වසර 22ක් ජනතාව යටකළ වැලිමඩ ගල්වලක් : මට ලිඛිතව දන්වලා නෑ – දිස්ත්‍රික් ලේකම්

වසර 22කට වැඩි කාලයක් ක්‍රියාත්මක වෙමින් පවතින වැලිමඩ, මිරහවත්ත, බෙලිපොළ ගල්වළ මේ වන විට පවුල් දහස් ගණනක් හා ගම්මාන කිහිපයක් අවදානමට පත්කර ඇත.
නාය යෑමේ අවදානම ඉදිරියේ බියෙන් පසුවන ගොවීහු සිය ජීවනෝපාය වන ගොවිතැන අත්හරිමින් සිටිති. ගල්කොරිය හේතුවෙන් මතු වූ පීඩා හා උග්‍ර ජල හිඟය ඊට හේතුවයි. උමාඔය ව්‍යාපෘතිය පෝෂණය කරන මාතැටිල්ල ඔයේ වම් ඉවුරේ කැණීම් කටයුතු සිදුකරන මෙම විශාල ගල්වළ පවත්වාගෙන යන්නේ නීතියේ ආධිපත්‍යයට අභියෝගයක් එල්ල කරමින් ය.මීට අදාළ පරිසර බලපත්‍රයේ සඳහන් වන්නේ මෙහි කැණීම් කටයුතු යන්ත්‍ර සූත්‍ර භාවිතයකින් තොරව අතින් කළ යුතු බව ය. භූ විද්‍යා හා පතල් කාර්යාංශය විසින් විධිමත් පරීක්ෂණයකින් පසුව අදාළ කොන්දේසිය මත මේ බලපත්‍රය නිකුත් කිරීමට හේතු වී ඇත්තේ ප්‍රදේශයේ පවතින අවදානම් තත්ත්වයයි.

කෙසේ වෙතත් පසුව මේ ස්ථානයට කැණීම් බලපත්‍ර 03ක් නිකුත් කිරීමට අදාළ ආයතන ක්‍රියාකර ඇත්තේ මූලික විධිමත් පරිසර නීති උල්ලංඝනය කරමිනි. කැණීම් පුළුල් වන විට ගල් කොරියේ පිපිරවීම් සඳහා එහි හිමිකරුවෝ විශාල යන්ත්‍ර සූත්‍ර භාවිත කරමින් සිටිති. මේ අවට නිවාසවලට ගල් විසිවීම, නිවාස වහල බිඳීම, බිත්ති පිපිරීම, වගා ඉඩම්වලට නිරතන්තරයෙන් ගල් විසිවීම, අයන දුමාරය සහිත වෙඩි බෙහෙත් දුගඳ ප්‍රදේශයේ පැතිරීම, දිනකට පැමිණෙන අධික වාහන සංඛ්‍යාවෙන් පිටකරන කළු දුමාරය ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය ප්‍රශ්නවලට ගැටළු ඇතිකිරීම ආදී ගැටළු රැසක් මතු වී ඇති බව ප්‍රදේශය භාර සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

ලිඛිතව දන්වන්න – ඉක්මනින් පියවර ගන්නවා

මේ සම්බන්ධයෙන් විමසීමට අදාළ ගල්වල හිමිකාර පාර්ශ්ව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද, එය ව්‍යර්ථ විය. ප්‍රදේශවාසීන් පවසන්නේ මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ සියලු රාජ්‍ය නිලධාරීන්ට පැමිණිලි කළද, මෙතෙක් විසඳුමක් නොලැබුණු බවයි. මේ නිසා අදාළ සියලු රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ වගකීම දරන බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මියගෙන් මේ පිළිබඳව අපි විමසීමක් කළෙමු.
‘මේ සම්බන්ධයෙන් මට ලිඛිතව පැමිණිලි ලැබිලා නෑ. ඒක නිසා නිලධාරීන්ට අදාළව යම් පියවරක් ගන්න අසීරුයි. පීඩාවට පත් පිරිස මට ලිඛිතව ඔය සියලු කරුණු කිව්වොත් මට ඉක්මනින් පියවරක් ගන්න පුළුවන්.’
මීට පෙර දිස්ත්‍රික් ලේකම්වරුන් ලෙස කටයුතු කළ නිලධාරීන්ට ද අදාළ කරුණු සම්බන්ධයෙන් දැනුම් දුන් බව ප්‍රදේශවාසීහු පැවසූහ.
‘ඒ වුණත් කොතැන හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවනෙ, ඒ නිසා මගේ අතට ඒවා ඇවිත් නෑ.’
දිස්ත්‍රික් ලේකම්වරිය කරන මේ ප්‍රකාශය සම්බන්ධයෙන් පැවසීමෙන් පසු ඇයට අදාළ සියලු කරුණු යළිත් ලිඛිතව ලබාදෙන බව ප්‍රදේශවාසීහු පැවසූහ.

බලධාරීන් නිහඬයි ?

මේ ගල්වලෙහි බලපෑම මාතැටිල්ල ඔය දෙපසෙහිම සිටින ජනතාවට දැඩි තර්ජන එල්ල කර තිබේ. ඒ අනුව බණ්ඩාරවෙල හා වැලිමඩ පොලිස් ස්ථාන 2ටම වසර 22ක් තිස්සේ මේ පිළිබඳව දැනුම් දුන්නද, කිසිදු ක්‍රියාමාර්ගයක් මෙතෙක් ගෙන නැති බව ද ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. ඔවුන් පවසන ආකාරයට මීට ප්‍රධාන හේතුව වන්නේ ගල්වලෙහි ප්‍රධාන හා විශාල වශයෙන් කැණීම් කටයුතු සිදුකරනු ලබන බලපත්‍රලාභියෙකු ලෙස පොලිස් ස්ථානාධිපතිවරයෙකු කටයුතු කිරීමයි. මේ ප්‍රදේශය අවට ගුරුතලාව, දෙමෝදර ආදී ප්‍රදේශවල ක්‍රියාත්මක වූ ගල් වළවල් රැසක් ප්‍රදේශවාසීන්ගේ විරෝධතා මත තහනමට ලක්වී ඇතත්, මෙම ගල්වළට එම නීති අදාළ වී නැත.

