වරාය සටනේ නායකයන් පස්සේ පන්නයි : මම වැරදි නම් ගෙදර යවන්න – සභාපති

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකිණීමේ උත්සාහයට එරෙහිව අරගල කරන වෘත්තීය සමිති නායකයන්ට එරෙහිව කටයුතු කිරීමට වරාය අධිකාරියේ පාලනාධිකාරිය කටයුතු කරමින් සිටී.
මේ වනවිටත් එහි වෘත්තීය සමිති නායකයෙකු ස්ථාන මාරු කර ඇති අතර, තවත් වෘත්තීය සමිති නායකයන් දෙදෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට පියවර ගෙන තිබේ. අදාළ විරෝධතා සඳහා සහාය දක්වන ක්‍රියාශීලී වරාය සේවකයන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව කටයුතු කිරීමට ද පාලනාධිකාරිය සැලසුම් කර ඇත. කෙසේ වෙතත් වරාය අධිකාරියේ වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ මෙය නිරන්තරයෙන් වරාය තුළ මතුවූ තත්ත්වයක් බවත්, එවැනි බලපෑම්වලට යටත්වීමට මෙවර එක්ව සිටින වෘත්තීය සමිති 23ම කිසිසේත්ම සූදානම් නැති බවත් ය.

ස්ථාන මාරු – විනය පරීක්ෂණ

සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ පසුගිය 18දා සිට මෙසේ ස්ථාන මාරු කර තිබේ. ඔහු දිගටම සේවය කළ බණ්ඩාරනායක තටාක අංශයේ සිට නියමු පාලම අංශයට මෙසේ ස්ථාන මාරු කර ඇති අතර, අදාළ ස්ථාන මාරුවට කිසිදු හේතුවක් දක්වා නැත. එසේම වාණිජ, කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ වරාය ප්‍රධාන ලේකම් ශ්‍යාමල් සුමනරත්න විසින් මාධ්‍යයට කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත. වරාය විකිණීමට එරෙහි සටනේදී වෘත්තීය සමිති 23ම එකඟ වූ ආකාරයට එකට සිටිය යුතු බවට කරන ලද ප්‍රකාශයක් මෙසේ විමර්ශන පැවැත්වීමට හේතු වී තිබේ.
මීට අමතරව වරාය අධිකාරියේ ඉංජිනේරු සංගමයේ සභාපති ආර්.පී.පී.ක්‍රිශාන්ත විසින් මාධ්‍යයකට කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් යැයි කියමින් ඔහුට එරෙහිව ද විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. වෘත්තීය සමිති නායකයන්ට මාධ්‍යයට ප්‍රකාශ ලබාදීම අවහිර කිරීමේ හැකියාවක් පාලනාධිකාරියට නැති අතර, රහසිගත හෝ අධිකාරියට හානියක් වන කරුණු පමණක් එසේ ප්‍රකාශ කර ඇත්නම් ඔවුන්ට එරෙහිව පියවර ගත හැකි බව ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. එහෙත් අදාළ වෘත්තීය සමිති නායකයන් දෙදෙනාම එවැනි ප්‍රකාශ කර නැති බවත්, ඔවුන් වරායට හානිදායක කිසිවක් ප්‍රකාශ කර නැතැයි එල්ල කර ඇති චෝදනාවලින් පැහැදිලි වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මම වැරදි නම් ගෙදර යවන්න

වරාය අධිකාරියේ වෘත්තීය සමිති නායකයන්ට එරෙහිව පියවර ගෙන ඇත්තේ ඔවුන්ගේ වැරදි නිසා බවත්, ඔවුන් නිවැරදි නම් ඒ බව ඔප්පු කර, තමන් වැරදි නම් තමන්ව ගෙදර යැවිය හැකි බවත් මේ සම්බන්ධයෙන් කළ වමිසීමකදී වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් දයා රත්නායක පැවසීය.
වෘත්තීය සමිති නායකයන්ට අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට බලයක් නැති බවත්, ඔවුන් මාධ්‍යයට අදහස් පළකිරීමේදී මෙන්ම වෘත්තීය සටන් සිදුකිරීමේදී ආයතනයේ නීතිරීතිවලට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් සඳහන් කළ සභාපතිවරයා, අදාළ පිරිසට පමණක් නොව අධිකාරියේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් 04දෙනෙකුට එරෙහිව ද පරීක්ෂණ පැවැත්වෙන බව පැවසීය. වෘත්තීය සමිති නායකයක් තමන්ට අවශ්‍ය පරිදි කටයුතු කරමින් සිටි බවත්, ඒ තත්ත්වය වෙනස් කිරීමට තමන් කටයුතු කරන බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Previous articleකැබිනට් මණ්ඩලය පාලනය කිරීමේ බලයක් පාර්ලිමේන්තුවෙන් ලැබෙයිද?
Next articleසූරියවැව මාරාන්තික උපවාසයට ආණ්ඩුවෙන් ප්‍රතිචාරයක් : කඩාකප්පල් කිරීමටත් සැලසුමක් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here