ලංකාවේ කොවිඩ් සිරුරු ආදාහනය : එ.ජා. මානව හිමිකම් කොමිසමට ආණ්ඩුව ගැන බලාපොරොත්තුවක් !

(අකිත විජයසිංහ)
කොවිඩ්-19 වෛරසයෙන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු බලහත්කාරයෙන් ආදාහනය කිරීම නතර කරන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකා රජයට අවධාරණය කර තිබේ.
එම කොමිසමේ මානව හිමිකම් පිළිබඳ විශේෂඥයන් සිව්දෙනකු විසින් සකස් කරන ලද වාර්තාවක් මගින් මේ බව පෙන්වා දී ඇත. මෙසේ බලහත්කාරයෙන් ආදාහනය කිරීම් තවදුරටත් සිදුකිරීම මගින් රටේ සුළු ජන කොටස්වල ආගමික විශ්වාසයන්ට, සංස්කෘතීන්ට හානියක් සිදුවන බවටත්, එමගින් සමාජය තුළ අසමගිය හා නොඉවසිලිමත්භාවය ඇති වී එය ප්‍රචණ්ඩත්වයක් දක්වා වැඩිදියුණු විය හැකි බවටත් එම වාර්තාවෙන් අනතුරු අඟවා තිබේ.
කොවිඩ්-19 වෛර⁣සයෙන් මියයන අයගේ සිරුරු ආදාහනය කිරීම ⁣එකම විකල්පය ලෙස ශ්‍රී ලංකා රජය පාර්ශ්වයෙන් කරුණු ඉදිරිපත් කර තිබීම මානව හිමිකම් කඩකිරීමක් බව ද එම විද්වත් මණ්ඩලය පෙන්වා දී ඇත.
‘කොවිඩ්-19 වෛරසයෙන් මියගිය බවට තහවුරු වූ හෝ සැක කරන ලද සිරුරු සම්බන්ධයෙන් ඇති එකම විකල්පය ලෙස ආදාහනය පැනවීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමකි. මළ සිරුරු භූමදානය කිරීම නිසා කොඩිඩ්-19 වැනි රෝග පැතිරීමේ අවදානම වැඩි වන බවට ශ්‍රී ලංකාවේ හෝ වෙනත් රටවල හෝ වෛද්‍ය හෝ විද්‍යාත්මක හෝ සාක්ෂි සොයාගෙන නොමැත’ යනුවෙන් ද වාර්තාවේ සඳහන් ය.
එම වාර්තාවේ සඳහන් පරිදි 2021 ජනවාරි 21 වන දිනට ශ්‍රී ලංකාවේ කොවිඩ් ආශ්‍රිත මරණ 274ක් වාර්තා වී ඇති අතර, ඉන් බහුතරයක් මුස්ලිම් ප්‍රජාවට අයත් වේ. 2020 මාර්තු 31 වන දින නිකුත් කරන ලද කොවිඩ්-19 බවට සැක හෝ තහවුරු කරන ලද රෝගීන් පිළිබඳ තාවකාලික සායනික පිළිවෙත් මාර්ගෝපදේශවල 4 වන සංශෝධනයෙන් පසුව සියලුම සිරුරු ආදාහනය කරන ලදි.
කොවිඩ්-19  නිසා මියගිය අය භූමදානය කිරීමෙන් භූගත පානීය ජලය අපවිත්‍ර විය හැකි යැයි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥයා ඇතුළු විද්වතුන් මත පළකිරීම නිසා ශ්‍රී ලංකා රජය එම සිරුරු ආදාහනය අනිවාර්ය කළත්, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) යළි-යළිත් පවසා සිටියේ භූමදානය කිරීමෙන් වෛරසය පැතිරෙන බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි. මෑතකදී ශ්‍රී ලංකාවේ ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යාලය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ප්‍රකාශ නිකුත් කරමින් කියා සිටියේ කොවිඩ්-19 මළ සිරුරු භූමදානය කිරීම මහජන සෞඛ්‍යයට තර්ජනයක් වන බවට ද කිසිදු සාක්ෂියක් නොමැති බවයි.
