කැබිනට් මණ්ඩලය පාලනය කිරීමේ බලයක් පාර්ලිමේන්තුවෙන් ලැබෙයිද?

ගැටලු සහගත කාරණා සම්බන්ධයෙන් වන අමාත්‍ය මණ්ඩල තීරණ පිළිබඳ තම මතය ඉදිරිපත් කිරීමට රාජ්‍ය නිලධාරීන්ට පවතින හැකියාව පිළිබඳව ප්‍රතිපත්ති තීරණයකට එළඹිය යුතු බවට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව නිර්දේශයක් ඉදිරිපත් කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා පෞද්ගලික ගොඩනැගිල්ලක් කුලියට ගැනීම පිළිබඳ විශේෂ විගණන වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී ඊයේ (20) සැලකිල්ලට ගත් අවස්ථාවේ, කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා මෙම නිර්දේශය දැනුම් දී ඇත.

මිලියන 1,524ක අමාත්‍ය මණ්ඩල තීරණය

රජයේ ප්‍රසම්පාදන සංග්‍රහයට පටහැනිව හා විනිවිදභාවයකින් තොරව රජයේ තක්සේරුකරුගේ තක්සේරුව ඉක්මවායමින් රජයේ අරමුදලින් රුපියල් මිලියන 1,524ක් වැයකර, කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා පෞද්ගලික ගොඩනැගිල්ලක් කුලී පදනම මත ලබාගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ද මෙහිදී කාරක සභාව සාකච්ඡා කර ඇත.
කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා පෞද්ගලික ගොඩනැගිල්ලක් කුලී පදනම මත ලබාගැනීමට කටයුතු කිරීම පසුගිය රජය සමයේ අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයකට අනුව සිදුව ඇති බවද, මෙවැනි සිදුවීම් නැවත ඇතිනොවීම සඳහා නිසි ක්‍රමවේදයක් සැකසීමේ අවශ්‍යතාව පිළිබඳව ද කාරක සභාව වැඩිදුරටත් සාකච්ඡා කර තිබේ. ඒ වෙනුවෙන් නව නීති-රීති සහ ප්‍රතිපත්ති සැකසීමේ අවශ්‍යතාවද කාරක සභාවේ අවධානයට යොමු වී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම

අමාත්‍ය මණ්ඩල තීරණ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු ලේකම් බදුරලිය විජේතුංග මහතාගෙන් කළ විමසීමේදී ඔහු මෙසේ සඳහන් කළේය.
‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අටවැනි පරිච්ජේදයේ විධායකය කියන කොටසේ අමාත්‍ය මණ්ඩලය ගැන සඳහන්ව තියෙනවා. ජනරජයේ ආණ්ඩුවේ පාලනය මෙහෙයවීම සහ ඒ පාලනය පිළිබඳ විධානය භාරවී තියෙන්නෙ අමාත්‍ය මණ්ඩලයට. අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුට වගකියන බවත්, ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා බවත් එහි සඳහන් වෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52(1) සහ 52(2) රජයේ නිලධාරීන්ට වැදගත් වෙනවා. ලේකම්වරුන් පත්කිරීම, අමාත්‍යවරයාගේ පාලනයට හා විධානයට යටත්ව මෙහෙයවිය යුතු බව එහි සඳහන් කරලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04 වැනි උපලේඛනයට අනුව මම ලේකම්වරයෙන් විදිහට දිව්රුමක් දුන්නා.
කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ධුරයේ කාර්යයන් හා කර්තව්‍ය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට අනුකූලව අවංකව ඉටුකරන බවටත්, ශ්‍රී ලංකා ජනරජයට පක්ෂපාත වන බවටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරමින් අනුගමනය කරන බවටත් එහිදී මම ප්‍රතිඥා දුන්නා.
කෘෂිකර්ම අමාත්‍යංශය පෞද්ගලික ගොඩනැගිල්ලකට ගෙනයන්න අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගත්තා. එම අමාත්‍ය මණ්ඩල තීරණය අනුව කෘෂිකර්ම ලේකම්වරයා ක්‍රියාකළ යුතුයි කියලා එම තීරණය යොමුකර තියෙනවා. මම දුන්නු ප්‍රතිඥාවට අනුව අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කරන්න මම බැඳිලා ඉන්නවා. ඒ අනුව මම කටයුතු කරලා තියෙනවා. මේ කටයුතු කිරීම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙදි විමර්ශනය කළා. මහින්ද අමරවීර මහත්තයා කෘෂිකර්ම ඇමතිවරයා ලෙස පත්වූ විට එතුමා නීතිඥ කමිටුවක් දාලා මේ ගැන හොයලා බැලුවා. එතැනදිත් නීති උල්ලංඝනය වන විදිහට හෝ බලයක් නැතුව අපි කටයුතු කරලා තියෙනවා කියලා කොහෙදිවත් තීරණය වුණේ නැහැ. ජනාධිපති කොමිෂන් සභාවේ ප්‍රශ්න කිරීමේදිත් මම කිව්වෙ ඒ ටිකම තමයි.’

