Home පුවත් මානව හිමිකම් තවදුරටත් වර්ධනය කළ යුතුයි – රාජ්‍ය ඇමති තාරක බාලසුරිය

මානව හිමිකම් තවදුරටත් වර්ධනය කළ යුතුයි – රාජ්‍ය ඇමති තාරක බාලසුරිය

0
මානව හිමිකම් තවදුරටත් වර්ධනය කළ යුතුයි – රාජ්‍ය ඇමති තාරක බාලසුරිය
(හසරිඳු රාජපක්ෂ)
මානව හිමිකම් තවදුරටත් වර්ධනය කළ යුතු බවට තමා විශ්වාස කරන බවත් තවදුරටත් එලෙස මානව හිමිකම් වර්ධනය කරගන්නේ කෙසේදැයි සොයා බැලිය යුතු බවත් කලාපීය සහයෝගීතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ප්‍රකාශ කළේය.
ජගත් මානව හිමිකම් කවුන්සිලයේ කොමසාරිස්වරිය සිය බලයට වඩා එහා යමින් රටවල අභ්‍යන්තර කටයුතු සඳහා ඇඟිලි ගසමින් සිටින බව ද හෙතෙම පැවසීය.
රටක අභ්‍යන්තර කටයුතු පිළිබඳව බාහිර පාර්ශ්ව කතා කිරීම සුදුසු නැති බවත් මෙවර මානව හිමිකම් කවුන්සිලයේ කොමසාරිස්වරියගේ වාර්තාව දෙස අවධානය යොමුකරන විට ඔවුන්ගේ බලයට වඩා එහා ගිය මට්ටමේ වාර්තාවක් සකස් කර ඇති බවත් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
“මානව හිමිකම් කවුන්සිලයේ බලතල මොනවද කියන එක සම්බන්ධයෙන් අපි අවධානය යොමු කළා. උදාහරණයක් විදිහට කොමසාරිස්වරිය යොමු කළ වාර්තාවේ 20 වැනි සංශෝධනය ගැන සඳහන් කරලා තිබෙනවා. 19 වැනි සංශෝධනයෙන් බල කේන්ද්‍ර දෙකක් ඇතිවෙලා යම් හානිදායී තත්ත්වයක් ඇතිවුණා. ඒ නිසා තමයි අපි එදා විපක්ෂයේ ඉන්න විට ජනතාවට කිව්වේ අපි බලයට පත් වුණොත් 19 ඉවත් කරනවා කියලා. 19 ඉවත් කරන්න තමයි 20 ගෙනාවේ. ඒක ජනතාව පිළිගත්තා. අපි කරපු දේ ජනතාව අනුමත කරනවා නම්, පාර්ලිමේන්තුව අනුමත කරනවා නම්, එය නීතිමය පැත්තෙන් ක්‍රියාත්මක වෙලා තිබෙනවා නම්, රටක අභ්‍යන්තර කටයුතු ගැන බාහිර පාර්ශ්ව කතා කරන එක සුදුසු නැහැ. මෙවර මානව හිමිකම් කවුන්සිලයේ කොමසාරිස්වරියගේ වාර්තාව එකපැත්තකින් ඔවුන්ගේ බලයට වඩා එහා ගිය මට්ටමේ වාර්තාවක් ඔවුන් සකස් කර තිබෙනවා.
ඒ වගේම 30/1 යෝජනාව මගින් සත්‍ය සෙවීමේ කොමිසමක් පත්කළ යුතු බව සඳහන් කරලා තිබෙනවා. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටවලා තිබෙනවා. යම් කිසි කාල සීමාවකට අදාළ මෙවැනි දේවල් ක්‍රියාත්මක කරන්න පුළුවන්. අතුරුදන්වීමේ කාර්යාලය ගැන කතා කළොත් යම් යුදමය කාලයක් තිබ්බා. එහිදී පිරිසක් අතුරුදහන් වුණා. අතුරුදන් වූ පිරිසගේ සාමාජිකයන්ට ඔවුන්ගේ නෛතික ගැටලු විසඳා ගැනීමට එවැනි කමිටුවක වැදගත්කමක් තිබෙනවා. නමුත් එය හැමදාටම වලංගු වෙන්නේ නැහැ. තවත් අවුරුදු 20න් විතර යුද්ධයක් රටේ ඇති නොවුණොත් අතුරුදන් වූවන්ගේ කාර්යාලයක් අවශ්‍ය වෙන්නේ නැහැ.“
මානව හිමිකම් කවුන්සිලය මගින් 2015 වර්ෂයේදී 30/1 යෝජනාව සම්මත කළා. පසුව 34/1, 40/1 යෝජනාවන් එක් වුණා. මේ වනවිට ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් පවා නිකුත්කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?
