උපන් බිමේ ඡන්ද අයිතිය අහිමි වූ මන්නාරම් වැසියෝ

(ෂබීර් මොහොමඩ්)
”1990 ඉදල ගිය අවුරුද්දේ මහමැතිවරණය තෙක් පැවති හැම ජන්දයකටම මැතිවරණ කොමිසමෙන් දෙන ප‍්‍රවාහනය මගින් හෝ සාමූහික ක්‍රමයෙන් (Clinter System) කෙසේ හෝ මගේ ඡන්දය පාවිච්චි කළා. ඒත් මීට මාස දෙකකට පෙර මන්නාරම් දිස්ත‍්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයා ලිපියක් මගින් අපට දැනුම් දීලා තිබුණා මන්නාරමේ අපගේ පදිංචිය තහවුරු කරලා නැති නිසා මාගේ පවුලේ සාමාජිකයන් පස්දෙනකුගේම නම ඡන්ද හිමි නාම ලේඛනයෙන් ඉවත් කරලා තියෙනවා කියලා. නටඹුන් වෙලා තියන මගේ ගරාවැටුණු ගෙදරයි මම වගා කටයුතු කරන අක්කර පහක ඉඩමයි අදටත් මන්නාරමේ තියෙනවා. එල්ටීටීඊය බලහත්කාරයෙන් පලවා දැමූ සරණාගත අපේ ඡන්ද අයිතිය අපේ උපන් බිම වුණ මන්නාරමෙන් ඉවත් කරලා තියෙන්නෙ මොන පදනමකින්ද? කාගේ උවමනාවටද මේක කරල තියෙන්නෙ? මේකෙ තියෙන යටි අරමුණ මොනවද? ” ඉතාමත් හැඟීම්බරව මෙසේ පැවසුවේ පුත්තලම නාගවිල්ලූ ප‍්‍රදේශයේ ජීවත්වෙන විශ‍්‍රාමික ඉංජිනේරුවරයකුවූ ඒ. එල් බුර්හානුද්දීන්ය.
ඒ. එල් බුර්හානුද්දීන්
දශක තුනකට පෙර එනම් 1990 අගෝස්තු මස 30 වැනිදා කොටි ත‍්‍රස්තවාදීන් උතුරු පළාත දෙමළ ඊලාමයට අයිති තැනක් බවටත් මුස්ලිම් වැසියන් රජය සමග එකතු වී තමන් පාවා දෙනු ලැබූ බවටත් පවසමින් එක් රැයක් තුළ යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව වැනි ප‍්‍රදේශවල ජීවත් වූ මුස්ලිම් වැසියන් බලහත්කාරයෙන් එලවා දමනු ලැබීමට කටයුතු කර තිබිණි. එම ප්‍රදේශවල ජීවත් වූ 80,000 ක් පමණ වූ මුස්ලිම් ජනයාට පැය 24 ක කෙටි කාලයක් තුළදී තමන්ගේ දේපල සියල්ල අත්හැර දමා වහාම පිටත් වන ලෙසට බල කෙරිණි. මෙසේ පිටුවහල් කරන ලද පිරිසෙන් බොහෝ දෙනකු පුත්තලම දිස්ත්‍රික්කයේ අවතැන් කඳවුරුවල පදිංචි කෙරිණි. ඊට අමතරව තවත් අය කොළඹ, කුරුණෑගල සහ මාතලේ වැනි දිස්ත‍්‍රික්ක වල පදිංචි කෙරිණි. ලොව කොතැනක ජීවත් වුවත් ඕනෑම අයෙකුට තමන්ගේ උපන් බිමත් සමග ඇති සබඳතාවය ඉතාමත් සංවේදීය. බලහත්කාරයෙන් පන්නා දැමූ මෙම පිරිස් මේ වන විට සිය උපන් බිම්වල නැවතත් වගා කටයුතු සිදු කිරීමට පටන් ගෙන ඇත. ඔවුන් බොහෝ දෙනකුගේ එකම බලාපොරොත්තුව නැවතත් තමන්ගේ උපන් බිම් වලට ගොස් එහි ජීවත් වීමයි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් අර්ථ දක්වන්නේ මැතිවරණ මගිනි. රජයක් මෙහෙයවනු ලබන්නේ මහජන නියෝගයන් සහ ජනතාවගේ බදු මුදල් මගිනි. එබැවින් තම තමන්ගේ ඡන්දය ප‍්‍රකාශ කිරීමට ඇති මූලික අයිතිය කිසිවකුට ප‍්‍රතික්ෂේප කළ නොහැකිය. නමුත් පුත්තලම දිස්ත‍්‍රික්කයේ සරණාගතයන් ලෙස අවතැන්වූ පුද්ගලයන් 7500කගේ පමණ ඡන්ද අයිතිය මේ වනවිට අහිමිවී ඇති බවට චෝදනාවක් සරණාගත ජනතාව වෙතින් එල්ල වී තිබේ.
