දේශපාලකයිනුත් වැලි-පස්-මැටි-ගල් බලපත්‍ර ඉල්ලා පෝලිමේ – පරිසර ඇමති

සමහර දේශපාලනඥයින් හා ව්‍යාපාරිකයින් වැලි කැපීම, මැටි කැපීම, කළුගල් කැඩීම සහ පස් කැපීම සඳහා බලපත්‍ර ඉල්ලමින් පෝලිමේ එන බවත් සමහරුන්ට අවශ්‍ය පරිසරයට හෙණ ගසා ගියත් තමන්ගේ මල්ල පුරවාගැනීමට බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.
පරිසරය විනාශ කරන පුද්ගලයින්ට එහි විපාක අත් විඳීමට සිදුවන්නේ වැල් පොලියත් සමග බවද 2004 සුනාමියෙන් සහ වරින්වර සිදුවන නායයාම්වලින් කියා දෙන පාඩම එය බවද අමාත්‍යවරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
“අද පරිසරය කියන්නේ සාක්කුවට සල්ලි උණන උල්පතක් විදියට සමහරු හිතනවා. විශේෂයෙන් සමහර දේශපාලකයෝ හා ව්‍යාපාරිකයෝ වැලි කපනවා. මැටි කපනවා. කළුගල් කඩනවා, පස් කපනවා. ඒවට බලපත් ඉල්ලාගෙන පෝලිමේ එනවා. සමහරුන්ට වුවමනා පරිසරයට හෙණ ගහළා ගියත් කමක් නෑ තමන්ගේ මල්ල පුරවා ගන්න.
මම එක් කාරණයක් මතක් කරන්න කැමැතියි. පරිසරය විනාශ කරන පුද්ගලයින්ට එහි විපාක අත් විඳින්න සිදුවෙන්නේ වැල් පොලියත් එක්ක. ඒක තමයි 2004 සුනාමියෙන් අපිට කියා දුන්න පාඩම. ඒක තමයි වරින්වර සිදුවන නායයාම්වලින් අපිට කියා දෙන පාඩම”
පරිසර අමාත්‍යාංශය විසින් පවත්වන සාකච්ඡා සහ රැස්වීම් මින්පසු ශ්‍රවණාගාර තුළ නොපවත්වා එළිමහනේ පැවැත්වීමට කටයුතු කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර ඇත.
“අප රටේ දවල් කාලයට පැය 07ක් 08ක් යන තෙක් හොඳට හිරු එළිය ලැබෙනවා. නමුත් අපේ කාර්යාල හැම එකකම මහදවාළේත් විදුලි පහන් දල්වාගෙන තමයි ඉන්නේ. හොඳට සුළං හමන රටක මුලු දවස පුරාම වායුසමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක කරනවා. ජාතික ධනය හා සම්පත් විශාල වශයෙන් නාස්ති වෙනවා. ඒ නිසා අපි පරිසර අමාත්‍යාංශය විදියට තීරණය කළා මින් පසු අපි පවත්වන මාණ්ඩලික නිලධාරින්ගේ සාකච්ඡා, රැස්වීම් සියල්ලම අපේ අමාත්‍යාංශ පරිශ්‍රයේ තිබෙන සුන්දර වන අරණ තුළ පවත්වන්න.
අපේ රටේ හැම රජයේ හා පුද්ගලික ආයතනයකම ශ්‍රවණාගාර දෙකක් හෝ තුනක් තිබෙනවා. ඒ වගේම හැම නගරයකම සම්මන්ත්‍රණ ශාලා ගණනාවක් තිබෙනවා. පාසැල් පද්ධතියේ බහුතරයකම ශ්‍රවණාගාර තිබෙනවා. මේවා නඩත්තුවට රජය විශාල මුදලක් වාර්ෂිකව වැය කරනවා. නමුත් අමාත්‍යාංශයක හෝ දෙපාර්තමේන්තුවක මොකක් හරි රැස්වීමක් පවත්වන්න සිදු වු⁣⁣ණොත් ඒ සඳහා යොදාගන්නේ තරු පහේ හෝටල්. ඒවාට වෙනමම වියදම් කරනවා.
අපි මෙම සංස්කෘතිය වෙනස් කළ යුතුයි. ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් වුණත් සුන්දර පරිසර කලාපයක් තුළ එළිමහනේ පැවැත්වීමට පුලුවන්. මං හිතන්නේ එමගින් අපේ මිනිස්සුන්ට පරිසරය ආරක්ෂා කිරීමේ වගකීම හා අවශ්‍යතාවය පැහැදිළි කර දෙන්න පුළුවන්. අපේ රටේ විශේෂ අවධානයක් යොමු කර වන වගා කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉවත දමන දණ්ඩක් වුවත් දළු දාලා පැළවෙන සරු පොළවක් අපිට තියෙනවා. ගැටළුව තියෙන්නේ ඒ පොළවෙන් නිසි ප්‍රයෝජන තවමත් අපි ලබා නොගැනීමයි.
අපි ගොඩනැගිලි හදලා තියෙන්නේ මහ දවාලෙත් ලයිට් දාගෙන වායු සමීකරණ දාගෙන ඉන්න. හරියට බ්‍රොයිලර් කුකුල්ලු වාගේ. ලයිට් නැත්නම් මොකුත් කරන්න බැහැ. නමුත් ලස්සන පරිසරයක් තියාගෙන අපි ඒවායින් නිසි ප්‍රයෝජන ගන්නේ නෑ. අපි අපේ බාල පරම්පරාවවත් මේ නව සංස්කෘතියකට හුරු කළ යුතුයි. පරිසරයට ආදරය කරන, ගහකොළ වලට ආදරය කරන, වන සතුන්ට, පක්ෂීන්ට ආදරය කරන පරපුරක් හදන්න නම් පරිසරය සමග ජීවත් වෙන හැටි ඒ අයට කියා දෙන්න ඕනෑ.”
Previous articleකළුතර වනජීවි හා සංරක්ෂණ කලාප ආශ්‍රිතව සංචාරක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යයි
Next articleවත්කම් පෙන්නූ මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව හෙළි කරන්න: තොරතුරු කොමිසමෙන් නියෝගයක්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here