විදෙස්ගත ශ්‍රමිකයින් ගෙන්නගන්න බැරි නිරෝධායන පහසුකම් නැති නිසයි – කම්කරු අමාත්‍ය

කොරෝනා වසංගතය පැතිරීම ආරම්භ වී වසරකට ආසන්න කාලයක් ගතව ඇතත් මෙතෙක් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වූ ශ්‍රී ලාංකිකයෝ විශාල ප්‍රමාණයක් විදෙස් රටවල අසරණභාවයට පත්ව සිටිති.
විදෙස් සංචාරකයින්ට පෙර දැනුම්දීමක් නොමැතිව පැමිණීම⁣ට හැකි වන පරිදි රට විවෘත වුවද අවසර ලබාගෙන හෝ ශ්‍රී ලාංකිකයින්ට මෙරටට පැමිණීමට නොහැකි තත්ත්වයක් පවතින බවට විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ පවසති.

බැරි හේතුව ඇමති කියයි

ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් විදේශ රටවල දැනට රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම ප්‍රමාද වීමට ප්‍රධාන හේතුව ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණි පසු නිරෝධායනය සඳහා රඳවා තැබීමට මෙරට නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩ නොමැති වීම බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබේ.
එම නිසා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අරමුදල්වලින් පළාත් නවයේ නිරෝධායන මධ්‍යස්ථාන නවයක් ආරම්භ කර එම විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් කඩිනමින් මෙරටට ගෙන්වා එම මධ්‍යස්ථානවල ස්ථානගත කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යවරයා පවසා ඇත.
කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික කාර්ය සාධක බලකාය සමඟ මේ පිළිබඳව  සාකච්ඡා කර එම මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව ද අමාත්‍යවරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
විදෙස්ගත ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට පැමිණීමට අදාල ගුවන් ප්‍රවේශ පත ලබා ගැනීමට නොහැකිව විශාල වශයෙන් අපහසුතාවට ලක් වී එම රටවල්වල රැඳී සිටින බවට මාධ්‍ය මගින් වාර්තා වූ බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශ අරමුදල් භාවිතා කර මෙම අසරණ වී සිටින විගමනික ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නොපැකිලිව කටයුතු කරන ලෙස රාජ්‍ය ගිණුම් කාරක සභා රැස්වීමක දී පසුගිය දා තීරණය වූ බවද එහි සඳහන් වෙයි.

ටිකට් ගන්න සල්ලි නැත්නම් දැනුම් දෙන්න

එසේම ශ්‍රී ලංකාවට පැමිණීමට අදාළ  ගුවන් ටිකට්පත් ලබා ගැනීමට නොහැකිව යම්කිසි විගමනික සේවකයෙක් හෝ සේවිකාවක් කිසියම් රටක සිටී නම් ඔවුන් වහාම එම රටේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයට වාර්තා කරන ලෙසත්, එසේ නොමැති නම් විදේශ සබඳතා අංශයේ ගාස්තු රහිත දුරකථන අංකය වන 800119119 අමතා එම තොරතුරු ලබා දෙන ලෙසත් අමාත්‍යවරයා විගමනික ශ්‍රමිකයන්ගෙන් සහ ඔවුන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලා සිටියි. එම ඉල්ලීම් විමර්ශනය කර බලා ඔවුන්ගේ කාර්යංශයේ ලියාපදිංචිය සහ අනන්‍යතාව තහවුරු කර නොපමාව ඔවුන්ට ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස අමාත්‍යවරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දන්වා ඇත.
එසේම දැනට විදේශ රටවල රැඳී සිටින ශ්‍රමිකයන්ට යම්කිසි ආධාර හෝ උදව් උපකාර හෝ අවශ්‍ය සහයක් ඇත්නම් ඒ පිළිබඳව විදේශ කටයුතු සබඳතා අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණයෙන් යුක්තව ඔවුන්ට අවශ්‍ය එම ආධාර, අනුග්‍රහයන් , සහයෝගය සහ ආධාර උපකාර ලබාදීමේ වැඩපිළිවෙළක් නොපමාව සකස් කරන ලෙස ද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රක්ෂණ ආවරණය ඇතිව විදේශගත වූ ශ්‍රමිකයන්ට මෙම ආපදා අවස්ථාවේදී එකී රක්ෂණ ආවරණය යටතේ ලබා යුතු වන්දි හෝ දීමනා වේ නම් ඒවා ලබාදීමට ප්‍රමුඛත්වයක් දී  නොපමාව ක්‍රියාත්මක වන ලෙසත්, එසේ වන්දි හා දීමනා ඉල්ලා සිටින අයගේ ලැයිස්තු සහ ඒ අතරින් එම වන්දි සහ ඉල්ලීම් ලබා දුන් අයගේ ලේඛනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා සති දෙකකට වරක් රේඛිය අමාත්‍යංශයට ලබා දෙන ලෙස  අමාත්‍යවරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දන්වා ඇත.
එම කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා  විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ,කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා, සාමාන්‍යාධිකාරීවරයා සහ ගණකාධිකාරිවරයා ,විදේශ කටයුතු අමාත්‍යංශයේ විදේශ සබඳතා අංශයේ ප්‍රධානී සහ මහා භාණ්ඩාගාරයේ නියෝජිතයකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද ඇමතිවරයා දන්වා තිබේ.