එනිසා මෙහි තිබෙන ඇත්ත තත්ත්වය සොයා බැලීම සඳහා අප මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයත් සමග ක්ෂේත‍්‍ර අධ්‍යයනයක් සඳහා පුත්තලම දිස්ත‍්‍රික්කයට සහ මන්නාරම් දිස්ත‍්‍රික්කයට ගියෙමු.
2009 වසරේ දී යුද්ධය අවසන් වීමත් සමග ඔවුන්ගේ නැවත පදිංචි කිරීමේ කටයුතු ආරම්භ විය. නමුත් එම කටයුතු නිසි ආකාරයෙන් සිදු නොවීම හේතුවෙන් අදටත් අවතැන් වූ පුද්ගලයන් බොහෝ දෙනෙක් පුත්තලම දිස්ත‍්‍රික්කය තුළ ඉතාමත් කටුක ජීවිතයක් ගත කරමින් සිටිති. අපත් සමග කතා කළ පුත්තලම දිස්ත‍්‍රික්කයේ සරණාගතයන් ලෙස ජීවත් වන බොහෝ පුද්ගලයන්ගේ එකම පැතුම නැවතත් සිය නිජ බිම් වලට ගොස් එහි වාසය කිරීම ය.
මන්නාරම් දිස්ත‍්‍රික්කයේ මුසලි ප‍්‍රදේශ සභාවේ උප සභාපති මුහ්සීන් රයිසුඞීන් මහතා තොරතුරු දැනගැනීමේ පනත යටතේ හිටපු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ එහි සාමාජිකයන්ගේ සේවා ස්ථානය සහ ඔවුන් ඡන්දය ප‍්‍රකාශ කරන ස්ථාන මොනවාදැයි විමසා අදාළ තොරතුරු ලබාගෙන තිබේ.
මුහ්සීන් රයිසුඞීන්
”මැතිවරණ කොමිෂන් සභාවේ සිටින පුද්ගලයන්ට කොළඹ වැඩ කරගෙන යාපනය මහනුවර වැනි ප‍්‍රදේශවලට ගොස් තමන්ගේ ඡන්දය ප‍්‍රකාශ කළ හැකියි. අපේ රටේ ජනාධිපති අගමැති සහ අනිත් බොහෝ ඇමතිවරුන්ටත් කොළඹ වැඩකරගෙන ඉන්න ගමන් තමන්ගේ ගම්බිම්වලට ගොස් ඡන්දය දාන්න පුළුවන්. නමුත් පැය විසි හතරක් ඇතුළත බලහත්කාරයෙන් ඉවත් කරන ලද අපේ මිනිසුන්ට ඇයි බැරි තමන්ගේ උපන් ප්‍රදේශවලට ගිහින් ඡන්දය දාන්න ?”
