සහල් පාලන මිල ගැසට්වලට – කළු කඩ මිල ජනතාවට : ආණ්ඩුව පාරිභෝගික නීති අත්හරී !

(නිලූක සඳුන්)
සම්බා සහල් කිලෝවක මිල රුපියල් 138 දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකු දෛනික දත්ත වාර්තා පෙන්වා දෙයි.
ඊයේ (09) මහ බැංකුව නිකුත් කළ දෛනික මිල වාර්තාව අනුව සම්බා සහල් කිලෝවක මිල රුපියල් 138ක් වන අතර නාඩු සහල් කිලෝවක මිල රුපියල් 105කි. සුදු කැකුළු කිලෝවක මිල රුපියල් 100ක් වන අතර රතු කැකුළු කිලෝවක මිල රුපියල් 103 ක් ලෙස එහි දැක්වෙයි.

පාලන මිල ගැසට්ටුව අනුව සහල් කිලෝවක උපරිම සිල්ලර මිල

⁣වැඩි මිලකට මෙසේ සහල් අලෙවි වූවද මේ වන විට රටේ බලාත්මක සහල් පාලන මිල අනුව සම්බා කිලෝ ග්‍රෑම් 1 ක උපරිම මිල රුපියල් 98ක් ද, සම්බා කැකුළු කිලෝ ග්‍රෑම් 1 ක උපරිම මිල රුපියල් 98ක් ද, නාඩු කිලෝ ග්‍රෑම් 1 ක උපරිම මිල රුපියල් 96ක් ද, කැකුළු සහල් කිලෝ ග‍්‍රෑම් 1 ක් උපරිම මිල රුපියල් 93ක් ද විය යුතුය. ඒ 2020 මැයි මස 28 වැනිදා නිකුත් කෙරුණු අංක – 2177/9 දරණ ගැසට් නිවේදනයට අනුවය.
නමුත් අද වන විට වෙළෙඳපොලේ සහල් විකිණෙන්නේ සහල් පාලන මිලට වඩා ඉතාමත් වැඩි මිලකිනි. ඒ බව මහ බැංකු වාර්තාව මෙලෙස තහවුරු කර තිබේ.
සහල් කිලෝවක සිල්ලර මිල – දඹුල්ල වෙළෙඳපොල
සම්බා සහල් – රුපියල් 125
නාඩු සහල් – රුපියල් 105
සුදු කැකුළු – රුපියල් 100
රතු කැකුළු – රුපියල් 103
සහල් කිලෝවක සිල්ලර මිල – නාරාහේන්පිට වෙළෙඳ පොල
සම්බා සහල් – රුපියල් 138
නාඩු සහල් – රුපියල් 96
සුදු කැකුළු – රුපියල් 93
රතු කැකුළු – රුපියල් 100

සහල් තොග මිල : සිල්ලර පාලන මිලටත් ඉහළින්

මහ බැංකු වාර්තාව අනුව කොළඹ තොග වෙළෙඳපොලේ සම්බා සහල් කිලෝවක තොග මිල රුපියල් 115ක් ලෙසට සඳහන් වන අතර එය සහල් පාලන මිල ගැසට්ටුවේ නියමිත සිල්ලර මිලට වඩා රුපියල් 17ක් වැඩිය. කොළඹ තොග වෙළෙඳසැලේ නාඩු කිලෝවක තොග මිල රුපියල් 93ක් ලෙසද කැකුළු සහල් කිලෝවක තොග මිල රුපියල් 90ක් ලෙසද මහ බැංකු වාර්තාව පෙන්වා දෙයි.
මරඳගහමුල තොග වෙළෙඳපොලේ සම්බා සහල් කිලෝවක් රුපියල් 105ක් ලෙසද නාඩු සහ සුදු කැකුළු කිලෝවක් රුපියල් 93ක් ලෙසද රතු කැකුළු කිලෝවක් රුපියල් 98ක් ලෙසද සටහන් වෙයි.
මේ අනුව සහල් පාලන මිලට වඩා තොග මිල ද ඉතා වැඩි බවට මහ බැංකු වාර්තා පෙන්වාදෙයි.

කීරි සම්බා මිල පාලනය ඉවත් කිරීම

මේ අතර කීරි සම්බා ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 4ක මිල පාලනය සඳහා නිකුත් කළ ගැසට් නිවේදන අහෝසි කරමින් පෙබරවාරි 08 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි.
ඒ අනුව 2020 මැයි මස 28 වැනි දින අංක 2177/9 දරන අති විශේෂ ගැසට් පත‍්‍රය මගින් කීරි සම්බා සඳහා නියම කෙරුණු උපරිම මිල මෙමගින් ඉවත් ⁣කර තිබේ. එම ගැසට් නිවේදනය අනුව කීරි සම්බා කිලෝ ග‍්‍රෑම් 1ක උපරිම සිල්ලර මිල රුපියල් 120ක් වූ අතර ඉකුත් 08 වැනිදායින් පසු නමට හෝ එතෙක් තිබූ පාලන මිල ද ඉවත් වී තිබේ.

