දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ ගැන නීතිඥ සංගමයේ සභාපති ධුර අපේක්ෂකයින්ගේ ස්ථාවරය ඉල්ලයි

දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රකාශ කරන්නැයි ‘ජනතා නීතිඥයෝ සංවිධානය’ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මෙවර සභාපති ධුර අපේක්ෂකයින් දෙදෙනාගෙන් ඉල්ලා සිටී.
ශ්‍රී ලංකා නීතිඥ සංගම් නිලවරණය පෙබරවාරි 24 වැනිදා පැවැත්වීමට නියමිත අතර මෙවර එහි සභාපති ධුරය සඳහා ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස් සහ කුවේර ද සොයිසා ඉදිරිපත්ව සිටී.
නීතියේ පාලනය සහ අධිකරණයේ ස්වාධීනත්වය රැකගැනීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට කළ හැකි කාර්යභාරය අති විශාල බවත් එබැවින් දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් එම සංගමයේ ස්ථාවරය ලංකාවේ සියලුම පුරවැසියන්ට ඉතාමත් වැදගත් කරුණක් බවත් ජනතා නීතිඥයෝ සංවිධානය පෙන්වා දෙයි.
නීතිඥ සංගමයේ සභාපති ධුර අපේක්ෂකයින් දෙදෙනාගෙන් එම සංවිධානය පහත ප්‍රශ්න තුනට මෙසේ පිළිතුරු ඉල්ලා සිටියි.
” 1. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරන්නට යෙදුණු දේශපාලන පළිගැනීම් සොයාබැලීමේ කොමිෂන් සභාව මගින් මේ වන විට ලබාදී ඇති නිර්දේශ ඇතුළත් වාර්තාව අධිකරණයේ ස්වාධීනත්වයට, ජනතා පරමාධිපත්‍යයට සහ නීතියේ පාලනයට එකඟ බවට පිළිගන්නේද ? (ඔබගේ පිළිතුර ඔව් හෝ නැත වශයෙන් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමු)
2.ඉහත ඔබ ලබාදෙන පිළිතුර අනුව ඔබ ඊට එකඟ නොවන්නේනම් ඔබ නීතිඥ සංගමයේ සභාපති ධුරයට පත්වීමෙන් පසු එකී වාර්තාවේ නිර්දේශයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගනු ලබන්නේද ? (ඔබගේ පිළිතුර ඔව් හෝ නැත වශයෙන් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමු)
3. ඒ අනුව ඉහත කී නිර්දේශවලට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද ?”
‘නීතියේ ස්වාධිපත්‍යයට සෘජුවම බලපාන ඉහත කරුණු තුන පිළිබඳව වන ස්ථාවරය ලබන 19 වැනි දිනට පෙර ලබාදෙන’ ලෙසත් එම ස්ථාවරය සියලු ජනතාවගේ දැනගැනීම සඳහා මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කරන බවත් ජනතා නීතිඥයෝ සංවිධානය ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා යන මහත්වරුන්ට එම ලිපිය මගින් දන්වා තිබේ.
Previous articleගොවීන් මිලියන දෙකකට ගිනි අවි : පරිසර සංහාරයක් – සංවිධාන 15කින් නිවේදනයක්
Next articleකණිෂ්ඨ සෞඛ්‍ය සේවකයින්ගෙන් ඉල්ලීම් 11ක් : පිළිතුරු නැත්නම් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here