ඡන්ද දායකයන් ලියාපදිංචි කිරීමේ ක‍්‍රියාවලිය සිදු කරන්නේ 1980 අංක 44 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත යටතේය. එම පනතට අනුව අදහස් කරන්නේ සාමාන්‍ය පදිංචිය සහතික කිරීම යනුවෙනි. ඒ අනුව මොවුන්ගේ උපන් ප්‍රදේශය මන්නාරම වූවත් එහි පදිංචිය නොමැතිකම හේතුවෙන් ඔවුන්ගේ නම් කපා හැර ඇත. කෙසේ වෙතත් මොවුන් මන්නාරමෙන් බලහත්කාරයෙන් පන්නා දමන ලද සරණාගතයන්ය. 2009 න් පසු නැවත පදිංචි කරන ලද පුද්ගලයන්ගේ නම් ද මෙහි කපා තිබෙන ආකාරයක් මන්නාරමේදී සිදුකළ ගවේෂණවලදී දක්නට ලැබිණි.
එසේ තමන්ගේ නම් ඉවත් කර ඇති බැවින් එම පිරිස් මේ වන විට විශාල ගැටළු රැසකට මුහුණ දී ඇත.
විශේෂයෙන් ස්වභාවික විපත්වල දී රජය විසින් සපයනු ලබන වන්දිය, කෘෂිකාර්මික කටයුතු සඳහා ලැබෙන විශේෂ දීමනා, වැඩිහිටියන් සඳහා ලැබෙන දීමනා සහ විශ්වවිද්‍යාල ප‍්‍රවේශය වැනි ක‍්‍රියාකාරකම් වලදී සිදුකළ යුතු ග‍්‍රාමසේවකවරයාගේ තහවුරු කිරීම් වැනි අත්‍යවශ්‍ය සේවාවන් පවා ඔවුන්ට දැනට ලබාගත නොහැකි වී තිබේ.

නියෝජන ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු ජනතා ඡන්දයෙන් තේරී පත්වෙන නියෝජිතයන් ජනතාවටම සේවය කිරීම සඳහා පළාත් පාලන ආයතනයක්, පළාත් සභාවක් හෝ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමය. නමුත් පුත්තලමේ ජීවත්වෙන බහුතරයක් ජනතාව සමග කළ සාකච්ඡාවන්වලදී දක්නට ලැබුණු කරුණක් වන්නේ තමන්ගේ පරමාධිපත්‍යය බලය මන්නාරමේ සිටින දේශපාලනඥයන් වෙනුවෙන් පාවිච්චි කිරීමට ඔවුන් කැමැත්තෙන් සිටින බවයි. එක් අන්දමකින් එය ඔවුන්ගේ උපන් බිම වූවත් මේ මොහොතේ ඔවුන් ජීවත් වෙන්නේ පුත්තලමේය. මෙසේ අවතැන්වූ පුද්ගලයන්ගෙන් පසුකාලීනව පුත්තලම දිස්ත‍්‍රික්කයට තමන්ගේ ඡන්දය හරවාගත් පුද්ගලයන් හැර අන් සියලූම දෙනාගෙන් එකදු හෝ ඡන්දයක් පුත්තලම් දිස්ත‍්‍රික්කයේ දේශපාලකයන්ට නොලැබීම හේතුවෙන්ම පාලාවි, හිදායත්නගර්, හුසෛනියාපුරම්, කොයියාවාඩි සහ ආලම්කුඩා වැනි අවතැන්වූ පුද්ගලයන් බහුලව ජීවත්වන ප‍්‍රදේශ අදටත් අනෙකුත් ප‍්‍රදේශවලට සාපේක්ෂව ඉතාමත් අඩු සංවර්ධනයක් සහිත ප‍්‍රදේශ බවට පත්ව තිබේ.
අපත් සමග මග පෙන්වන්නෙකු ලෙස කටයුතු කළ මන්නාරම සිලාවත්තුරයි ප‍්‍රදේශයේ පදිංචි නීතිඥ මුජීබුර් රහුමාන් මහතා ගමන අවසානයේදී අපට මෙසේ පැවසීය.
