වරාය අත්‍යවශ්‍ය සේවාවක් කරයි : නැගෙනහිර වෙනුවට අදානිට බටහිර ජැටිය දීමේ යෝජනාවක් !

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ඒ සම්බන්ධ සියලුම සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීමේ තීරණය සම්බන්ධයෙන් වන කතාබහ මේ වන විට දැඩි උණුසුම් තත්ත්වයකට පැමිණ ඇත. නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීමට විරුද්ධව වරාය සේවකයන් විසින් අකුරට වැඩකිරීමේ ක්‍රියාවලියක්ද ආරම්භ කර ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර තිබුණේ නැගෙනහිර පර්යන්තය විකුණන්නේ නැති බවයි. එසේම කොළඹ වරාය සම්බන්ධයෙන් අද (01) පෙරවරුවේ වරාය අධිකාරියට සම්බන්ධ සියලු වෘත්තීය සමිති නියෝජිතන් සහ අගමැතිවරයා අතර සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිත ය.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කරන ආකාරය සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව මේ සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත ය. මේ පර්යන්තය විදෙස් රටකට පැවරීමට විරුද්ධ බව ආණ්ඩු පක්ෂයේ පක්ෂ 10ක නියෝජිතයෝ පසුගිය 30දා ප්‍රකාශ කළහ.
නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ආණ්ඩුව ලිඛිත ප්‍රකාශයක් ලබාදෙන තුරු තම වෘත්තීය ක්‍රියාමාර්ග අත්නොහරින බව නැගෙනහිර පර්යන්තය සුරැකීමේ එකමුතුව සඳහන් කරයි. එහි සම කැඳවුම්කරු සංජය කුමාර වැලිගම මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය.
‘ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් නැගෙනහිර පර්යන්තය සියයට සියයක් මෙහෙයවිය යුතුයි කියන යෝජනාවලිය කැබිනට් අනුකාරක සභාව වෙත අපි භාරදීලා තියෙනවා. මේ අවස්ථාව වන විට නැගෙනහිර පර්යන්තය සියයට 51ක් සහ සියයට 49ක් ලෙස ආයෝජනය කිරීමක් යැයි පවසමින් රජය මුසාවක් පවසන බව පැහැදිලියි. ඒ නිසා තමයි අපි පසුගිය සිකුරාදා සිට අකුරට වැඩකිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කළේ. ආණ්ඩුව පවසන ආකාරයට නැගෙනහිර පර්යන්තයේ සියයට 51ක් සහ සියයට 49ක් ලෙස ආයෝජනය කරනවා කියන යෝජනාව අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා. මොකද අපි සොයාගත් කරුණු අනුව එහෙම දෙයක් නැහැ. මේ ආයෝජනයත්, කොටස් වෙළෙඳපොළේ ආයෝජනයත් නිසා ශ්‍රී ලංකාවට ලැබෙන්නෙ සියයට 15යි කියලා තියෙනවා. මේ ක්‍රියාවලියට අපි විරුද්ධයි.’
මේ පර්යන්තය ලබාදීමට සූදානම් වන අදානි සමාගම ගැන ඉන්දියාවෙ මෙන්ම ලංකාවෙත් ප්‍රශ්න මතුවෙලා තියෙනවා. මේ ගැන කතා කළොත්…?
