කළුතර වනජීවි හා සංරක්ෂණ කලාප ආශ්‍රිතව සංචාරක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යයි

කළුතර දිස්ත්‍රික්කයේ වන ජීවී හා වන සංරක්ෂණ කලාප ආශ්‍රිතව පිහිටි සංචාරක ආකර්ෂණීය ස්ථාන ලෙස හඳුනාගත් ස්ථාන රැසක් සංචාරක ව්‍යාපාරය අරමුණු කරගෙන ප්‍රවර්ධනය කිරීමට සැලසුම් කර ඇත.
එම දිස්ත්‍රික්කයේ නව සංචාරක ආකර්ෂණීය ස්ථාන 133 ක් හදුනාගෙන ඇති බවත් ඉන් බොහෝමයක් පිහිටා ඇත්තේ ඇත්තේ වන ජීවී හා වන සංරක්ෂණ කලාප ආශ්‍රිතව බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කර තිබේ.
පසුගිය දා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවති කළුතර දිස්ත්‍රික් ජීවනෝපාය කමිටු සංවර්ධන රැස්වීමේදි ඇමතිවරයා මේ බව සදහන් කර ඇති අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම ජීවනෝපාය සංවර්ධන කමිටුව ක්‍රියාත්මක වෙයි.
කළුතර දිස්ත්‍රික්කයේ සංචාරක සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 30 ක් මේ වසර තුළ වෙන් කර ඇති බවත් මාකෙලිය හා තුම්මෝදර ඇල්ල ආශ්‍රිත සංචාරක ආකර්ෂණය ප්‍රවර්ධනය හා යටිතල පහසුකම් සංවර්ධනය, වලල්ලාවිට යගිරල රක්ෂිතය හා කළුගල රක්ෂිතය ආශ්‍රිතව සංචාරක ප්‍රවර්ධනය, මගුර කඩොලාන ආශ්‍රිත සංචාරක ප්‍රවර්ධනය ආදී වැඩසටහන් ආරම්භ කිරීමට අපේක්ෂා කර ඇති බවත් මෙහිදී සාකච්ඡා වී තිබේ.
සංචාරක හෝ මොනයම් කර්මාන්තයක් ප්‍රවර්ධනයට කටයුතු කළද වනජීවී හා වන සංරක්ෂණ කලාප ආශ්‍රිතව කටයුතු කිරීමේදි ඒවායේ පරිසර පද්ධතියට කිසිදු හානියක් සිදු නොවිය යුතු බවද ඇමතිවරයා අවධාරණය කර ඇති අතර රක්ෂිත හා වනජීවි කලාප වල සංචාරක ආකර්ෂණීය ස්ථාන සංවර්ධනයේදි පරිසර පද්ධතිය ආරක්ෂාවන ලෙස කටයුතු කරන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දී ඇත. එබැවින් එවැනි ස්ථාන ප්‍රවර්ධනය කිරීමේදි වනජීවී අමාත්‍යාංශය හා ඒකාබද්ධ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ද ඇමතිවරයා ප්‍රකාශ කර ඇත.
පාහියංගල ලෝක උරුමයක් ලෙස නම් කිරීමටත්, කැලිඩෝ වෙරළ සංවර්ධනය කිරීමටත් මෙහිදි තීරණය කර ඇති අතර ඒ සදහා අවශ්‍ය මූලික පියවර ගන්නා ලෙස ඇමතිවරයා බලධාරීන්ට උපදෙස් දී තිබේ. කළුතර දිස්ත්‍රික්කයේ කෘෂි කර්මාන්තයට අදාල ගැටලු කඩිනමින් විසඳීමටද ඉඩම් හිමිකම් නොමැති අයට කඩිනමින් ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමට ද දිස්ත්‍රික්කයේ තරුණ ව්‍යවසායකයින් සදහා ඉඩම් ලබා දීමටද තීරණය වී ඇත. ඌණ උපයෝජිත ඉඩම් අක්කර 22,172 ක් දිස්ත්‍රික්කය තුළ ඇති බවට ද එහිදී සාකච්ඡා වී තිබේ.
Previous articleවිදෙස්ගත ශ්‍රමිකයින් ගෙන්නගන්න බැරි නිරෝධායන පහසුකම් නැති නිසයි – කම්කරු අමාත්‍ය
Next articleදේශපාලකයිනුත් වැලි-පස්-මැටි-ගල් බලපත්‍ර ඉල්ලා පෝලිමේ – පරිසර ඇමති

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here