මේ සිරුරු ශ්‍රී ලංකාවේ භූමදානය සඳහා විකල්ප ස්ථාන සොයාබලන ලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී ඇති බව ද එම විද්වත් වාර්තාවේ සඳහන් ය.
එහි මෙසේද දැක්වෙයි.
‘රටේ මුස්ලිම්වරුන්ට සහ අනෙකුත් සුළු ජාතීන්ට හිංසා-පීඩා කිරීම වැනි වෙනස්කම් කිරීම, ආක්‍රමණශීලී ජාතිකවාදය සහ ජනවාර්ගික කේන්ද්‍රවාදය මත පදනම් වූ එවැනි මහජන සෞඛ්‍ය තීරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අපි දැඩි ලෙස විරුද්ධ වන්නෙමු. සුළු ජාතීන්ට එරෙහිව එවැනි එදිරිවාදිකම්පෑම පවත්නා හිත්-නොහොඳකම්, අන්තර් සමාජයීය ආතතීන් සහ ආගමික නොඉවසීම් උග්‍රවීමට හේතු වෙයි.
එවැනි ප්‍රතිපත්තියක් මගින් දුප්පතුන් සහ වඩාත් අවදානමට ලක්විය හැකි පුද්ගලයන් වෙනස් කොට සැලකීම පිළිබඳ බියෙන් මහජන සෞඛ්‍ය සේවා වෙත ළඟා නොවීමේ අවදානම පිළිබඳව ද අපි සැලකිලිමත් වන්නෙමු.
කෙසේ වෙතත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත හා කොවිඩ් වැළැක්වීමේ රාජ්‍ය අමාත්‍යවරයා විසින් පත්කරන ලද විශේෂ විද්වත් මණ්ඩලයක් විසින් කොවිඩ්-19 නිසා විපතට පත්වූවන්ගේ මළ සිරුරු බැහැර කිරීම සඳහා ආදාහනය සහ භූමදානය කිරීමේ විකල්ප ඇතුළත් කරන ලෙස නිර්දේශ කර තිබියදී එය රජය විසින් නොසලකා හැර ඇත්තේ ඇයිදැයි දැනගැනීමට අපි කැමැත්තෙමු.
සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පත්කරන ලද ප්‍රධාන කමිටුව මගින් දේහ භූමදානය සඳහා භාවිත කළ හැකි විකල්ප පිළිබඳ වාර්තාව ළඟදීම නිකුත් කරනු ඇති බවටද, විදේශ රටක භූමදාන සිදුකිරීමට බලධාරීන් ගෙන ඇති තීරණ අත්හිටුවනු ඇතැයිද අපි බලාපොරොත්තු වෙමු. කොවිඩ්-19 සිරුරු බලහත්කාරයෙන් ආදාහනය කිරීම නවත්වන ලෙසත්, වසංගතයේ අතුරු ඵලයක් ලෙස මුස්ලිම්වරුන් සහ අනෙකුත් සුළු ජාතීන්ගේ වැරදි තොරතුරු, වෛරී ප්‍රකාශ සහ අපකීර්තියට ලක්කිරීම්වලට එරෙහිව සටන් කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසත් අපි ශ්‍රී ලංකා රජයෙන් තරයේ ඉල්ලා සිටිමු. වැරදීමකින් සිදුකරන ලද ආදාහන සඳහා පිළියම් සපයා සහ ඒවායේ වගකීම භාරගනු ඇතැයි බලාපොරොත්තු වෙමු.’
Previous articleජනපතිවරුන් හතර දෙනකු ඝාතන කුමන්ත්‍රණ ගැන ශානි විමර්ශනය කරලා
Next articleවතු කම්කරු වැටුප : තීරණයක් ගන්න දින 14ක් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here