නැගෙනහිර ජැටිය සම්බන්ධ කැබිනට් පත්‍රිකාවට ජාත්‍යන්තර ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව අදානි කියන නාමය ඇතුළත් වුණේ කොහොමද කියන එක ගැන විශාල ගැටළුවක් තියෙනවා. මේ තුළ දූෂණයක් සිදුවෙලා තියෙනවා කියලා අපි කියන්නෙ ඒ නිසයි. අදානි සමූහ ව්‍යාපාරය ඉන්දියාව තුළ වරායන් 11ක් මෙහෙයවනවා. ඉන්දියාවට අයිති එකම වරායත් ඔවුන්ට ලබාදෙන්න කියලා ඉන්දීය ආණ්ඩුවට යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම අදානි සමාගමට ඉන්දියාවෙ විශාල විරෝධයක් තියෙනවා. ඒ සමගම ඉන්දියාවෙ රජයේ වරාය වන ජවහර්ලාල් නේරු වරාය පාඩු ලබන තත්ත්වයට පත්කරන්න ඉන්දියාවෙ අගමැතිවරයා කටයුතු කරලා තියෙනවා. ඉන්දියාවෙ සම්පත් අදානි සමාගමට පැවරීමට එරෙහිව එරට වැසියෝ කරන අරගලය නිසා මේ වන විට ජීවිත 150ක් පමණ අහිමිවෙලා තියෙනවා. මෙහෙම තියෙද්දි ඉන්දියාවෙ කොලනියක් නැගෙනහිර පර්යන්තයේ හදන්න යනවාද කියන බරපතළ ගැටළුව අපිට තියෙනවා. රටේ ජාතික සම්පත් විනාශ කරන මෙම අදානි සමාගම අපිට ලොකු හිසරදයක් වෙයි කියලා අපි හිතනවා. එහෙම තත්ත්වයක් තියෙද්දි රටේ සම්පත්, සේවක අයිතිවාසිකම් රකින්න ආපු ගෝඨාභය මහත්තයා ඒකමද කරන්නෙ කියලා අපිට බරපතළ ගැටළුවක් තියෙනවා. මේ ප්‍රශ්නය අපි අගමැතිවරයාට යොමුකරලා තියෙනවා. එතුමාගේ මැදිහත්වීම මතයි මේ ප්‍රශ්නය තාවකාලිකව විසඳලා තිබුණෙ. අගමැතිතුමා ගැන අපිට විශ්වාසයක් තියෙනවා.’
නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකාව සතුවීමෙන් ලැබෙන වාසිය ගැන පැහැදිලි කිරීමක් කළොත්…?
ඉන්දියානු මහාද්වීපය තුළ ඇති විශාලතම සහ කාර්යක්ෂම වරාය බවට කොළඹ වරාය මේ වෙද්දි පත්වෙලා තියෙනවා. එය ජාතික ආර්ථිකයට වගේම ජාතික ආරක්ෂාවට වැදගත් වෙන තැනක්. කලාපයේ භූගෝලීය පිහිටීම තුළ වුණත් කොළඹ වරාය අති සුවිශේෂී තැනක පිහිටලා තියෙනවා. කොළඹ වරාය කියන මේ ඩොලර් උල්පත අපි ආරක්ෂා කරගත යුතුයි කියන්නෙ ඒ හේතුව නිසයි.
එස්ඒජීටී (SAGT) සමාගම ශ්‍රිලංකා වරාය අධිකාරිය සමග එකතු වෙලා ඇතිකරගත්තු ගිවිසුම 2029 දි අහෝසි වෙනවා. එමගින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට එස්ඒජීටී (SAGT) ජැටිය හිමිවෙනවා. ලෝකයේ දැනට තිබෙන කාර්යක්ෂම වරාය අතරින් සියලුම මෙහෙයුම් සිදුවන වරාය තුනක් පමණයි තියෙන්නෙ. එස්ඒජීටී (SAGT) ජැටිය වරාය අධිකාරියට හිමිවීමත් සමගම කාර්යක්ෂම ජැටියක් ලෙස මේ දෙකේම මෙහෙයුම් කරන්න අපිට පුළුවන් වෙනවා. ඒ වගේම මීටර් 18ක් ගැඹුරු පර්යන්තයක් ඉන්දියාවෙත් නෑ. ඒ අනුව එකවිට විශාල ප්‍රමාණයේ නැව් 06ක් සහ සාමාන්‍ය නැව් 04ක මෙහෙයුම් කරන්න අපිට පුළුවන්. ඒ අනුව අන්තර් බහාලුම් ප්‍රවාහනය තුළ සිදුවන අමතර වියදම් අවම කරගනිමින් අපේ කාර්යක්ෂමතාව වැඩිකරලා සමාගම්වලට ලාබදායී තත්ත්වයට