ගාලු වරායේ රුවල් යාත්‍රා අංගනය බද්දට දෙයි : කාටද දෙන්නෙ කියලා තීරණයක් නෑ – වරාය සභාපති

ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ගාල්ල වරායේ රුවල් යාත්‍රා අංගනය වසර 30ක බදු පදනම යටතේ පෞද්ගලික අංශයට පැවරීමට තීරණය කර ඇත.

ලංකාවටම එකයි

රුවල් යාත්‍රා නැංගුරම් ලෑමේ හැකියාව ඇති ලංකාවේ තිබෙන එකම ස්වභාවික වරාය මෙය වේ. මෙහි රුවල් යාත්‍රා 50ක් පමණ එකවර නැංගුරම් ලෑමේ හැකියාව ඇති බව ගාල්ල වරායේ ඉහළ නිලධාරියෙන් සඳහන් කළේය. මේ බදුදීමට අදාළ තක්සේරු වාර්තාවක් මේ වනවිට සකස් කර ඇති අතර, ඊට අනුව මෙහි වාර්ෂික බදු කුලී වටිනාකම රුපියල් හත් කෝටි තිස්හත් ලක්ෂයකි. (රු.7,37,00000.00)

සභාපති තහවුරු කරයි

මේ සම්බන්ධයෙන් විමසීමේදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති දයා රත්නායක අදාළ කරුණ තහවුරු කළේය. ගාලු වරායේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත්, එහි එක් පියවරක් ලෙස මේ රුවල් යාත්‍රා අංගනය සංවර්ධනය කරන බවත් සභාපතිවරයා සඳහන් කළේය. එය පෞද්ගලික අංශයට බදු පදනම යටතේ ලබානොදී, වරාය අධිකාරිය යටතේ තබාගනිමින් සංවර්ධන කටයුතු කළ නොහැකි දැයි විමසීමේදී ඔහු පැවසුවේ අදාළ සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් පමණක් දැනට කැඳවා ඇති බවත්, එය ලබාදෙන්නේ කාටද යන්න පිළිබඳව අවසන් තීරණයක් මෙතෙක් ගෙන නැති බවත් ය.

වරායෙන් ලිපියක්

කෙසේ වෙතත් වරාය අධිකාරියේ අධ්‍යක්ෂ (තාක්ෂණ) සුසන්ත අබේසිරිවර්ධන විසින් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තක්සේරුකරු වෙත ‘රුවල් යාත්‍රා අංගනය සඳහා ගාලු වරායේ බිම් කොටසක් ලබාදීම’ යන ශීර්ෂය යටතේ යවන ලද ලිපියක මෙසේ සඳහන් වේ.
‘ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ගාලු වරායේ පිහිටි ඉඩම් කොටසක් රුවල් යාත්‍රා අංගනය ව්‍යාපෘතිය සඳහා බදු පදනම මත ලබාදීමට නියමිත ය.
රුවල් යාත්‍රා අංගනය වෙත ලබාදීමට යෝජිත ඉඩම් කොටස දැක්වෙන අංක S/Mis/489 දරන පිඹුරුපත මේ සමග අමුණා එවන අතර, පිඹුරුපතේ දැක්වෙන හෙක්ටයාර් 2.5කින් (අක්කර 6, රූඩ් 0, පර්චස් 28) සමන්විත ඉඩම් කොටස (දැනට පවතින රුවල් යාත්‍රා අංගන කොටස) වෙනුවෙන් බදු කුලී තක්සේරු වාර්තාවක් ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.මේ සම්බන්ධයෙන් වන තක්සේරු ගාස්තු වරාය අධිකාරිය විසින් ගෙවනු ලැබේ.’

ආදායම් අහිමි කරගන්නේ ඇයි?

අදාළ බදුදීමේ ක්‍රියාවලිය පිළිබඳව විමසීමේදී වරාය පොදු සේවක සංගමයේ කැඳවුම්කරු නිරෝෂන් ගොරකානගේ පැවසුවේ වරාය අධිකාරියට මේ සංවර්ධන කටයුතු සිදු කළ හැකි බවත්, ඊට ප්‍රමාණවත් ධාරිතාවක් අධිකාරිය සතු බවත් ය. එසේ තිබියදී වරාය අධිකාරියට ලබාගත හැකි ආදායම් පෞද්ගලික අංශයේ තනි ව්‍යාපාරිකයකුට ලබාගැනීමට අවස්ථාව ලබාදීම ගැටළු සහගත බවත්, වරාය සංවර්ධනය කළ යුත්තේ එහි හිමිකාරිත්වය අහිමි කරගෙන නොවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Previous articleලංකාවේ දූපත් තුනක් චීන ව්‍යාපෘතියකට – ඉන්දියාවත් ඩොලර් මිලියන 12ක් දෙන්න හදයි !
Next articleජල ගැලුමේදී පෞද්ගලික හිතවත්කම් බලන්නෙ නෑ : ජනපතිගේ තීරණය ඇමැති සී.බී. වෙනස් කරයිද?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here