ආණ්ඩුවේ හාල් ගැසට්ටු ඉතිහාසය

සම්බා සහ නාඩු කිලෝ ග්‍රෑම් 1 ක් සදහා උපරිම මිල රුපියල් 98ක් ලෙසට නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ආචාර්ය ලලිත් එන්. සෙනවීර මහතා 2019 දෙසැම්බර් මස 19 වැනි බ‍්‍රහස්පතින්දා අංක 2154/19 දරණ ගැසට් නිවේදනය නිකුත් කළේය. එය මෙම ආණ්ඩුවේ පළමු හාල් ගැසට්ටුවයි.
ඊට පෙර කිලෝග්‍රෑමයක් සදහා උපරිම සහල් මිල තිබුණේ සම්බා සදහා රුපියල් 85ක් ලෙසත් සුදු නාඩු රුපියල් 80ක් ලෙසත් රතු නාඩු සදහා රුපියල් 74ක් ලෙසත් ය.( අංක 2125/66 – 2019.05.31 ගැසට්ටුව අනුව)
දෙසැම්බර් ගැසට්ටුවෙන් වැඩි කෙරුණු සහල් මිල යළි අඩු කරමින් 2020 අප්‍රේල් මස 10 වැනි දා 2170/7 දරණ ගැසට්ටුව නිකුත් කෙරිණි. එම ගැසට් නිවේදනය අනුව සම්බා කිලෝ ග්‍රෑම් 1 ක් රුපියල් 90ක් ලෙසත් නාඩු කිලෝ ග්‍රෑම් 1 ක් රුපියල් 90ක් ලෙසත් ප්‍රකාශයට පත් කෙරිණි. එම නිවේදනය අනුව කැකුළු සහල් කිලෝ ග‍්‍රෑම් 1 ක් රුපියල් 85ක් ලෙසටද සදහන් විය.
එලෙස මිල අඩු කරමින් වත්මන් රජය පැවසූවේ සහල් මෝල් හිමියන්ට අවශ්‍ය පරිදි මිල වැඩි නොකරන බවයි. එවකට තිබූ පාලන මිලට වඩා සත පහක්වත් වැඩි කිරීමට අවශ්‍ය නැතැයි ද ආණ්ඩුවේ මැතිඇමතිවරු පැවසූහ.
නමුත් ඉහත ගැසට් නිවේදනයෙන් මාස දෙකක් ගතවීමටත් පෙර එනම් 2020 මැයි මස 28 වැනිදා එම ගැසට්ටුව අවලංගු කරමින් අංක – 2177/9 දරණ ගැසට් නිවේදනයෙන් යළි සහල් මිල වැඩි කෙරිණි. එය වත්මන් ආණ්ඩුවේ සහල් මිල පාලනය කිරීමේ තුන්වැනි ගැසට්ටුවයි.
ඒ අනුව සම්බා කිලෝ ග්‍රෑම් 1 ක උපරිම මිල රුපියල් 98ක් දක්වාත්, සම්බා කැකුළු කිලෝ ග්‍රෑම් 1 ක උපරිම මිල රුපියල් 98ක් දක්වාත්, නාඩු කිලෝ ග්‍රෑම් 1 ක උපරිම මිල රුපියල් 96ක් දක්වාත් කැකුළු සහල් කිලෝ ග‍්‍රෑම් 1 ක් උපරිම මිල රුපියල් 93ක් දක්වාත් ඉහළ දැමීය.
සිල්ලර මිල සඳහා නිකුත් කෙරුණු තුන්වැනි ගැසට්ටුව තවමත් බල පැවැත්වෙන නමුත් ඉහත කී පරිදි එම මිල ගණන්වලට වඩා වෙළෙඳපොලේ සහල් අලෙවි වූ බව රජයේ දත්ත වාර්තා තහවුරු කරයි.
සහල් වෙනුවෙන් නිකුත් කෙරුණු සිව්වැනි ගැසට්ටුව 2020 නොවැම්බර් 04 දිනැති අංක 2200/3 දරණ ගැසට්ටුවයි.
එමගින් සම්බා කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 94ක් ලෙසටත් සම්බා කැකුළු කිලෝවක මිල රුපියල් 94ක් ලෙසටත් නාඩු කිලෝවක මිල රුපියල් 92ක් ලෙසටත් කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 89ක් ලෙසටත් එම ගැසට්ටුවෙන් ප්‍රකාශයට පත් කෙරිණි.
මෙම ගැසට්ටුවේ සඳහන් වූයේ සහල් සඳහා සිල්ලර උපරිම මිල නොවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එහිදී පැවසීය. එමෙන්ම එම ගැසට්ටුවේ සඳහන් වූයේ ද නිෂ්පාදකයකු හෝ සහල් මෝල් හිමියකු මෙම මිලට වඩා වෙළඳාම් නොකළ යුතු බව මිස එහි බෙදාහරින්නන් හෝ වෙළෙන්ඳන් අලෙවි කළ යුතු සිල්ලර උපරිම මිලක් එහි සඳහන් වූයේ නැත.
මේ සම්බන්ධයෙන් විමසීම සඳහා පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා සම්බන්ධ කරගැනීමට උත්සහ කළ අවස්ථාවේ පැවසූවේ ඔහු රැස්වීමක සිටින බැවින් පසුව අමතන ලෙසයි.
Previous articleභූමදානයට අවසර දෙනවා – අගමැති මහින්ද රාජපක්ෂ
Next articleකොරෝනා ආසාදිත සිසුන් වාර්තා වූ පාසලක හෙ⁣ට විශාල උත්සවයක් : අමාත්‍යවරයෙකුත් එයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here