන්නා. ” යැයි එම තීන්දුවෙන් පසු ඩකා අගනුවර පිහිටි විශේෂ ත්‍රස්ත විරෝධී විනිශ්චය සභාවේ දී දැඩි ආරක්ෂාව මධ්‍යයේ ඛාන් ප්‍රකාශ කර තිබේ. සේවයෙන් නෙරපා හරින ලද හමුදා මේජර්වරයකු වන සෙයිඩ් සියාඋල් හක්, එම කණ්ඩායමේ නායකයා යැයි විශ්වාස කරන බවත් එම ඝාතනයේ මහ මොළකරු ලෙස කටයුතු කර ඇති බවත් ඔහු සඳහන් කර තිබේ. කණ්ඩායමේ තවත් එක් සාමාජිකයෙකු නඩුවට නොපැමිණි නමුත් ඔහුට ද මරණ දඬුවම නියම වූ බව ඛාන් පවසා ඇත .
මෙම හය දෙනා වෙනුවෙන් විත්තියේ නීතිඥ නස්රුල් ඉස්ලාම් කියා ඇත්තේ ඉහළ උසාවියක අභියාචනය කරන බවයි. අයිඑස් සන්නද්ධ කණ්ඩායමට හෝ අල්කයිඩා සංවිධානයට සම්බන්ධ සන්නද්ධ කණ්ඩායම් විසින් බ්ලොග්කරුවන්, සිවිල් ක්‍රියාකාරීන් සහ ආගමික සුළුතරයන් ඉලක්ක කර ගනිමින් 2013 සහ 2016 අතර බංග්ලාදේශයේ මාරාන්තික ප්‍රහාර මාලාවක් සිදු කරනු ලැබීය .
රෝයි විසින් ජනප්‍රිය බෙංගාලි භාෂා බ්ලොග් අඩවියක් ආරම්භ කරනු ලැබ ඇති අතර නිදහස් චින්තනය, විද්‍යාත්මක තර්කනය සහ ආගමික අන්තවාදය පිළිබඳ ලිපි එහි පළ කර තිබේ.

ලංකාවේ තත්ත්වය

මාධ්‍යවේදීන් ඝාතනය, මාධ්‍යවේදීන්ට පහරදීම සහ පැහැරගැනීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මෙතෙක් නිසි සාධාරණයක් ඉටුවී නැති අතර ඇතැම් පරීක්ෂණ අතරමග නවතා දමා ඇත.
2014 දී, ශ්‍රී ලංකාව මාධ්‍යවේදීන් ඝාතනවලට දඬුවම් හිමි නොවීම පිළිබඳ සීපීජේ දර්ශකයේ මුල්ම රටවල් 10 අතර සිටි අතර මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම, සන්ඩේලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී කීත් නොයාර්ට සහ රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන්ට පහර දීම ඇතුළු සිද්ධීන්වලට මෙතෙක් නිසි සාධාරණයක් ඉටුවී නැත.
රජයන් දෙකක් දශකයකට වැඩි කාලයක් තිස්සේ මෙම පරීක්ෂණවලට සාධාරණයක් ඉටුකරන බවට පොරොන්දු වී තිබුණද මෙතෙක් එම පරීක්ෂණ සම්බන්ධයෙන් වගවීමක් සිදුව නැත. එමෙන්ම ඉහත විමර්ශන අධීක්ෂණය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා මේ වන විට වැඩ තහනමට ලක්ව රිමාන්ඩ් බාරයේ පසුවෙයි.

මරණ දඩුවම

කෙසේ වෙතත් අධිකරණයෙන් යුක්තිය ඉටුවීම අගය කළ යුතු වුවද, කවර තත්ත්වයක් යටතේ හෝ මරණ දඩුවම අනුමත කළ නොහැකිය. කිසිවෙකුට සැලසුම් සහගතව ඝාතන සිදුකරන්නට නොහැකිය. එය රාජ්‍යයන්ට ද අදාළ වේ.

 

Previous articleඉල්ලීම් 11ක් වෙනුවෙන් දිවයින පුරා රෝහල් 31ක සංකේත වැඩ වර්ජනයක්
Next articleසජීවී රූපවාහිනී වැඩසටහනක් වාරණයට ලක්කිරීමට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් ජයග්‍රහණය කරයි !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here