සූරියවැව මාරාන්තික උපවාසයට ආණ්ඩුවෙන් ප්‍රතිචාරයක් : කඩාකප්පල් කිරීමටත් සැලසුමක් !

හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් සූරියවැව අලි කළමනාකරණ රක්ෂිතය වහාම ගැසට් කරන ලෙසත්, රක්ෂිතයට අදාළ භූමිය බලහත්කාරයෙන් පවරාගෙන සිටින දේශපාලනඥයන්ගේ හිතවතුන් ඉවත් කරන ලෙසත් බලකරමින් සූරියවැව, වල්සපුගල වැව් කණ්ඩිය මත පවත්වන මාරාන්තික උපවාසයට සහභාගි වී සිටින ගොවීන්ට ආණ්ඩුව පාර්ශ්වයෙන් දැනුම්දීමක් කර ඇත.

දින 08ක් ඉල්ලයි

ඒ දින 08ක ඇතුළත අදාළ රක්ෂිතය ගැසට් කිරීමට අවශ්‍ය කටයුතු කරන බවටයි. හෙට (23) මහවැලි විෂය භාර කැබිනට් ඇමැති චමල් රාජපක්ෂ ද අදාළ ස්ථානයට පැමිණෙන බව ගොවීන්ට දැනුම් දී තිබේ.  කෙසේ වෙතත් සූරියවැව ඒකාබද්ධ ගොවි සංවිධානය පවසන්නේ ආණ්ඩුව පාර්ශ්වය නියෝජනය කරන ප්‍රාදේශීය සභා සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සමීපතමයන් මගින් මේ බලහත්කාරයෙන් මේ උපවාසය නතර කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක බවයි. ඊයේ (21) දිනයේද එවැනි කණ්ඩායම් දෙකක් පැමිණ උපවාසය කඩාකප්පල් කිරීමට උත්සාහ දරා තිබිණි. අද (22) දිනයේද අදාළ ස්ථානයේ සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිත ය.

ගොවීන් අසාධ්‍ය මට්ටමට

මාරාන්තික උපවාසයේ නිරත ගොවීන් 21 දෙනා අතරින්, කිහිපදෙනෙකු මේ වනවිට අසාධ්‍ය තත්ත්වයට පත්වෙමින් සිටින බවත්, ඒ අතර ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති මහින්ද සමරවික්‍රම ද සිටින බවත් අදාළ සංවිධානයේ නියෝජිතයෙක් සඳහන් කළේය.

5,500ක් දෙන්නම්

මේ සම්බන්ධයෙන් විමසීමට මහවැලි විෂය භාර කැබිනට් ඇමැති චමල් රාජපක්ෂ සම්බන්ධ කර ගැනීමට අප ගත් උත්සාහය ව්‍යර්ථ විය. කෙසේ වෙතත් විෂය භාර රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත්ගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ අදාළ රක්ෂිතය සඳහා හෙක්ටයාර් 5,500ක් ලබාදීමට අදාළ සාකච්ඡා මේ වනවිට පැවැත්වෙන බවයි. අදාළ කලාපයට හෙක්ටයාර් 8,500ක් අයත් වන බවත්, එයින් හෙක්ටයාර් 3,000ක් ආයෝජන ව්‍යාපෘති සඳහා මහවැලි අධිකාරිය සතුව තබාගෙන, ඉතිරි ප්‍රමාණය අලි කළමනාකරණ රක්ෂිතයට නිදහස් කිරීමට‌අපේක්ෂා කරන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මත්තල ගුවන්තොටුපොළ සහ හම්බන්තොට වරාය ආශ්‍රිතව කර්මාන්ත පුරයක් සහ ආයෝජන කලාපයක් පිහිටුවීම ආණ්ඩුවේ සැලසුම් බවත්, පරිසරය සුරක්ෂිත කරගනිමින් අදාළ සංවර්ධන කටයුතුද අනිවාර්යෙන්ම සිදු කළ යුතු බවත් පෙන්වා දුන් ඇමැතිවරයා, මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් කඩිනමින් ගන්නා බව ද අප කළ විමසීමේදී පැවසීය.

අලි 466කට ඒ ඇද්ද?

ඇමැතිවරයා පවසන කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වමින් සූරියවැව ඒකාබද්ධ ගොවි සංවිධානයේ නියෝජිතයන් පෙන්වා දෙන්නේ හෙක්ටයාර් 25,000ක් මේ අලි කළමනාකරණ රක්ෂිතයට අවශ්‍ය වන බවට වසර 12 ක් තිස්සේ තහවුරු කර තිබියදී, හෙක්ටයාර් 5,500ක් ඒ සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අදාළ කලාපය භාර ප්‍රධානියකුගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ මේ කලාපය තුළ අලින් 466 දෙනෙකු සිටින බවට වාර්තා තම දෙපාර්තමේන්තුව සතු බවයි. එම නිසා හෙක්ටයාර් 5,500ක් අදාළ රක්ෂිතයට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ද ඔහු පෙන්වා දුන්නේය.