නීතිඥ මුජීබුර් රහුමාන්
”තමන්ගේ අහිමි වෙච්ච ඡන්ද අයිතිය වෙනුවෙන් හඬ නගන මෙම පිරිස් සිය කැමැත්තෙන් රට වටේ ගිය අය නෙමෙයි. ඒ අය බලහත්කාරයෙන් පන්නලා දාලා මේ වන විට ගොඩක් දුෂ්කරතා මධ්‍ය ජීවත්වෙන පුද්ගලයන්. මොවුන් මෙම ප‍්‍රදේශවල දිගටම වාසය කළා නම් මෙවැනි කිසිදු ගැටළුවක් මොවුන්ට ඇති වෙන්නේ නෑ. මට අවුරුදු විස්සේදී තමයි අපිට මෙහෙන් යන්න වුණේ. මම කොහොම හරි කරලා ඉගෙනගෙන මේ තත්ත්වයට ඇවිල්ලා ඉන්නවා, ඒත් මාත් එක්ක ආපු දහස් ගණන් තරුණ තරුණියන්ගේ, අවුරුදු 20 සිට 40 දක්වා වූ කාලය සරණාගත කඳවුරුවල තමයි ගත කළේ. තමන්ටම කියලා නිවසක් හෝ රස්සාවක් කියල මොකුත්ම ඒ අයට මේ වෙනකොට නෑ. ඔවුන්ගේ තරුණ ජීවිත නැති වෙලා, බලාපොරොත්තු සියල්ල සුන්වී තිබීමට හේතුව එයාලගේ වැරැද්දක් ද?
මෙම චෝදනා සම්බන්ධයෙන් මන්නාරම් දිස්ත‍්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාගෙන් කළ විමසීමකදී හෙතෙම මෙසේ පැවසීය.
”අපි මන්නාරම් දිස්ත‍්‍රික්කයේ සිටින ග‍්‍රාමසේවකවරුන්ට ඡන්ද හිමි නාමලේඛනය සකස් කරලා දෙන්න කියලා දැනුවත් කළා. ඔවුන් ඒ අනුව අපිට නාම ලේඛනය සකස් කරල දුන්නා. පසුව එහි ප‍්‍රතික්ෂේප වූවන් සඳහා අපි ලියුමක් මගින් දන්වා සිටියා. ඒත් සමගම ඔවුන්ට අභියාචනාවක් ඉදිරිපත් කිරීමටද අවස්ථාවක් ලබා දීලයි තිබුණේ. එසේ අභියාචනයක් ඉදිරිපත් කරන පුද්ගලයන්ට හිමිකම් පරීක්ෂණයක් සඳහා අපි අවකාශයක් ලබා දීලා තිබුණා. මේ වන විට අපි හත්සීයකට විතර හිමිකම් පරීක්ෂණයට පැමිණෙන ලෙස දන්වා තිබෙනවා. නමුත් මේ වෙද්දි පහළොස් දෙනයි ඇවිල්ලා තියෙන්නේ. මිනිස්සු චෝදනා කරනවා වගේ කිසිම කෙනකුගේ උවමනාවන්වලට අනුව මම වැඩ කළේ නෑ. මැතිවරණ කොමිසමේ මගපෙන්වීම යටතේ ඔවුන්ගේ උපදෙස් මත නීතිය හරියට ක‍්‍රියාත්මක කරමින් තමයි මම වැඩ කළේ. මේ හා බැඳුණු කාර්යයන්වලට මන්නාරම් දිස්ත‍්‍රික්කයේ ග‍්‍රාමසේවකවරුන් ඔවුන්ගේ කාර්යයන් අකුරටම ඉටු කරමින් අපට මහඟු සහයෝගයක් ලබා දුන්නා. යම් අත්වැරදීමක් හෝ තාක්ෂණික ගැටළුවක් හේතුවෙන් තමන්ගේ නම් කපා හැර තිබෙනවා නම් එයට විරුද්ධව පෙත්සමක් ඉදිරිපත් කිරීමට ඔවුන්ට සම්පූර්ණ අයිතිය ලබා දීලයි තියෙන්නේ ”
අපත් සමග මෙම ක්ෂේත‍්‍ර අධ්‍යයනයට සහභාගි වූ මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා මේ පිළිබඳ සිය අදහස් පළ කළේ මෙලෙසිනි.
