ගොවීන් මිලියන දෙකකට ගිනි අවි : පරිසර සංහාරයක් – සංවිධාන 15කින් නිවේදනයක්

අක්කරයට වැඩි ඉඩම් හිමි ගොවීන්ට ගිනි අවි ලබා දීමට කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අළුත්ගමගේ මහතා විසින් කරන ලද යෝජනාව ඉතාමත් අදුරදර්ශි යෝජනාවක් බව පරිසර සංහාරයට එරෙහි සංරක්ෂණ සංවිධාන නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පරිසර සහ සත්ව අයිතීන් සඳහා වූ සංවිධාන 15ක් එක්ව මෙම නිවේදනය නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ අක්කරයට වැඩි ඉඩම් සහිත ගොවීන් මිලියන 02කට වැඩි ප්‍රමාණයක් සිටින බවත් මෙම තීරණය ක්‍රියාත්මක කළහොත් මිලියන 02ට වැඩි තුවක්කු ප්‍රමාණයක් රට පුරා බෙදාහැරෙන බවත් එය සත්ව ජීවිත වලට පමණක් නොව මනුෂ්‍ය ජීවිත වලටද අතිශය තර්ජනයක් බව එම සංවිධාන පෙන්වා දෙයි.
එම තීරණය මගින් අනාගතයේදී රටේ ආරක්ෂාව පිළිබඳ ගැටළුවක් මතු නොකරන බව මහින්දානන්ද ඇමතිවරයාට හෝ රජයට සහතික විය හැකිදැයි එම සංවිධාන ප්‍රශ්න කරන අතර ශ්‍රී ලංකාවේ ගොවිබිම්වලට තර්ජනයක් වන බහුතරයක් අලින්, ඌරන්, වඳුරන්, රිලවුන් හා මොණරුන් ඇතුළු සතුන්ට වෙඩි තබා ඝාතනය කිරීම පරිසර ඝාතනයක් ලෙස අමුතුවෙන් කිව යුතු නැති බවද එම සංවිධාන පවසයි. මෙලෙස ලබා දෙන ගිනි අවි මසට ගත හැකි සියලු සතුන් ඝාතනයට මුල පුරනු ඇතැයි ද එම සංවිධාන කියයි.
ලෝකයේ ජිවත් වු ජීවීන්ගෙන් මේ වන විට 70% කට වැඩි ප්‍රමාණයක් මිනිසා විසින් මරා දමා තිබියදීත් ශ්‍රී ලංකාවේ වසරකට අලි 400 කට වැඩි ප්‍රමාණයක් සහ අනෙකුත් සතුන් දස දහස් ගණනක් මරා දමා ඇති අවස්ථාවක රජයේ අනුග්‍රහය සහිතව ගොවීන් හරහා මෙලෙස සතුන් සමුල ඝාතනය කිරීම පරිසර සංවිධාන ලෙස තරයේ හෙලා දකින බව එම නිවේදනයේ සඳහන් වෙයි.
එහි මෙසේද දැක්වෙයි
“මෙම කැබිනට් පත්‍රිකාව හෙට දිනයේ දී අමාත්‍යය මණ්ඩල රැස්වීමට සංශෝධන සහිතව ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවත් දැන ගන්නට ලැබී ඇත. එයට සහාය නොදෙන ලෙස අපි ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගෙන්ද, මහින්ද රාජපක්ෂ ගරු අගමැතිතුමන්ගෙන්ද සියලු කැබිනට් ඇමතිවරුන්ගෙන්ද, සියලු දේශපාලන පක්ෂ, පරිසර සංවිධාන හා රටේ පොදු ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන සියලු ජන කොටස් වලින් ද කරුණාවෙන් ඉල්ලා සිටිමු.”

Previous articleඉන්දියාවේ පක්ෂයකට ලංකාවේ ලියාපදිංචි වෙන්න පුලුවන් ද?
Next articleදේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ ගැන නීතිඥ සංගමයේ සභාපති ධුර අපේක්ෂකයින්ගේ ස්ථාවරය ඉල්ලයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here