හිතවතුන්ට හොරෙන් ඉඩම්

සූරියවැව ඒකාබද්ධ ගොවි සංවිධානය පෙන්වා දෙන්නේ මේ වනවිටත් අදාළ රක්ෂිතයට යෝජිත භූමියෙන් අක්කර 100, 150 සහ 250 වැනි භුමි කොටස් දේශපාලනඥයන්ගේ හිතවතුන් විසින් වෙන්කරගෙන සිටින බවයි. අන්දරවැව, උස්ගල ප්‍රදේශයේ මේ ආකාරයට ඉහළ පොලිස් නිලධාරියෙකු, පළාත් සභා ඇමැතිවරයෙකු ඇතුළු පිරිසක් ද ඉඩම් වෙන්කරගෙන ඇතැයි පෙන්වා දෙන එම ගොවි සංවිධානය, මහවැලි අධිකාරිය හරහා මේ ඉඩම්වලට කඩිනමින් ඔප්පු ලබාගැනීමට ඔවුන් උත්සාහ දරමින් සිටින බව ද අවධාරණය කරයි. මේ සම්බන්ධයෙන් විමසීමේදී මහවැලි විෂය භාර රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් පැවසුවේ මෙතෙක් අදාළ කලාපයෙන් කිසිවකුට ඉඩම් ලබාදීමක් සිදු කර නැති බවයි. ඇමැතිවරයා එසේ පැවසුවද, ගොවි සංවිධාන නියෝජිතයන් පෙන්වා දෙන්නේ මේ වනවිටත් අදාළ ඉඩම් කොටස්වල විවිධ වාණිජ වගා ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කටයුතු සිදුවෙමින් පවතින බවයි.

නාමල්ගේ පොරොන්දුව

2008 වසරේ සිට මේ රක්ෂිතය ගැසට් කරන බවට පොරොන්දු වී ඇතත්, මෙතෙක් එය සිදුකර නැත. මේ අතර 2020 ජුනි මාසයේ පැවැති හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදී නාමල් රාජපක්ෂ ඇමැතිවරයා ද පොරොන්දු වී ඇත්තේ මේ භූමිය ගැසට් කිරීම කඩිනමින් සිදු කරන බවට ය. මාස තුනක් තුළ ඊට අදාළ කටයුතු සිදු කරන බවත්, අනවසර වගා ඉවත් කර, අලිමංකඩ නිදහස් කිරීමට පියවර ගන්නා බවත් ඇමැතිවරයා මෙහිදී ගොවීන්ට පොරොන්දු වී තිබේ. ඉන්පසු මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා ඇතත්, නාමල් රාජපක්ෂ ඇමැතිවරයාගෙන් ගොවීන්ට ඒ සඳහා මෙතෙක් අවස්ථාවක් ලැබී නැත.

එදා දැඩි තීරණයක සිටි චමල්

කෙසේ වෙතත් සූරියවැව ඒකාබද්ධ ගොවි සංවිධානයේ නියෝජිතයන් සමග පැවැති සාකච්ඡාවකදී චමල් රාජපක්ෂ ඇමැතිවරයා මීට පෙර අවධාරණය කර තිබුණේ මේ භූමිය රක්ෂිතය සඳහා නිදහස් කළ නොහැකි බවයි. මහවැලි විෂය භාර කැබිනට් ඇමැතිවරයා වන චමල් රාජපක්ෂ මෙහිදී පෙන්වා දී ඇත්තේ අදාළ භුමිය වගා කටයුතු සහ ආයෝජන කටයුතු සඳහා භාවිත කිරීම වඩා වැදගත් වන බව ය. රක්ෂිතය ලෙස ගැසට් කිරීමට යෝජිත මේ භූමියෙන් විශාල ප්‍රදේශයක් අයත්වන්නේ මහවැලි ව්‍යාපාරයට අයත් වලව කලාපයටයි.
මේ ප්‍රදේශයේ අන්දරවැව, උස්ගල, මත්තල ඇතුළු ප්‍රදේශ රැසක අලි-මිනිස් ගැටුමට විසඳුමක් ලෙස මෙම අලි කළමනාකරණ රක්ෂිතය පිහිටුවීමට තීරණය කෙරිණි. හෙක්ටයාර් 25,000ක භූමි ප්‍රදේශයක් මේ රක්ෂිතයට අයත් වන අතර, එම ඉඩම් මහා පරිමාණ වාණිජ වගා සඳහා යොදාගැනීමට උත්සාහ දරමින් සිටින බව පසුගිය 18දා මේ ස්ථානයේ සත්‍යග්‍රහය ආරම්භ කළ අවස්ථාවේ අප සමග අදහස් දක්වමින් සූරියවැව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති මහින්ද සමරවික්‍රම අවධාරණය කළේය.

ඉල්ලීම් සාධාරණද?

අලි-මිනිස් ගැටුම වැළැක්වීමට අත්‍යවශ්‍ය වන යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය කඩිනමින් ගැසට් කිරීම, එම රක්ෂිත කලාපයට අලින් මුදාහැරීම, කලාපය අවට විදුලි වැට සක්‍රීය කිරීම, කලාපයට මෙපිටින් ඇති තෘණ භූමිය ගවයන්ට තණ කැවීම සඳහා ලබාදීම, වලව වම් ඉවුරේ ජල කළමනාකරණය විධිමත් කිරීම සහ මේ කලාපයේ සිදුවන මහා පරිමාණ ඉඩම් මංකොල්ලයට එරෙහිව නීතිමය පියවර ගැනීම යන ඉල්ලීම් ඉටුකර ගැනීම වෙනුවෙන් මේ මාරාන්තික උපවාසය ක්‍රියාත්මක ය.
Previous articleවරාය සටනේ නායකයන් පස්සේ පන්නයි : මම වැරදි නම් ගෙදර යවන්න – සභාපති
Next articleමාරාන්තික උපවාසයට සහය දක්වමින් සූරියවැවේ උද්ඝෝෂණයක් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here