නැගෙනහිර ජැටිය සීයට සීයක් අධිකාරිය යටතට – වරාය සභාපති MediaLK වෙත විශ්වාසය පළකරයි !

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සියයට සීයක් වරාය අධිකාරිය යටතේ පාලනය කිරීමට අදාළ සුබදායී තීන්දුවක් අද දවසේ ගනු ඇතැයි තමන් විශ්වාස කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් දයා රත්නායක මහතා MediaLK වෙත අද (01) පැවසීය.
අද (01) පෙරවරු 11 ට පමණ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග වරාය අධිකාරියේ වෘත්තීය සමිති එකමුතුවේ සාකච්ඡාවක් පැවැත්වෙන බවත්, ඊට තමන් ද සහභාගි වන බවත් සඳහන් කළ සභාපතිවරයා, බහුතරය ඉල්ලා සිටි දේ සිදුවන බව පමණක් දැනට තමන්ට පැවසිය හැකියැයි ද අවධාරණය කළේය. වරාය අධිකාරියේ මෙහෙයුම් මගින් රටේ අනාගතය යහපත් කරගැනීමට ඉහළ දායකත්වයක් ලබාගත හැකි බවත්, ඒ වෙනුවෙන් ආණ්ඩුව කටයුතු කරන බවත් අප කළ විමසීමට පිළිතුරු දෙමින් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ වෙතත් මීට පෙර සභාපතිවරයා සඳහන් කළේ නැගනහිර පර්යන්තය සඳහා ආයෝජන කැඳවීමක් අනිවාර්යෙන්ම සිදු කරන බවත්, වෘත්තීය සමිති පවසන ආකාරයට එම තීරණ ගැනීමට ආණ්ඩුව කිසිසේත්ම සූදානම් නැති බවත් ය. මේ වන විට ආණ්ඩුව පාර්ශ්වයෙන් වරායේ බටහිර පර්යන්තය ආයෝජන සඳහා විවෘත කිරීමට අදාළ යෝජනාවක් වෘත්තීය සමිති වෙත ඉදිරිපත් කර ඇත. ඊට වෘත්තීය සමිතිවලින් ද යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. මේ පිළිබඳව විමසීමේදී සභාපතිවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් තමන්ට කිසිවක් පැවසිය නොහැකි බවයි. බටහිර පර්යන්තය යනු මෙතෙක් ඉදිකර නැති පර්යන්තයකි.
කොළඹ වරායේ ක්‍රියාත්මක පර්යන්ත පහක් තිබේ. ජායා පර්යන්තය (Jaya Container Terminal), සමගි පර්යන්තය (Unity Container Terminal), SAGT (South Asia Gateway Terminal) පර්යන්තය, CICT (Colombo International Container Terminal) පර්යන්තය සහ නැගෙනහිර පර්යන්තය (EAST Container Terminal – ECT) ඒවා වේ. තවමත් ඉදිකර නොමැති යෝජිත පර්යන්තය වන්නේ WCT (Western Container Terminal) හෙවත් බටහිර පර්යන්තයයි. මේ අතරින් දැනට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කොළඹ වරායට අයිති පර්යන්තක් ලෙස ක්‍රියාත්මක වන්නේ ජායා පර්යන්තය (JCT) පමණි.
මීට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ වෘත්තීය සමිති නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා අවධාරණය කර තිබුණේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන ඇති තීරණය වෙනස් කිරීමට කිසිසේත්ම සූදානම් නැති බවයි. කෙසේ වෙතත් වෘත්තීය සමිති පවසන්නේ එම තීරණය වෙනස් කරන්නේ නම්, ආණ්ඩුව එය ලිඛිතව ලබාදිය යුතු බවයි.
Previous articleඅංක 2212/53 : ජේ.ආර්.ගේ කොමිසමෙන් පසු ආ ගෝඨාගේ කොමිසම විපක්ෂයක් නැති කරයිද?
Next articleනැගෙනහිර ජැටිය වරාය අධිකාරියට : අගමැතිගේ පොරොන්දුව ගැන තීරණය කැබිනට් පත්‍රිකාව අධ්‍යයනයෙන් පසු !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here