වසර 35කට වරායේ බටහිර පර්යන්තය ඉන්දියාවේ – ජපානයේ කැමැත්තට පවරයි ?

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සියයට සීයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පාලනය යටතේ තබාගැනීමටත්, එහි බටහිර පර්යන්තය සංවර්ධනය සඳහා ආයෝජන කැඳවීමටත් ඊයේ (01) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය.
කැබිනට් රැස්වීමට පෙර මේ සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් වරාය වෘත්තීය සමිතිවලට දැනුම් දී තිබිණි. ඊයේ (01) උදෑසන වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් දයා රත්නායකගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් MediaLK ද ඒ බව තහවුරු කරන ලදි.

වසර 35ක හවුල් ව්‍යාපෘතියක්

කෙසේ වෙතත් වරාය හා නාවික ඇමැති රෝහික අබේගුණවර්ධන මහතා විසින් ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන ලද ඇමැති මණ්ඩල සංදේශයට අනුව කොළඹ වරායේ බටහිර පර්යන්තය වසර 35ක කාලයකට වෙනත් පාර්ශ්වයකට ලබාදීමට යෝජනා කර ඇත. එම වෙනත් පාර්ශ්වය යන්න අදාළ පත්‍රිකාවේ පැහැදිලි කර ඇත්තේ ඉන්දීය රජය සහ ජපාන රජය නම් කරන පෞද්ගලික පාර්ශ්වයක් ලෙසයි. මේ සඳහා වරාය අධිකාරිය ද මැදිහත් විය යුතු බවත්, එය රාජ්‍ය-පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යා යුතු බවත් එහි වැඩිදුරටත් සඳහන් ය. නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉන්දියාව සහ ජපානය සමග ශ්‍රී ලංකාව ගිවිසුමක් අත්සන් කර තිබීම ඊට හේතු ලෙස ද දක්වා තිබේ.

ඉන්දියාවේ ප්‍රතිචාරය

කෙසේ වෙතත් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර තිබුණේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට අවශ්‍ය බවකි. දෙරණ වෙබ් අඩවිය එය මෙසේ වාර්තා කර තිබිණි.
‘ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපානය 2019 මැයි මාසයේදී එළැඹි ත්‍රයිපාර්ශ්වික එකඟතාව අනුව එම රටවල්වල සහභාගීත්වයෙන් නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම කඩිනමින් ක්‍රියාත්මක වනු ඇතැයි යන්න ඉන්දීය රජයේ බලාපොරොත්තුව වේ. ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ කැපවීම නොයෙක්වර අප හට දන්වා තිබේ. ඒ බව නායක මට්ටමින්ද දන්වා ඇත. එසේම මීට මාස තුනකට ඉහතදී ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය ද විදෙස් ආයෝජකයන් සමග එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තීරණයක් ගත්තේය.’

කැබිනට් රැස්වීම

මේ අතර කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඇමැතිවරුන් අතර මේ සම්බන්ධයෙන් මත ගැටුමක් හටගෙන ඇති බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් MediaLK වෙත පැවසීය. ඔහු සඳහන් කළේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීමට විරෝධය දැක්වූ ඇමැතිවරුන්ට මෙසේ වෙනත් ඇමැතිවරුන් පිරිසකගෙන් දෝෂාරෝපණයක් එල්ල වූ බවයි. ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග ඇතුළු ඇමැතිවරුන් පිරිසක් විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර මාධ්‍යයට කළ ප්‍රකාශ කිහිපයක් සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා ඇත. එහිදී විමල් වීරවංශ ඇමැතිවරයා දේශීය සම්පත් සම්බන්ධයෙන් යම් අදහසක් දැක්වුවද, වෙනත් කිසිදු ඇමැතිවරයෙකු ඊට ප්‍රතිචාර දක්වන්නට ඉදිරිපත් නොවූ බව ද අදාළ ඇමැතිවරයා සඳහන් කළේය. කෙසේ වෙතත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මේ සම්බන්ධයෙන් විශේෂ අදහසක් පළනොකිරීම කැපී පෙනුණු බව ද ඔහු පැවසීය.

වෘත්තීය සමිති තීරණය

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය සඳහා ලබාදීමේ මේ යෝජනාවට එකඟද යන්න සම්බන්ධයෙන් වරාය වෘත්තීය සමිති එකමුතුවෙන් අප කළ විමසීමේදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ කැබිනට් පත්‍රිකාව අධ්‍යයනය කරමින් සිටින බවත්, තම තීරණය කඩිනමින් ප්‍රකාශයට පත්කරන බවත් ය.

යෝජිත පර්යන්තය

කොළඹ වරායේ බටහිර පර්යන්තය යනු මෙතෙක් ඉදිකර නැති පර්යන්තයකි. කොළඹ වරායේ ක්‍රියාත්මක පර්යන්ත පහක් තිබේ. ජායා පර්යන්තය (Jaya Container Terminal), සමගි පර්යන්තය (Unity Container Terminal), SAGT (South Asia Gateway Terminal) පර්යන්තය, CICT (Colombo International Container Terminal) පර්යන්තය සහ නැගෙනහිර පර්යන්තය (EAST Container Terminal – ECT) ඒවා වේ. තවමත් ඉදිකර නොමැති යෝජිත පර්යන්තය වන්නේ WCT (Western Container Terminal) හෙවත් බටහිර පර්යන්තයයි. මේ අතරින් දැනට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කොළඹ වරායට අයිති පර්යන්තක් ලෙස ක්‍රියාත්මක වන්නේ ජායා පර්යන්තය (JCT) පමණි.
Previous articleනැගෙනහිර ජැටිය වරාය අධිකාරියට : අගමැතිගේ පොරොන්දුව ගැන තීරණය කැබිනට් පත්‍රිකාව අධ්‍යයනයෙන් පසු !
Next articleමියන්මාර සිදුවීම : ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ හානියක් – ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here