මාතර පොලිසියට එරෙහිව ජනපතිට පැමිණිල්ලක් : අපි එහෙම කරලා නෑ – පොලිස් ස්ථානාධිපති

මාතර පොලිස් ස්ථානයේ නිලධාරීන් රාජකාරිය පැහැරහරිමින් පක්ෂපාතී ලෙස කටයුතු කළ බව සඳහන් පැමිණිල්ලක් ජනාධිපතිවරයා, පොලිස් කොමිසම, පොලිස්පතිවරයා සහ දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමු කර තිබේ.
මාතර, රාහුල පාරේ, දකුණ අධ්‍යාපන කේන්ද්‍රය නමින් පෞද්ගලික ඉගැන්වීම් කරන ස්ථානයක් පවත්වාගෙන යන රංජිත් ප්‍රනාන්දු විසින් පසුගිය 21 දා මේ පැමිණිල්ල යොමුකර ඇත. මේ ස්ථානය තමන් බදු පදනම යටතේ භාවිත කරන බවත්, පසුගිය 18දා එම ගොඩනැගිල්ල හිමිකරු ඇතුළු පිරිසක් සාපරාධී අයුතු ඇතුළුවීමක් සිදුකොට රුපියල් 6,091,670ක අලාභයක් සිදු කළ බවත් ඔහු විසින් මාතර පොලිසියට සිදු කළ පැමිණිල්ලක සඳහන් ය. එම පැමිණිල්ල සම්බන්ධයෙන් රාජකාරිය ඉටුකිරීම අදාළ ස්ථානයේ නිලධාරීන් පැහැර හැරි බවත්, ඒකපාර්ශ්විකව අදාළ හිමිකාර පාර්ශ්වයට සහාය ලබාදෙමින් සිටින බවත් මේ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් ය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මාතර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික අමරසේන රංජිත් ප්‍රනාන්දුගෙන් එවැනි පැමිණිල්ලක් ලැබී ඇති බව තහවුරු කළේය.
MediaLK – පැමිණිල්ලට අදාළ විමර්ශන කටයුතුවල තත්ත්වය කොහොමද?
පොලිස් ස්ථානාධිපති ධම්මික අමරසේන – ඔය බිල්ඩින් එකේ අයිතිකාර අයයි, බද්දට ඉන්න අයයි අතරෙ ආරවුලක් තියෙනවා. බදු ගිවිසුමක් තිබුණට ඔතැන වෙනත් පෞද්ගලික ප්‍රශ්නයක් තියෙන බව පේනවා.
MediaLK – විමර්ශන අවසන් ද?
පොලිස් ස්ථානාධිපති ධම්මික අමරසේන – විමර්ශන අවසන්ද කියලා පොඩ්ඩක් බලන්න ඕනෙ.
MediaLK – මේ පැමිණිල්ල සම්බන්ධයෙන් ඔබේ පොලිසියේ නිලධාරීන් පක්ෂපාතීව කටයුතු කළ බවට පැමිණිල්ලක් ඉදිරිපත් වෙලා තිබෙනවා…?
පොලිස් ස්ථානාධිපති ධම්මික අමරසේන – අපිට කාටවත් පක්ෂව කටයුතු කරන්න කිසිම අවශ්‍යතාවක් නෑ. එහෙම කවුරු හරි චෝදනා කරනව නම් ඒ ගොල්ලොන්ට පුළුවන් ඉහළ නිලධාරීන්ට පැමිණිලි කරන්න. මගේ පැත්තෙන් කියන්න තියෙන්නෙ අපේ පොලිසිය පැත්තෙන් එහෙම පක්ෂපාතී මැදිහත්වීමක් නෑ.

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here