ලබාදෙන්න පුළුවන් වෙනවා. ඒ අනුව නැව් සමාගම් විශාල වශයෙන් කොළඹ වරායට ඇදගැනීමට අවස්ථාව අපිට හිමිවෙනවා. නැගෙනහිර පර්යන්තය සියයට සීයක් වරාය අධිකාරිය යටතේ තිබිය යුතුයි කියලා අපි කියන්නෙ ඒකයි. මේ නිසා 2020 ඔක්තෝබර් 27 වැනිදා මෙහෙයුම් ආරම්භ කරපු නැගෙනහිර පර්යන්තයෙන් අද වන විට කෝටි 60කට වැඩි මුදලක් උපයලා තියෙනවා. මේ මෙහෙයුම්වලදි නැව් ගෙන්වාගන්නත් වෘත්තීය සමිති විදිහට අපිට ලොකු සටනක් කරන්න සිදුවුණා. මොකද මේ මෙහෙයුම් අලාබයි කියලා මේ නිලධාරීන් සෑම අවස්ථාවකදිම පෙන්නන්න හදනවා. ඒ නිසා බලහත්කාරයෙන් අපේ දැඩි බලපෑම මත නැව් නැගෙනහිර පර්යන්තයට යොමුකරලා තමයි මේ ලාභය ලබාගෙන තියෙන්නෙ. ඒ වගේම නැගෙනහිර පර්යන්තයේ දොඹකර 04ක් සහ ජංගම දොඹකර කිහිපයක් මිලදීගන්න 2020/2021 කාලය සඳහා මුදල් වෙන්කරලා තියෙනවා. මේ ඇනවුම සිදු කළා නම් මාස 12 කට අඩුකාලයකදී මේ දොඹකර වරාය අධිකාරියට ලැබෙනවා. ඒ විදිහට දොඹකර ක්‍රියාත්මත කළොත් මෙගා ප්‍රමාණයේ නැවක් සහ ප්‍රීඩම් ප්‍රමාණයේ නැවකුත් එකවිට මෙහෙයවන්න අපිට හැකියාව ලැබෙනවා. ඒ කියන්නෙ වසරකට ඩොලර් බිලියන 50ක් උපයන්න අපිට හැකියාව ලැබෙනවා. දොඹකර සියල්ල ස්ථාපිත කළ පසුව වාර්ෂිකව ඩොලර් බිලියන 100 කට වැඩි මුදලක් උපයන්න පුළුවන් එකම සහ කාර්යක්ෂම පර්යන්තය බවට නැගෙනහිර පර්යන්තය පත්කරන්න අපිට පුළුවන්.
කෙසේ වෙතත් මේ වනවිට ආණ්ඩුව පාර්ශ්වයෙන් නැගෙනහිර පර්යන්තය වෙනුවට, කොළම වරායේ බටහිර පර්යන්තය ආයෝජන සඳහා විවෘත කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ. ඒ සම්බන්ධයෙන් වෘත්තීය සමිති සමග සාකච්ඡාවක්ද පවත්වා ඇති අතර, ඊට වෘත්තීය සමිති නොනිල වශයෙන් එකඟතාවක් පළකර ඇතැයි ද වාර්තා වේ. බටහිර පර්යන්තය යනු මෙතෙක් ඉදිකර නැති පර්යන්තයකි.
කොළඹ වරායේ ක්‍රියාත්මක පර්යන්ත පහක් තිබේ. ජායා පර්යන්තය (Jaya Container Terminal), සමගි පර්යන්තය (Unity Container Terminal), SAGT (South Asia Gateway Terminal) පර්යන්තය, CICT (Colombo International Container Terminal) පර්යන්තය සහ නැගෙනහිර පර්යන්තය (EAST Container Terminal – ECT) ඒවා වේ. තවමත් ඉදිකර නොමැති යෝජිත පර්යන්තය වන්නේ WCT (Western Container Terminal) හෙවත් බටහිර පර්යන්තයයි. මේ අතරින් දැනට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කොළඹ වරායට අයිති පර්යන්තක් ලෙස ක්‍රියාත්මක වන්නේ ජායා පර්යන්තය (JCT) පමණි.
Previous articleනිර්දේශ ක්‍රියාත්මක නොවුණත් අපරාධ නඩු ගැන සැක මතුකර අවසන් : දේශපාලන පළිගැනීම් කොමිසමේ අරමුණ ඉටුවුණාද?
Next articleඅංක 2212/53 : ජේ.ආර්.ගේ කොමිසමෙන් පසු ආ ගෝඨාගේ කොමිසම විපක්ෂයක් නැති කරයිද?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here