ගෝඨාභයට පොහොට්ටුවේ නායකත්වය දීම : ඒ වගේ කුහක තැනකට පක්ෂය වැටෙන්නෑ – පොහොට්ටුවේ ලේකම්

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයෙන් ඉවත් කර එම නායකත්වය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදිය යුතු යැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළ අයුරින් දේශපාලන වාසි ලබාගැනීම සඳහා එවැනි කුහක තත්ත්වයකට පත්වීමට පක්ෂය සුදානම් ⁣නැති බව පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසීය.
එම පක්ෂයේ නායකත්වය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දිය යුතු බවට විමල් වීරවංශ අමාත්‍යවරයා පුවත්පතකට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු ජනතාවගෙන් සමාව ගත යුතු බව ද ලේකම්වරයා කීවේය.
අද (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“විමල් වීරවංශ මහතා පුවත්පතකට කරපු ප්‍රකාශයක් නිසා අපිට පක්ෂයක් ලෙස යුතුකමක් හා වගකීමක් තිබෙනවා විමල් වීරවංශ මහත්තයට පෙන්වලා දෙන්න එතුමා ඉන්නෙ කොතැනද පක්ෂයක් ලෙස අපි ඉන්නේ කොතැනද කියලා. එය ඉතාම බරපතල කාරණයක්. එතුමා ප්‍රකාශ කරනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයෙන් ඉවත් කරලා එය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට භාරදිය යුතුයි කියලා. විමල් වීරවංශ මහත්තයා දැනගන්න ඕන මේක එතුමගේ පක්ෂයත් නෙවෙයි එතුමාට අපේ පක්ෂය ගැන තින්දු තීරණ ගන්න කිසිදු අයිතියකුත් නැහැ කියලා.  ඒවගේ ප්‍රකාශයක් කරන්නවත් එතුමට අයිතියක් නැහැ. දේශපාලන වාසි ලබාගන්න ඒ වගේ කුහක තැනකට පත්වෙන්න අපේ පක්ෂය සුදානම් නැහැ. මනාප  වැඩියෙන් ලබාගන්න හරි පටු දේශපාලන වාසි ලබාගන්න හරි දේශපාලනය කරන පක්ෂයක් නෙවෙයි අපි. එතුමා ජනතාවගෙන් සමාව ඉල්ලා ඒ ප්‍රකාශය වහා ඉල්ලා අස්කරගත යුතුයි කියන තැන පක්ෂයක් විදිහට අපි ඉන්නවා. මෙවැනි තුන්වැනි පංතියේ ප්‍රකාශයක් කිරීම ගැන අපි කණගාටුව ප්‍රකාශ කරනවා.“ යැයි පැවසීය.
පසුගිය ඉරිදා ලංකාදීප පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් විමල් විරවංශ මහතා මෙසේ සඳහන් කර තිබුණි.
ප්‍රශ්නය – ඇත්තටම රටේ ප්‍රශ්නයක් තියෙනවා රට කරවන්නේ කවුද කියලා. ජනාධිපති ගෝඨාභයද? අගමැති මහින්දද? වෙනත් කෙනෙක්ද?
පිළිතුර – ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම් හැටියට ඉතා විශිෂ්ට සේවයක් කරපු කෙනෙක්. රාජ්‍ය නායකයා කියන භුමිකාව එතුමා භාරගත්තාට පස්සේ දේශපාලන ක්ෂේත්‍රයේදී එතුමා ඉන්නේ එක්තරා ආකාරයකට අත්දැකීම් බහුල චරිතයක් හැටියට නෙවෙයි. ඒ වගේම එතුමාට විය යුතුව තිබුණ දේ තමයි පොහොට්ටුව කියන පක්ෂයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන පක්ෂයේ නායකත්වය ලබාදීම.
එතුමාව එහෙම ගෙන්වන්නේ නැතිව එතුමාව ජනාධිපති ලේකම් කාර්යාලයට විතරක් තනි කිරීම සුදුසු නැහැ. එ්කෙන් වෙන්නේ මන්ත්‍රීවරුන් සහ එතුමා අතර තිබෙන සබැදියාව දුබල වීම. දේශපාලන ත්‍රන්ත්‍රය සමග එතුමා අතර තිබෙන සබැදියාව දුර්වල වීම. ඒක ආණ්ඩුවේ සහ රටේ නිරෝගී පැවැත්මට හිතකර දෙයක් නෙවෙයි. ඉතින් මට තේරෙන්නේ නැහැ ඒ අහිතකර තත්වය වර්ධනය වෙන්න ඉඩහරින්නේ කාගේ කුමන අපේක්ෂාවක් මුදුන්පත්කර ගැනීම සඳහාද කියලා.
Previous articleමානව හිමිකම් තවදුරටත් වර්ධනය කළ යුතුයි – රාජ්‍ය ඇමති තාරක බාලසුරිය
Next articleවතු කම්කරු වැටුප වැඩිකිරීමට යෝජනාවක් අනුමත වෙයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here