අධි සංවේදී කලාපයක්

මාතැටිල්ල ඔය ආසන්නයේ පවතින පාරිසරික අධි සංවේදී කලාපයක, කිලෝමීටර් ගණනක් දුරට දිවෙන මේ කළු ගල පිහිටා ඇත. ගල්වළට ඉහළ ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ෆයිනස් වනාන්තර පවතී. පවුල් දස-දහස් ගණනකට වගාවට හා එදිනෙදා අවශ්‍යතාවලට ජලය සපයන ප්‍රධාන ජල උල්පත් පවතින්නේ මෙහි ය. ගල්වළට ඉහළ කඳු මුදුනේ යක්කාරමැඩිල්ල නම් ජල පෝෂක ප්‍රදේශය පිහිටා ඇත. මෙයින් ආරම්භ වන ජල උල්පත් කහවැරැල්ල දෝව, ඇල්ලෙගම දිය වැහිරෙන ඇල්ල හා සම්බන්ධ ය. මේ මුදුනේ හටගත් ජල උල්පත්වලින් වැලිනවගම ගම්මානයේ ජනතාව තම වගා කටයුතු සිදු කළහ. අනෙක් පැත්තට වන්නට පිහිටි බෑවුමේ ප්‍රධාන ජල උල්පත් දෙකක් ද ගල්කොරියට යට වී විනාශ වී ඇත. බෙලිපොළ ගම්මානයේ පවුල් 25ක් පමණ ජීවත් වන අතර, එම නිවාස ගල්කොරියට ආසන්නයේම පිහිටා ඇත. මේ ගල්කොරිය නිසා එම ප්‍රදේශයට පමණක් සිමා වී තිබූ ජල උල්පත් 8ක් මුළුමනින්ම සිඳී ගොස් ඇත. මෙම ඉහළ ප්‍රදේශය නිල වශයෙන් වන වගාව සඳහා වෙන් කෙරුණකි. එහෙත් එම කොටසේ ද මේ වනවිට ගල් කැඩීම ආරම්භ කර තිබේ.
දිනකට ලොරි රථ 75කට වැඩි ප්‍රමාණයක් නිර්දේශිත බර ප්‍රමාණයට වඩා බර පටවාගෙන මේ පාරේ යයි. ගල් වළ පවතින මාතැටිල්ල ඔය ආසන්නයේ සිට එක දිගටම ඇති කඳුකර ප්‍රදේශයට අධික බර පටවා පැමිණෙන ලොරි රථ නිසා පාර දෙපස විශාල කාණු හෑරී ඇත. නිවාස ආසන්නයේ නිවාසවලට ඉහළින් ගමන්කරන බර වාහන පමණක් නොව වාහනයක් ගමන් කිරීමට නොහැකි පටු පාරක් මෙසේ ප්‍රවාහනයට යොදාගැනීමෙන් නිවාස මතට ඩෝසර් කඩා වැටීම පවා සිදු වී ඇත. මේ සෑම අවස්ථාවකම ජීවිත බේරුනද, අලාභහානි වූ නිවාසවලට කිසිදු වන්දියක් ගෙවා නැත.

නායයෑමේ අවදානම් කලාපයක්

ආපදා කළමණාකරණ දෙපාර්තමේන්තුව සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ අවදානම් කලාප ලෙස මාතැටිල්ල ඔය කන්ද ඇතුළු අදාළ අදාළ ගල් කොරියේ පිටුපස හා පැතිකඩ බෑවුම්ද ලකුණු කර තිබේ. වලපනේ මළපට්ටාව ප්‍රදේශයේ පිහිටි මෙවැනි ගල්වළක් පිළිබඳ ප්‍රදේශවාසීන් වගකිවයුත්තන්ට අවස්ථා රැසකදී දැනුම් දුන්නද කිසිවක් සිදුවූයේ නැත. අවසානයට සිදුවූයේ ජීවිත සහ දේපොළ විනාශ කරමින් මුළු ප්‍රදේශයම නායයෑම ය. සී.බී.රත්නායක ඇමැතිවරයා නිසා එහි දී කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනිණි. දැන් වනජීවී විෂය භාර කැබිනට් ඇමැතිවරයා වන්නේ සී.බී..රත්නායක ය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇත්තේ ඔහු යටතේ ය. මේ ගල්වළ වන සංරක්ෂණය ඉඩම් ද වනසමින් කැණීම් සිදු කරයි. මේ ගල්වළෙන් සිදුවන්නට නියමිත ජීවිත සහ දේපොළ විනාශය වළක්වාගැනීමේ වගකීමක් ඔහුට තිබේ.
දේශපාලන, මුදල් සහ පොලිස් බලය ඉදිරියේ මළපට්ටාවේ සිදු වූ දේ බෙලිපොළත් සිදුවීමට ඉඩදී බලා සිටිය යුතුද?

Previous articleපාස්කු ප්‍රහාරයට පෙර පොලිස් නිලධාරීන් ඝාතනය ගැන ශානි අබේසේකර සාක්ෂි දෙයි!
Next articleමාතර පොලිසියට එරෙහිව ජනපතිට පැමිණිල්ලක් : අපි එහෙම කරලා නෑ – පොලිස් ස්ථානාධිපති

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here