34/1, සහ 40/1 කියන්නේ 30/1 සම්බන්ධ වූවක්. මේ නිසා ප්‍රධන යෝජනාව වුණ 30/1 සම්බන්ධයෙනුයි අපි කල්පනා කළ යුත්තේ. 30/1 යෝජනාව සම්මත කරගත්තත් මංගල සමරවීර ඇමතිතුමා එයට එකඟ වී තිබෙන්නේ වලංගු නැති පදනමකින්. ඒ මොකද එයට පාර්ලිමේන්තු අවසරයක් ගත්තේ නැහැ. ඒ වගේම මෙවැනි ගිවිසුමකට එකඟ වෙනවා කියලා කැබිනට් අවසරයක් ගත්තේ නැහැ. ඒ වගේම එකල හිටපු ජනාධිපතිතුමා කිව්වා එතුමත් මේ ගැන දැනගෙන හිටියේ නැහැ කියලා. රටේ ව්‍යවස්ථාව වෙනස් කරන්න රටේ නීතිරීති වෙනස් කරන්න එකඟ වෙන්න විදේශ ඇමති කෙනෙක්ට බලයක් තියෙනවාද කියන එකයි අපි ප්‍රශ්න කරන්නේ. අපි විශ්වාසය කරන්නේ 30/1 යෝජනාවට එකඟ වී තිබෙන්නේ නීතිමය පදනමකින් තොරවයි.
මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූ මෙවැනි යෝජනාවකින් ශ්‍රී ලංකාව ඉවත් වෙනවා කියා ආණ්ඩුව පවසනවා. එය ප්‍රායෝගිකව කළ හැකි දෙයක්ද?
ඒ යෝජනාවෙන් ඉවත් වෙනවා කියලා අපි දැනුම් දී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයෙක් හැටියට ඉන්න විට කොහොම වුණත් විශ්වකාලාන්තර සමාලෝචන වාර්තා (Universal Periodic Review) සිදුකරනවා. ඒ නිසා අපි අනෙකුත් රටවල් සමග සාකච්ඡා කරලා මෙවැනි ගැටලු විසඳා ගන්න එක හොඳයි කියලා අපි විශ්වාස කරනවා.
ඒවගේම ජනාධිපතිතුමා විසින් පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කර තිබෙනවා. විශේෂයෙන්ම මානව හිමිකම් කවුන්සලය ආදියේ තිබෙන වාර්තාවල විවිධ කරුණු තිබෙන්නේ. ඒ වගේම උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන වාර්තාව, පරණගම වාර්තාව ආදී සියලු වාර්තාවන් සංසන්දනය කරලා බලලා සත්‍ය කරුණු මොනවාද කියා සොයා ගැනීමටයි මේ කොමිෂන් සභාව පත්කර තිබෙන්නේ.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඔබේ අදහස කෙබඳුද?
ලංකාවේ මානව හිමිකම් කොමිසමේ ක්‍රියා කලාපය ගැන මම අධ්‍යයනය කරලා නැහැ. ඒ නිසා පැහැදිලි පිළිතුරක් දෙන්න අමාරුයි.
මානව හිමිකම් යනු විදේශ උපක්‍රම බව, ඔබ අමාත්‍ය ධුරයේ වැඩ භාරගන්නා අවස්ථාවේදී පැවසුවා. ඔබ තවමත් සිටින්නේ එම මතයේමද?
මානව හිමිකම් අපි තවදුරටත් වර්ධනය කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම මානව හිමිකම්වලින් ඉහළින්ම සිටින රටවල් වුණත් ඔවුන්ගේ මානව හිමිකම් හොඳින්ම ක්‍රියාත්මක කර කර අවසන් කියලා කවදාවත් කියන්නේ නැහැ. එය අවසානයක් නොමැති ක්‍රියාදාමයක්. ඒ නිසා අපි තවදුරටත් අපේ මානව හිමිකම් වර්ධනය කරගන්නේ කොහොමද කියලා සොයා බැලිය යුතුයි. මානව හිමිකම් කියන සංකල්පය මම කවදාකවත් හෑල්ලුවට ලක්කළේ නැහැ
මානව හිමිකම් කවුන්සිලය ගැනයි මම එදා ප්‍රකාශ කළේ. එතැනදී මානව හිමිකම් කවුන්සිලයේ දේශපාලනය කිරීමක් සිදුවෙනවා කියලා මම තවදුරටත් විශ්වාස කරනවා. මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව දිහා බැලුවොත් එය තවදුරටත් තහවුරු වෙනවා.
