ලංකාවේ දූපත් තුනක් චීන ව්‍යාපෘතියකට – ඉන්දියාවත් ඩොලර් මිලියන 12ක් දෙන්න හදයි !

චීනය සමග ක්‍රියාත්මක කරන ඒකාබද්ධ බලශක්ති ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලංකාවට අයත් දූපත් තුනක් ලබාදීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

කැබිනට් අනුමැතිය

යාපනයට ආසන්නයේ පෝක් සමුද්‍රසන්ධියේ පිහිටි ඩෙල්ෆ්ට්, අනලතිව් සහ නයිනතිව් දූපත් මෙසේ අදාළ ව්‍යාපෘතිය සඳහා ලබාදීමට පසුගිය ජනවාරි 18 දා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත. දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති පද්ධතියක් ස්ථාපිත කිරීම යනුවෙන් මේ ව්‍යාපෘතිය හඳුන්වා ඇති අතර, ආණඩුවේ මේ තීරණය සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි අවධානයකින් පසුවන බව එරට ද හින්දු පුවත්පත වාර්තා කර තිබේ. ඉන්දියානු සමාගමක්ද මේ ව්‍යාපෘතිය සඳහා මුල් වටයේදී ටෙන්ඩර් ඉදිරිපත් කර ඇතත්, ප්‍රසම්පාදන කමිටුව මගින් එය ප්‍රතික්ෂේප කර ඇත. ඉන්පසු මේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය සම්පූර්ණ මුදල පරිත්‍යාගයක් ලෙස මෙරටට ලබාදීමට ඉන්දීය රජය කැමැත්ත පළකර ඇත.

ඉන්දියාවේ ප්‍රතිචාර

මේ සම්බන්ධයෙන් ඉන්දියාව රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ප්‍රතිචාර දක්වා ඇද්දැයි විමසීමට විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ජයනාත් කොළඹගේ සම්බන්ධ කර ගැනීමට අප ගත් උත්සාහය ව්‍යර්ථ වූ අතර, එම අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු සඳහන් කළේ මෙතෙක් ඉන්දියාව නිල වශයෙන් අදාළ ව්‍යාපෘතිය පිළිබඳ ප්‍රතිචාරයක් දක්වා නැති බවයි. ඉන්දියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස්, හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු පවසන්නේ මේ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා – ඉන්දියා සම්බන්ධතා සම්බන්ධයෙන් තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ඇති බවත්, එය තේරුම්ගත හැකි සහ පුදුම නොවිය යුතු කරුණක් බවත් ය.

රාජ්‍ය ආයතන දැනුවත් නෑ

කෙසේ වෙතත් මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මෙතෙක් මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් හෝ මධ්‍යම පරිසර අධිකාරියෙන් අනුමැතිය ලබාගෙන නැති අතර, එම ආයතනවලට මෙතෙක් කිසිදු නිල දැනුම්දීමක් ද කර නැත. මෙවැනි බලශක්ති ව්‍යාපෘතියක් සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගැනීම අනිවාර්ය වේ. මේ ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, චීනයේ එටෙක්වින් සමාගම සහ ලංකා විදුලිබල මණ්ඩලය සම පාර්ශ්වකරුවන් ලෙස කටයුතු කරයි. ඇමරිකානු ඩොලර් මිලියන 12ක වටිනාකමකින් යුත් මේ ව්‍යාපෘතිය, කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද ප්‍රසම්පාදන කමිටුවක් මගින් ද අනුමත කර ඇති අතර, මෙරට ප්‍රසම්පාදන ක්‍රමවේද අනුව ව්‍යාපෘතියේ සියලු කටයුතු සිදුවන බව ආණ්ඩුව පාර්ශ්වයෙන් සඳහන් කරයි.

පෙර උදාහරණ

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට අහිමිවීම සම්බන්ධයෙන් බරපතළ ලෙස සලකා බලන බව ඉන්දියාව නිල වශයෙන් පවසා ඇති තත්ත්වයක් තුළ, ඉන්දියාවට ආසන්නයේම චීන ව්‍යාපෘතියක් සිදුකිරීමට කැබිනට් අනුමැතිය ලබාදීම රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් බරපතළ ගැටළු මතුකරනු ඇතැයි එම ක්ෂේත්‍රයේ විශේෂඥයෝ අවධාරණය කරති. ඉන්දියාවේ රාමේෂ්වරම් වෙරළ තීරයේ සිට කිලෝමීටර් 48ක දුරකින් ඩෙල්ෆ්ට් දූපත පිහිටා ඇත. මීට පෙර උතුරේ නිවාස ව්‍යාපෘතියක් සඳහා චීනය සම්බන්ධ වීම සම්බන්ධයෙන් මෙන්ම චීන සබ්මැරීන් යාත්‍රාවක් කොළඹ වරායට පැමිණීම සම්බන්ධයෙන් ද ඉන්දියාව නිල වශයෙන් විරෝධය පළකර තිබිණි.

ඇමැතිගේ ප්‍රතිචාරය

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමට පිළිතුරු දෙමින් විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම පැවසුවේ උතුරේ දූපත්වල විදුලිය සම්බන්ධයෙන් ඇති ගැටළුවට ස්ථිර විසඳුමක් ලෙස ඉදිරිපත් කර ඇති මේ බලශක්ති ව්‍යාපෘතියට මූල්‍යාධාර සපයන්නේ ආසියානු සංවර්ධන බැංකුව බවත්, චීන සමාගම තරගකාරී ටෙන්ඩර් ක්‍රමය යටතේ සුදුසුකම් සම්පූර්ණ කරන ලද සමාගම බවත් ය.
ඉන්දියාවද අදාළ ව්‍යාපෘතිය සඳහා මුල් වටයේදී ටෙන්ඩර් ඉදිරිපත් කළ තත්ත්වයක් තුළ, ඉන්දියාවට ආසන්නයේ මෙවැනි ව්‍යාපෘතියක් චීන සමාගමක් විසින් සිදුකිරීම සම්බන්ධයෙන් අප කළ විමසීමට පිළිතුරු දෙමින් ඇමැතිවරයා තහවුරු කළේ ඉන්දියාව මේ ව්‍යාපෘතියට යන වියදම පරිත්‍යාගයක් ලෙස ලබාදීමට කැමැත්ත පළකර ඇති බවයි. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් ආණ්ඩුව පාර්ශ්වයෙන් කිසිදු තීරණයක් ගෙන නැති බවත්, එය මූලික වශයෙන් ආසියානු සංවර්ධන බැංකුව සමග සාකච්ඡා කළ යුතු බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Previous articleහමුදා නිලධාරියෙක් හෝටල් හිමියකුට පහර දීම : වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගන්නවා – යුද හමුදාව
Next articleගාලු වරායේ රුවල් යාත්‍රා අංගනය බද්දට දෙයි : කාටද දෙන්නෙ කියලා තීරණයක් නෑ – වරාය සභාපති

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here