ශක්තික සත්කුමාර නිදොස් කොට නිදහස් : කෙටිකතාවෙන් ආගමික අපහාසයක් නෑ !

කෙටිකතාවක් ලියා පළ කිරීම හේතු කොටගෙන දින 130 ක් රිමාන්ඩ් කරනු ලැබ සිටි ලේඛක ශක්තික සත්කුමාර මහතා නිදොස් කොට නිදහස් කිරීමට පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කළේය.
ෆේස්බුක් (FACEBOOK) තුළ කෙටිකතාවක් ලියා පළකිරීමට අදාල ශක්තිකට එරෙහි චෝදනාවේ නඩු කටයුත්තක් පවත්වාගෙන යෑමට තරම් කරුණු නොමැති බවටත්, ශක්තික සත්කුමාර වෙනුවෙන් අධිචෝදනා ගොනු නොකරන බවටත් නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම්දීම මත මෙලෙස ඔහු නිදොස් කොට නිදහස් කරනු ලැබ තිබේ.
“අර්ධ” නම් කෙටිකතාවක් ලියා සිය ෆේස්බුක් ගිණුමේ පළ කිර තිබීම හේතුවෙන් 2019 වසරේ අප්‍රේල් මස 01 වැනිදා ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගෙන තිබුණි.
එම කෙටිකතාව මගින් බෞද්ධාගම හෑල්ලුවට ලක්කර ඇති බව සඳහන් කරමින් බෞද්ධ තොරතුරු කේන්ද්‍රය නම් සංවිධානයක භික්ෂූන් වහන්සේලා පිරිසක් සහ පොල්ගහවෙල හා පොතුහැර ශාසනාරක්ෂක බලමණ්ඩලයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් පොල්ගහවෙල පොලීසියට කළ පැමිණිල්ලකට අනුව ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.
ශක්තික සත්කුමාර මෙම කෙටිකතාව හරහා, 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තිය පනතේ (3) (1) වගන්තිය යටතේ,  “වෙනස් කොට සැලකීමට, සතුරුභාවයට හෝ ප්‍රචණ්ඩත්වයට තුඩු දිය හැකි ජාතික, වාර්ගික, ආගමික වෛරය ඇති කිරීම” සහ දණ්ඩ නීති සංග්‍රහයේ 291 බී වගන්තිය යටතේ “ආගමික විශ්වාසවලට සහ ආගමකට අපහාස කිරීමෙන් ආගමික හැඟීම් ඇවිස්සීමට හිතාමතා සහ ද්වේශසහගතව කටයුතු කිරීම” යන චෝදනා එල්ල කරමින් පොලීසිය විසින් පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරන ලද පැමිණිල්ලකට අනුව පොල්ගහවෙල මහේස්ත්‍රාත් නෙළුම් ප්‍රියදර්ශනී මහත්මිය ඉදිරියේ මාස කිහිපයක් මෙම නඩුව විභාග විය. මාස 04කට අධික කාලයක්, දිගින් දිගටම ඇප ලබා නොදෙමින් ශක්තික සත්කුමාර රිමාන්ඩ් කරනු ලැබූ අතර, ඔහු වෙනුවෙන් කුරුණෑගල මහාධිකරණයේ ගොනු කළ ඇප අයැදුමක් අනුව 2019 අගෝස්තු 05 වැනිදා ඇප ලබාදීමට මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය.
පසුව අවස්ථා කිහිපයකදී මෙම නඩුව කැඳවූ අතර, එහිදී අධිචෝදනා ගොනු කරන බවට අධිකරණයට දැන්වූ නීතිපති දෙපාර්තමේන්තුව ඒ සඳහා කාලය ඉල්ලා සිටියේය. අනතුරුව නඩුව අද (09) දින කැඳවා තිබිණි.
සංජය විල්සන් ජයසේකර, සී.ඩබ්.ඩබ්. රත්නායක සහ බුද්ධදේව ගුණරත්න යන නීතිඥවරු ශක්තික සත්කුමාර වෙනුවෙන් පෙනී සිටියහ.
එසේම මෙම සිදුවීම හරහා ශක්තික සත්කුමාරගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුව ඇති බව දක්වමින් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කර ඇති අතර, එය මාර්තු 24 වැනිදා කැඳවීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නීතිඥ සංජය විල්සන් ජයසේකර මහතා පැවසුවේ,
“ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් බරපතළ ලෙස උල්ලංඝනය කළ අවස්ථාවක් ලෙස මෙම සිදුවීම හැඳින්වීමට පුළුවන්. කෘතියක් රචනා කිරීම නිසා ලේඛකයෙකු සිරගත කරපු මුල්ම අවස්ථාව මේ සිදුවීමයි. මේ අත්අඩංගුවට ගැනීම හරහා ජනතාවගේ , ලේඛකයන්ගේ සහ මාධ්‍යවේදීන්ගේ ප්‍රකාශන නිදහස අහිමි කළ අවස්ථාවක්. ප්‍රජාතන්ත්‍ර විරෝධී මෙම ක්‍රියාවට එරෙහිව අපි මූලික අයිතිවාසිකම් නඩුවක් පවා ගොනුකර තිබෙනවා. ශක්තිකට ලැබුණු මේ තීන්දුව මහජන අරගලවල ජයග්‍රහණයක්” යැයි සඳහන් කළේය.
සිය නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශක්තික සත්කුමාර මෙසේ පැවසීය,
” මේ සිදුවීම වෙද්දි මම රාජකාරී කළේ පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ. මේ කෙටිකතාව ලියලා මුලින්ම මම පළ කළේ මගේ ෆෙස්බුක් ගිණුම තුළයි. මේ කෙටි කතාවට විරුද්ධව පොල්ගහවෙල සහ පොතුහැර ශාසනාරක්ෂක බලමණ්ඩලයේ භික්ෂූන් වහන්සේලා 25ක් මම රාජකාරී කරන ස්ථානයට පැමිණ කලහකාරී ලෙස හැසිරිලා මේ කෙටිකතාව ලිවීම ගැන සමාව ගන්න කියලා මට කියනවා. ඒ අවස්ථාවේදී මම ඔවුන්ට කිව්වේ මම කෙටි කතාවක් ලියලා තියෙන්නෙ ඒක නිර්මාණයක්. ඒ නිසා මම සමාව ගැනීමක් කරන්නේ නැහැ කියලා. නමුත් මේ නිර්මාණය හරහා කිසියම් පුද්ගලයෙකුගේ හිත රිදුනා නම් මම ඒ ගැන කනගාටු වෙනවා. මම අදටත් ඒ මතයේ ඉන්නවා. පසුව ඔවුන් පොල්ගහවෙල පොලීසියේ පැමිණිල්ලක් දානවා. ඒ මත මාව දින 130ක් රක්ෂිත බන්ධනාගාරගත කරනවා. ඇප ලැබීමෙන් පසුව මාස 05ක් රැකියාව අහිමිව හිටියා. මාස 05ට පසුව මම නැවත සේවයේ පිහිටවූවා. පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මම සේවය කළේ. නැවත සේවය පිහිටුවූයේ මාස්පොත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ.
මේ නිසා මම මානසිකව, ආර්ථිකව හා සමාජීයවත් පීඩාවට ලක්වුණා. නිර්මාණයක් නිසා ඕනෑ තරම් චෝදනා එල්ල වුණ අවස්ථා තිබෙනවා. මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ භවතරණය ග්‍රන්ථයට පවා චෝදනා එල්ල වුණා. අපි කරපු අරගලයේ ප්‍රතිඵලයක් තමයි අපිට මේ ලැබුණේ”

