වත්කම් පෙන්නූ මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව හෙළි කරන්න: තොරතුරු කොමිසමෙන් නියෝගයක්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 2010 වසරේ සිට 2018 වසර දක්වා වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව මුදා හරින ලෙස තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව නියෝග කළේය.
තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම සඳහා වන කොමිෂන් සභාව එම නියෝගය කළේ ජනමාධ්‍යවේදියකු විසින් ගොනුකරන ලද අභියාචනයක තීන්දුව ලබා දෙමිනි. වසර දෙකකට අධික කාලයක් තිස්සේ තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේදී මෙම අභියාචනයට අදාලව දීර්ඝ විභාගයක් පැවැත්විණි. එම දීර්ඝ විභාගයේ දී පාර්ලිමේන්තුව සහ අභියාචනය යොමු කරන ලද මාධ්‍යවේදියා වෙනුවෙන් දින ගණනාවක් පුරා කරුණු දැක්වීම් සිදු කරන ලද අතර සියලු කරුණු දැක්වීම් සැලකිල්ලට ගනිමින් කොමිෂන් සභාවේ නියෝගය ඇතුළත් තීන්දුව පසුගිය 05 වැනිදා අදාල පාර්ශ්ව වෙත නිකුත් කරනු ලැබ තිබේ.
2010 වසරේ සිට 2018 වසර දක්වා වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දුන් මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තු  ලබා දෙන ලෙස ඉල්ලමින් මාධ්‍යවේදී චාමර සම්පත් මහතා 2018 වසරේ දී පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරීට තොරතුරු ඉල්ලීමක් යොමු කර තිබිණි. පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරියා තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කරමින් දන්වා ඇත්තේ එම තොරතුරු අවශ්‍ය නම් 1975 අංක 01 දරන වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ නීතිය යටතේ කතානාකවරයාගෙන් ඉල්ලා සිටින ලෙසයි.
තමා ඉල්ලා ඇත්තේ වත්කම් බැරකම් ප්‍රකාශ නොවන බවත්, වත්කම් බැරකම් ලබා දුන් මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය පමණක් බවත් දන්වමින් මාධ්‍යවේදියා පාර්ලිමේන්තුවේ නම් කළ නිලධාරීට අභියාචනයක් යොමු කර තිබේ. පාර්ලිමේන්තුවේ නම් කළ නිලධාරියා ද තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ජනමාධ්‍යවේදියා ඒ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවට අභියාචනයක් යොමු කර තිබිණි.
අභියාචනය විභාගයට ගත් අවස්ථාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලය සහ මහ ලේකම්ගේ කාර්යාලය ආයතන දෙකක් බැවින් තොරතුරු ඉල්ලීම යොමු කළ යුත්තේ කතානායකගේ කාර්යාලයට බවයි. කතානායක කාර්යාලයේ තොරතුරු නිලධාරියෙකු නොමැති බවත්, පාර්ලිමේන්තුවේ පරිපාලන කටයුතු සිදු වන්නේ මහ ලේකම්ගේ කාර්යාලයෙන් බවත් අභියාචනය විභාග කිරීමේදී හෙළි විය.
වත්කම් හා බැරකම් පනත යටතේ ලබා ගත හැක්කේ වත්කම් හා බැරකම් ප්‍රකාශ පමණක් බවත්, වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දුන් මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තු ලබා ගත යුත්තේ තොරතුරු පනතින් බවත් අභියාචනය විභාය අතරතුරදී කියැවිණි. තොරතුරු පනත අභිබවා වත්කම් බැරකම් නීතිය ක්‍රියාත්මක වන බවට පාර්ලිමේන්තුව විසින් තර්කයන් ඉදිරිපත් කරන ලද අතර වත්කම් බැරකම් නීතිය අභිබවා තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය පිළිබඳ නීතිය බලපැවැත්වෙන බවත්, ඉල්ලා ඇති තොරතුරු තේරී පත්වූ මහජන නියෝජිතයන්ගේ වගවීම සහ විනිවිදභාවය සම්බන්ධයෙන් වන තොරතුරු නිසා එම තොරතුරු මහජනතාවට වැදගත් වන බවත් තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව සිය තීන්දුවෙන් ප්‍රකාශ කර තිබේ.
මෙම තීන්දුවට එළඹීමට හේතු දක්වමින් තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව පිටු 26ක තීන්දුවකින් කරුණු දක්වා තිබේ. තීන්දුව අවසානයේ තොරතුරු කොමිසම නියෝග කර ඇත්තේ මාධ්‍යවේදීයා විසින් ඉල්ලනු ලැබ ඇති තොරතුරු වහාම මුදා හරින ලෙසයි.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව නිකුත් කළ එම තීන්දුව RTIC Appeal No 719/2019 ලෙස සඳහන් කර ඇත
Previous articleදේශපාලකයිනුත් වැලි-පස්-මැටි-ගල් බලපත්‍ර ඉල්ලා පෝලිමේ – පරිසර ඇමති
Next articleමානව හිමිකම් තවදුරටත් වර්ධනය කළ යුතුයි – රාජ්‍ය ඇමති තාරක බාලසුරිය

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here