කොරෝනා ආසාදිත සිසුන් වාර්තා වූ පාසලක හෙ⁣ට විශාල උත්සවයක් : අමාත්‍යවරයෙකුත් එයි

මහනුවර කෙංගල්ල මහා විද්‍යාලයේ සිසුන් කිහිප දෙනකුට කොරෝනා ආසාදිත වී තිබියදී හෙට (12) එම පාසලේ විශාල උත්සවයක් පැවැත්වීමට සංවිධානය කර ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ප්‍රකාශ කරයි.
ඊට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ පළාත් අධ්‍යාපනයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනකු ද සහභාගි වීමට නියමිත බව ඔහු සඳහන් කළේය.
සිසුන් 150කට පමණ ආහාර ද සකස් කිරීමට සූදානම් කර ඇති බවත් ආරාධිතයින් පිළිගැනී⁣ම සඳහා ‘බෑන්ඩ්’ කණ්ඩායම් ද සූදානම් කර ඇති බවත් ඔහු කීවේය. එම විද්‍යාලයේ සිසුන් කිහිප දෙනකුට සහ ගුරුවරයකුට කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇති අවස්ථාවක මෙලෙස උත්සවයක් සංවිධානය කිරීම සුදුසු නැතැයි ද එමගින් තවත් වෛරසය ව්‍යාප්ත විය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක මහතා පැවසූවේ එය අධ්‍යාපනික උත්සවයක් නොවන බවට තමන් දන්නා නමුත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර නොදන්නා බවයි. ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර ලබාගැනීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය සම්බන්ධ කරගැනීමට උත්සහ කරමින් සිටින බව ඔහු සඳහන් කළේය. කොරෝනා ආසාදිත සිසුන් කිහිප දෙනකු එම විද්‍යාලයෙන් වාර්තා වූ බව ඔහු තහවුරු ක⁣ළේය.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා තරංගා ගුණරත්න මහත්මිය පැවසුවේ මෙය කලාප අධ්‍යාපන කාර්යාලයෙන් හෝ පාසලෙන් හෝ සංවිධානය කරන උත්සවයක් නොවන බවත් එය ‘මහනුවර අපි’ නමැති සංවිධානයක් විසින් පාසල්වල රුක් රෝපණය ප්‍රවර්ධනය සඳහා කරනු ලබන වැඩසටහනක් බවත්ය. මේ සඳහා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ද සහභාගී වන බවට ඇය තහවුරු කළාය. සිසුන් දෙදනකු සහ ගුරුවරයකුට පමණක් කොරෝනා ආසාදනය වී ඇති බව ද ඇය පැවසුවාය.
“අපි එහෙම සංවිධානය කරන උත්සවයක් නෙමෙයි මේක. මහනුවර අපි කියලා සංවිධානයක් තමයි කරන්නේ. පාසලේ සිසුන් සහභාගි වෙන්නේ නෑ. ” යැයි ඇය වැඩිදුරටත් කීවාය.
මේ සම්බන්ධයෙන් විමසීම සඳහා අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහභාගි කරගැනීමට උත්සහ කළ නමුත් එය ව්‍යර්ථ විය.
Previous articleසහල් පාලන මිල ගැසට්වලට – කළු කඩ මිල ජනතාවට : ආණ්ඩුව පාරිභෝගික නීති අත්හරී !
Next articleමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ : විමර්ශකයන්ට සාධාරණය ඉටු කරන්නැයි එ.ජා. මානව හිමිකම් කොමිසමට ඉල්ලීමක් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here