”ශ‍්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ මෑතකාලීනව පැවැති බරපතලම සිද්ධීන් අතර ප‍්‍රධානතම සිද්ධියක් වන්නේ සෑම මැතිවරණයකදීම දකින්නට ලැබෙන, ඡන්දදායකයන් ප‍්‍රවාහනය හා සැබැඳි ගැටළුව. එයට හේතුව උතුරේ සිට එල්ටීටීඊය විසින් පලවා හැරි අය පුත්තලම ඇතුළු ප‍්‍රදේශවල පදිංචිව සිටිනවා. ඔවුන්ට අවශ්‍ය ප‍්‍රවාහන පහසුකම් සැලසීම මෙතෙක් අභියෝගයක්ව පැවතුණා. මෙවර එය යම් ආකාරයකට විසඳීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව මැදිහත්ව තිබෙනවා. කෙසේ වෙතත් මැතිවරණ නීතියට අනුවයි මෙය විසඳිය යුත්තේ. මෙහි තිබෙන ප‍්‍රධානතම ගැටලූව අදාල ඡන්ද හිමියන් නිසි ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු අනිකුත් පාර්ශ්ව දැනුම්වත් නොකිරීමය. එම නිසා මෙය කිසිසේත්ම චේතනාන්විතව සිදුකරන අපරාධයක් නොවෙයි. යමක් විසඳීමට යොමු වෙද්දී ගැටළු ඇති වෙන්න පුළුවන්. එම නිසා මෙය නිත්‍යානුකූලව විසඳීම සඳහා සියලූ පාර්ශ්ව කැපවිය යුතුයි. මෙවැනි ප‍්‍රශ්න හමුවේ දේශපාලන පක්ෂ ප‍්‍රධාන භූමිකාවක් දැරිය යුතුයි. අවාසනාවට ශ‍්‍රී ලංකාවේ එවන්නක් දකින්නට නැහැ.”
මංජුල ගජනායක
මෙය තමන්ගෙ උපන් බිම් අහිමි වූ පුද්ගලයන්ගේ ඉතාමත් සංවේදී ගැටලූවක් බව සියලූම දෙනා වටහා ගත යුතුය. මෙම ගැටළුවට මුහුණ දුන් ප්‍රජාව තුළින්ම සිදුව ඇති අඩු පාඩු සහ ප්‍රමාදවීම් මෙන්ම දේශපාලන පක්ෂ මේ සම්බන්ධයෙන් ඉටු කළ යුතු භූමිකාව මගහැරීම නිසා උද්ගතව ඇති මෙම ගැටළුව ජාතීවාදීන්ගේ කුණු රසයට හසු වීමට පෙර විසඳුම් ලබා දීමට රජය මැදිහත් විය යුතුය. එම නිසා අදාළ බලධාරීන්ට මෙය නිසි ආකාරයෙන් විසඳීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම සමස්ත රටේ හැම පුරවැසියෙකුගේම වගකීම විය යුතුය. මෙහි තිබෙන ප්‍රධාන ගැටළුවක් වන්නේ මෙම ප්‍රශ්නය විසඳීමට එන පාර්ශ්වවල විනිවිද භාවයක් හෝ වගවීමක් දක්නට නැති කමය.

 

Previous articleසතියක් යන්නටත් පෙර එපා වූ හමුදා පාලනය !
Next articleභූමදානයට අවසර දෙනවා – අගමැති මහින්ද රාජපක්ෂ

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here