දෙදාස් දහයේ සිද්ධියක්

බෞද්ධාගමිකයකුව සිට ඉස්ලාම් ආගම වැළඳගැනීම පිළිබඳ සිංහල භාෂාවෙන් පොත් දෙකක් ලියූ සාරා මාලනී පෙරේරා නම් ලේඛිකාවක 2010 මාර්තු 20 වැනිදා මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබිණි.
ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඇලෙක්ස් ප්‍රනාන්දු බීබිසී සිංහල සංදේශයට පවසා තිබුණේ ඇය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හේතුවක් හෝ දක්වා නොතිබූ බවත් ඇගේ අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබාගැනිම නීතිවිරෝධී බවත් ය.
ශ්‍රී ලාංකාවේ උපන් පෙරේරා මහත්මිය බුද්ධාගමේ සිට ඉස්ලාම් ආගම වැළඳගෙන තිබූ අතර ඇය පසුව බහරේනයේ පදිංචි වී තිබිණි. ඇය අත්අඩංගුවට ගෙන තිබුණේ ශ්‍රී ලංකාවට මාස තුනක නිවාඩුවක් සඳහා පැමිණි අවස්ථාවේදීය.
ඇයගේ මුහුණු ආවරණය (veil) ඉවත් කරන ලෙසට මිරිහාන පොලිසිය බල කර තිබුණු බවද ඇගේ කැමැත්තට එරෙහිව ඡායාරූප සහ වීඩියෝ ගෙන තිබූ බවද ඇගේ මිතුරෙකු බීබිසී සිංහල සේවයට ප්‍රකාශ කර තිබිණි.
පෙරේරා මහත්මිය රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් රැඳවුම් නියෝගයක් යටතේ රඳවාගෙන සිටි බව එවකට පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි බීබීසී සංදේශයට ප්‍රකාශ කර තිබේ. නමුත් ඇය අත්අඩංගුවට ගැනීමට හේතුවූ චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ නැත.
Previous articleවතු කම්කරු වැටුප වැඩිකිරීමට යෝජනාවක් අනුමත වෙයි
Next articleසතියක් යන්නටත් පෙර එපා වූ හමුදා පාලනය !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here