නැගෙනහිර ජැටිය වරාය අධිකාරියට : අගමැතිගේ පොරොන්දුව ගැන තීරණය කැබිනට් පත්‍රිකාව අධ්‍යයනයෙන් පසු !

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ පාලනය සියයට සීයක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ සිදුකරන බවත්, ඊට අදාළ කැබිනට් පත්‍රිකාව අද (01) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් වරාය වෘත්තීය සමිතිවලට දැනුම් දී තිබේ.
අද පෙරවරුවේ වෘත්තීය සමිති සහ අගමැතිවරයා අතර සාකච්ඡාවක් පැවැති අතර, එහිදී අගමැතිවරයා මේ බව දැනුම් දී ඇත. මේ සාකච්ඡාව සඳහා වරාය සුරැකීමේ ඒකාබද්ධ එකමුතුවට සම්බන්ධ වී සිටි වෘත්තීය සමිති 23න්, වෘත්තීය සමිති 14ක් සහභාගි වී තිබේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ පැවසුවේ අගමැතිවරයා විසින් පැවසූ දේ දැනට පිළිගන්නා නමුත්, ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වන තීරණය කැබිනට් පත්‍රිකාව අධ්‍යයනය කිරීමෙන් පසු ගන්නා බවයි. එතෙක් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග අනුගමනය කරන බව ද ඔහු සඳහන් කළේය.
විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ අද කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත කැබිනට් පත්‍රිකාවට බටහිර පර්යන්තය සම්බන්ධ කරුණු ඇතුළත් කර ඇති බවයි. මීට පෙර පසුගිය සිකුරාදා දිනයේ නැගෙනහිර පර්යන්තයට අදාළව තවත් කැබිනට් පත්‍රිකාවක් සකස් කෙරුණු අතර, එහි සඳහන් වූයේ වරාය නැගෙනහිර පර්යන්තයේ කොටස්, කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීම සම්බන්ධයෙනි. එහෙත් එම කැබිනට් පත්‍රිකාව මුළුමනින්ම ඉවත් කරගෙන ඇති බව ද අදාළ ආරංචි මාර්ග සඳහන් කරයි.
Previous articleනැගෙනහිර ජැටිය සීයට සීයක් අධිකාරිය යටතට – වරාය සභාපති MediaLK වෙත විශ්වාසය පළකරයි !
Next articleවසර 35කට වරායේ බටහිර පර්යන්තය ඉන්දියාවේ – ජපානයේ කැමැත්තට පවරයි ?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here