විදේශ අමාත්‍යාංශයේ ස්ථාවරය

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීම ගැන විදෙස් අමාත්‍යාංශය අවසන් වරට නිකුත් කර ඇති ස්ථාවරය මෙසේය.
“කිසිදු මූල්‍යමය බරක් නොමැතිව නැවත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විදේශ අමාත්‍යාංශය අඛණ්ඩව පහසුකම් සලසන බව විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි.
විදේශයන් හි පිහිටි ශ්‍රී ලාංකික දූත මණ්ඩලවල කාර්යභාරය නැවත පැමිණෙන්නන් මෙරටට ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් සංවිධානය කිරීම සඳහා පමණක්ම සීමා වී ඇති අතර, ඔවුන් පැමිණීමේ දී පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව නොමිලයේ රජයේ පහසුකම් මත නිරෝධායනය ද කරනු ලබන බව ලේකම් ජයනාත් කොළඹගේ මහතා පෙන්වා දෙයි.
දූත මණ්ඩල හා දූත කාර්යාලවල ලියාපදිංචි වී ඇති විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ ලැයිස්තුවෙන් ඔවුන් පත්ව සිටින අවදානම් මට්ටම් අනුව ප්‍රමඛතාව ලබා දී “පළමුව පැමිණෙන්නන්ට පළමුව සේවාව සැපයීමේ පදනම” මත ආපසු ගෙන්වා ගනු ලැබේ.
විදේශගත ශ්‍රමික ප්‍රජාව ආරක්ෂිතව නැවත මෙරටට පැමිණීම සම්බන්ධයෙන් අදාළ ගුවන් ගමන් ලබා ගැනීමේ හැකියාව සහ ගුවන් තොටුපොළ බලධාරීන්ගේ අනුමැතිය මත විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ එහි නියෝජිතයන් ද අපගේ දූත මණ්ඩල සමඟ එක්ව කටයුතු කරයි.
කෙසේ වෙතත්, නිරෝධායන මධ්‍යස්ථාන භාරව සිටින යුද හමුදාව සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමේ කාර්යය භාරව සිටින සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වරින් වර සිදුකෙරෙන තක්සේරු කිරීම් සහ තොරතුරු මත, කාර්යය සාධක බලකාය විසින් දිනකට ගමන් කිරීමට අවසර ලබා දෙනු ලබන මගීන් සංඛ්‍යාව තීරණය කරනු ලැබේ.
දේශීය නිරෝධායන හා වෛද්‍ය පහසුකම් සම්පූර්ණයෙන්ම භාවිත වී ඇති අවස්ථාවල දී, එවැනි පහසුකම් මුදල් ගෙවා ලබා ගැනීමට හැකියාවක් ඇති අය සඳහා, ගෙවීමේ පදනමක් මත නැවත මෙරටට ගෙන්වා ගැනීම විකල්පයක් බවට පත්වේ.
නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලියේදී මුදල් ගෙවා නිරෝධායන, පරීක්ෂණ සහ වෙනත් සැපයුම් සේවා සඳහා වැඩි කැමැත්තක් දක්වන විදෙස්ගත ශ්‍රී ලංකා ප්‍රජා කණ්ඩායම්වලට ශ්‍රී ලංකා දූත මණ්ඩල හරහා කුලී ගුවන් ගමන් අනුමත කර සංවිධානය කරනු ලැබේ.
නිරෝධායනය සහ අනෙකුත් අවශ්‍යතා සඳහා මුදල් ගෙවිය හැකි, සාපේක්ෂව කුඩා මගීන් පිරිසක් සඳහා ලබා දෙන තුන්වැනි ආකාරයේ පහසුකමක් ලෙස, භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් සහ තෝරාගත් වාණිජ ගුවන් ගමන් කිහිපයක් ද නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා අමාත්‍යාංශය විසින් අනුමත කරනු ලබන අතර, කොවිඩ් කාර්යය සාධක බලකායේ නවතම නියෝගයට අනුව එක් ගුවන් ගමනකට උපරිම මගීන් 75 ක සංඛ්‍යාවක් සඳහා අවසර දෙනු ලැබේ.
ගුවන් ටිකට්පත්, පීසීආර් පරීක්ෂණ සහ නිරෝධායන ගාස්තු පිළිබඳව මගීන් සමඟ ගනුදෙනු කිරීම සඳහා අදාළ ගුවන් සමාගම්වල සාමාන්‍ය විකුණුම් නියෝජිතයින්ට (GSA) බලය පවරා ඇති අතර, අතිශය විශේෂිත අවස්ථාවල දී එවැනි පහසුකම් සඳහා කෙරෙන ඉල්ලීම් සඳහා හැර, සංචාරක අවශ්‍යතා සම්බන්ධයෙන් කිසිදු ආකාරයක ගෙවීම් හැසිරවීම සඳහා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලවලට බලය පවරා නොමැත.
මෙම වසංගත තත්ත්වය අස්ථිර හා අනපේක්ෂිත ලෙස පවතින බැවින්, නිතිපතා නැවත ඇගයීමක් සිදු කරනු ලබන අතර, ඒ අනුව නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය වරින් වර සමාලෝචනය කරනු ලැබේ.”

7406ක් නිරෝධායන මධ්‍යස්ථානවල

අද(04) වන විට යුද හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 91ක 7,400 දෙනකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටින බව කොරෝනා මර්දන කොවිඩ්-19 පැතීරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.
Previous articleමියන්මාර සිදුවීම : ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ හානියක් – ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම
Next articleකළුතර වනජීවි හා සංරක්ෂණ කලාප ආශ්‍රිතව සංචාරක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here