ජල ගැලුමේදී පෞද්ගලික හිතවත්කම් බලන්නෙ නෑ : ජනපතිගේ තීරණය ඇමැති සී.බී. වෙනස් කරයිද?

ජාතික ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය තුළ ඇති වගාබිම් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී පෞද්ගලික හිතවත්කම් සලකා නොබලන බවත්, පරිසරය සුරක්ෂිත කිරීම පිළිබඳව මූලික අවධානය යොමු කරන බවත් වනජීවී විෂය භාර කැබිනට් ඇමැති සී.බී.රත්නායක මහතා MediaLK වෙත අද (12) පැවසීය.
ඊයේ (11) පාර්ලිමේන්තුවේදී රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ මහතා විසින් ඇමැතිවරයාගෙන් විමසා තිබුණේ අදාළ ඉඩම් ලබානොදෙන්නේ ඇයි ද යනුවෙනි. ඊට අදාළව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගම්මාන කිහිපයක පාරම්පරික ගොවි ජනතාව සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇති බවත්, ඔවුන්ගේ ගැටළුවට කඩිනමින් විසඳුම් අවශ්‍ය බවත් ඇමැතිවරයා පෙන්වා දී තිබිණි. ඊට පාර්ලිමේන්තුවේදී පිළිතුරු දෙමින් සී.බී.රත්නායක ඇමැතිවරයා පවසා තිබුණේ ඒ සම්බන්ධයෙන් පිළිතුරක් ලබාදීම සඳහා පැය 24ක් අවශ්‍ය බවයි.

‘අධ්‍යයනය කරනවා’

ඊයේ දහවල් සිට අද දහවල් වන විට පැය 24ක් ගතව ඇති අතර, මේ සම්බන්ධයෙන් සී.බී.රත්නායක ඇමැතිවරයාගෙන් අප වැඩිදුරටත් විමසුවේ අදාළ ඉඩම් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වෙන බවට පළවන වාර්තා සත්‍ය ද යනුවෙන් ය. ‘ඒ සම්බන්ධයෙන් අපි අධ්‍යයනය කරනවා. කලබලෙන් මේ වගේ වැඩ කරන්න බෑ. කොහොමත් පෞද්ගලික හිතවත්කම් මෙතැනදි අදාළ කරගන්නෙ නෑ. පරිසරය සුරක්ෂිත කිරීම තමයි අපේ මූලික අරමුණ. මේ වනෝද්‍යාන නම් කරලා තියෙන්නෙ ඒකට.’
වේරෝඩයාය සහ විලාමඩුයාය ඇතුළු ප්‍රදේශ කිහිපයක ජනතාව විසින් තමන් වනෝද්‍යානය තුළ වගාකළ ඉඩම් නැවත වගා කිරීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලමින් සිදු කරන සත්‍යග්‍රහය පොළොන්නරුවේදී පැවැත්වේ. මේ ඉඩම්වලින් ඉවත් වන ලෙස මේ වනවිට පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබේ. සත්‍යග්‍රහය පැවැත්වෙන ගොවිබිම් අසල භූමියට ඊයේ (11) පැමිණි තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් හර්ෂ බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් එම ජනතාවට පවසා තිබුණේ මේ සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දී ඇති බවයි.

විධායකයත් කියලා

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් රොෂාන් රණසිංහ රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කර තිබුණේ විධායකයත් මේ ජනතාවගේ ඉඩම් නැවත ලබාදෙන ලෙස දැනුම් දී ඇති බවයි. එහෙත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ රක්ෂිතය තුළ ඇති මේ ඉඩම් වගාකිරීම සඳහා අවසර ලබාදීම නීතිවිරෝධී ක්‍රියාවක් බවයි. මේ සම්බන්ධයෙන් විමසීමේදී වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පැවසුවේ මේ ගැටළුව සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන්ගෙන් සම්පූර්ණ තොරතුරු ඇතුළත් වාර්තාවක් කැඳවා ඇති බවයි. එම වාර්තාව ලැබීමෙන් පසු විෂය භාර ඇමැතිවරයා සමග සාකච්ඡා කොට මීට අදාළව තීරණයක් ගන්නා බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය. එම තීරණය ගැනීම අද දිනයේදී සිදුවන්නේදැයි විමසීමේදී ඔහු පැවසුවේ එය තමන්ට පැවසිය‌ නොහැකි බවයි.

කරන්න පුළුවන් මොනවාද ?

වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 2(1) වගන්තිය යටතේ ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත්කර ඇත. ඒ 1984 වසරේදී ය. එම වසරේ අගෝස්තු 07 දිනැති අංක 309/4 දරන ගැසට් පත්‍රයේ පළවූ නියෝගයක් මගින් ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් හෙක්ටයාර් 17,350 ක භූමියක් ප්‍රකාශයට පත්කෙරිණි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පරිසරවේදී, නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පැවසුවේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 05 වැනි වගන්තියේ මේ පිළිබඳ කරුණු පැහැදිලිව සඳහන් වන බවයි. මේ භූමිය ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ඊට ඇතුළු විය හැක්කේ කවර අවශ්‍යතා සඳහා ද යනුවෙන් එම වගන්තියේ දැක්වේ. විනෝදාශ්වාදය, සතුන් නැරඹීම හෝ අධ්‍යයන සහ පර්යේෂණ කටයුතු සඳහා පමණක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරය සහිතව මෙසේ ඇතුළු විය හැකි බවද නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. ගොවීන්ට අසාධාරණයක් නොවන ලෙස ඔවුන්ට විකල්ප ඉඩම් ලබාදීමේ හැකියාව පවතින බවත්, එය ආණ්ඩුවේ වගකීමක් බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන නීතිවේදීහු පෙන්වා දෙති.
Previous articleගාලු වරායේ රුවල් යාත්‍රා අංගනය බද්දට දෙයි : කාටද දෙන්නෙ කියලා තීරණයක් නෑ – වරාය සභාපති
Next articleකොරෝනා පුවත වාර්තා කළාට මට තර්ජනය කළා – මාධ්‍යවේදියාගෙන් පැමිණිල්ලක් : මං ඇහුවා විතරයි – කතරගම රථවාහන ස්ථානාධිපති

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here