මානව හිමිකම් කවුන්සිලය විතරක්ම නොවෙයි අනෙකුත් ආයතනත් භූදේශපාලන උවමනා ඉෂ්ට කරන්න භාවිත කරන බව අපි දකිනවා. ට්‍රම්ප් පාලනය යටතේදී ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වුණා. ඒ වගේම මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වුණා. යුනෙස්කෝ සංවිධානයෙන් ඉවත් වුණා. අනිවාර්යෙන්ම ප්‍රබල රටවල් ඔවුන්ගේ භූ දේශපාලනික අවශ්‍යතාවන් ඉෂ්ට කරගන්නට මේ දේවල් පාවිච්චි කරලා තිබෙනවා.
ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් ක්‍රියාත්මක කිරීම කොපමණ වැදගත් කියා සිතනවාද?
මානව හිමිකම් කියන්නේ කවදාවත් නවතින දෙයක් නෙවෙයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය දිහා බැලුවොත් එහෙම එය යුරෝපා කෙන්ද්‍රගත එකක්. යුරෝපයේ මානව හිමිකම් මතය අනිකුත් රටවල්වලට තුන්වැනි ලෝකයේ රටවල්වලටත් ක්‍රියාත්මක කරන්නයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ. අපි බටහිරවාදී වෙන්න අවශ්‍ය නැහැ. උදාරණයක් ලෙස චීනය පහුගිය වසර 20 තුළදී මිලියන 800 වඩා ප්‍රමාණයක් දරිද්‍රතාවෙන් මුදවා ඉහළ මට්ටමකට ගේනවා. ඒක මානව හිමිකමක් නෙවෙයිද? එක්සත් ජාතීන්ගේ සංවිධානය නිර්මාණය කරද්දිම එතැන දේශපාලන මත දෙකක් තිබුණා. බටහිර රටවල් සිවිල් දේශපාලනික අයිතිවාසිකම් ගැන කතා කරනවිට සෝවියට් කඳවුර කතා කළේ ආර්ථික සමාජීය අයිතිවාසිකමක් ගැන. ආසියාව ගත්තොත් අපේ වෙනම සංස්කෘතියක් තිබෙනවා. අපේ සංස්කෘතිය යුරෝපා කේන්ද්‍රගත වීමට අවශ්‍ය නැහැ කියන මතයේ තමයි මම ඉන්නේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු නියෝජිත ආයතන සමග වත්මන් ආණ්ඩුව කටයුතු කිරීමේ ප්‍රතිපත්තිය කෙබඳුද?
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය පමණක් නොවෙයි අනිකුත් සංවිධාන සමගත් බහු පාර්ශ්වීය සම්බන්ධවීමක් පිළිබඳව අවධානය යොමු කරනවා. නමුත් නීතිමත පදනම් වු ජාත්‍යන්තර සබඳතා පැවතීම වැදගත් වෙනවා. විවිධ රටවල්වල තනි අවශ්‍යතාවට තීන්දු ගන්නවාට වඩා සාකච්ඡා කරලා සියලු දෙනාගෙම අවශ්‍යතා සැලකිල්ලට ගෙන තීන්දු ගන්නා වාතාවරණයක් හොඳයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම සෑම රටකම ස්වාධිපත්‍යයට ගරුකිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා. මානව හිමිකම් කවුන්සිලයටවත් වෙනත් රටවල්වලටත් අපේ ජනතා ස්වාධිපත්‍යයට ඇඟිලි ගහන්න අයිතියක් නැහැ. ඒ වගේම ලංකාව තුළ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් තිබෙන ආයතන ශක්තිමත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
මේ අවස්ථාවේදී අපිට අර්බුදයක් ලෙස තිබෙන්නේ කෝවිඩ් වසංගතය. එවැනි වසංගතයක් ඇතිවුණාම ඇතැම් සීමාවන් දමන්න වෙනවා. උදාහරණයක් ලෙස ගමනාගමනයේ සීමාවන් දමන්න වෙනවා. නමුත් සෑම පුද්ගලයෙකුටම අයිතිවාසිකම් තිබෙනවා. එම අයිතිවාසිකම් රජයක් හෝ වෙනත් කිසිවෙකුට ගන්නට සීමා කරන්නට බැරි අයිතිවාසිකම්. ඒවා ආරක්ෂා කරන්න අපි කටයුතු කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here