ඉතිහාස කතාව

මේ තීරණය ගැනීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් ද හිටපු අමාත්‍යංශ ලේකම්වරයා කරුණු පැහැදිලි කළේය.
‘කෘෂිකර්ම අමාත්‍යංශ‍ය ගොවිජන මන්දිරයෙන් ඉවත්වෙලා වෙනත් ගොඩනැගිල්ලකට යෑමට මුල්ම හේතුව වුණේ 2015 සැප්තැම්බර් 21 දින දරන එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මුල්ම අමාත්‍ය මණ්ඩල සංදේශයයි. පාර්ලිමේන්තු කාරක සභා ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම හා අතිරේක ඉඩකඩ අවශ්‍යතාව යනුවෙන් එය ඉදිරිපත් කර තිබුණා. එය අනුමත වූ පසුව කෘෂිකර්ම අමාත්‍යංශ ගොඩනැගිල්ල පාර්ලිමේන්තුවට පවරාගැනීම හා එහි ඇති අමාත්‍යාංශ බත්තරමුල්ලේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ ගොඩනැගිල්ලට ගෙනයෑමට යෝජනා වුණා.
මේ අනුව පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා ක්‍රමය ඇති කිරීම කියන කාරණය අනුවයි, ගොවිජන මන්දිරයෙන් ඉවත් වෙලා මේ කියන ගොඩනැගිල්ලට යන්න වුණේ. පාර්ලිමේන්තු කාරක සභා ක්‍රමය කියන ප්‍රතිපත්තිය රටේ ක්‍රියාත්මක කළ යුතුයි කියලා කැබිනට් මණ්ඩලයෙ අනුමත වෙලා තියෙනවා. ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යංශ බිල්ඩිම ගත යුතුයි කියන තීරණය අරන් තියෙනවා.
අමාත්‍ය මණ්ඩලය තියෙන්නෙ ප්‍රතිපත්ති තීරණ සම්පාදකයා ලෙස කටයුතු කරන්නයි. ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී විධායකයේ කොටසක් විදිහට රාජ්‍ය සේවයේ අපිටත් ඒ අනුව කටයුතු කරන්න සිදුවෙලා තියෙනවා . ඒ අනුව තමයි අපි කටයුතු කරලා තියෙන්නෙ. මේ නිසා අමාත්‍ය මණ්ඩල තීරණවලට අභියෝග කරන්න හැකියාව තියෙනවා කියලා මම විශ්වාස කරන්නෙ නැහැ.’

තීරණයක නීත්‍යනුකුලබව

කෙසේ වෙතත් එසේ ක්‍රියාත්මක කරනු ලබන තීරණය නීත්‍යනුකූලද, නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය ගැනීම පිළිබඳව ද අපි හිටපු ලේකම්වරයාගේ අවධානය යොමු කළෙමු.
‘යම්කිසි තීරණයක නීත්‍යනුකූලභාවය පිළිබඳව මතයක් ලබාගැනීමට හැකිවන්නේ නීතිපති දෙපාර්තමේන්තුව මගින්. එහෙම නැත්නම් පුරවැසියන්ට පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයේ  නඩු පවරන්න. එවිට ශ්‍රේෂ්ඨාධිකරණය මේ පිළිබඳව මතයක් ප්‍රකාශ කරනවා. මගේ දැනුමට අනුව මේ ආකාර දෙක පමණයි තියෙන්නෙ. ඒ වගේම අමාත්‍ය මණ්ඩල තීරණයක් පිළිබඳව පරීක්ෂණයක් කරලා, ඒ ගැන මතයක් කියන්න විගණකාධිපතිට බලයක් තියෙනවද කියලා මම දන්නෙ නැහැ.
මහජනතාවගෙ ප්‍රශ්න – ගැටලු විසඳීමේදී මහජනයාගේ පැත්තෙන් බලන්න කියලා ජනාධිපතිතුමා කියනවා. ඒ වගේම ජනාධිපතිතුමාගේ කටවචනය චක්‍රලේඛ ලෙස සලකන්න කියනවා. ජනාධිපතිතුමා එහෙම කියන්නෙ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා විදිහට. අමාත්‍ය මණ්ඩලය වගේම රාජ්‍ය සේවයත් විධායකයේ කොටසක්.’

කෝප් කමිටුවේ මතය

රාජ්‍ය පොදු ව්‍යාපාර පිළිබඳ කාරකසභාවෙන්ද මේ පිළිබඳ විමසා සිටි බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
‘මම ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව අනුව කටයුතු කරලා තියෙනවා. කෘෂිකර්ම අමාත්‍යංශය මේ ගොඩනැගිල්ලට ගෙනයෑමට අදාළ බදු ගිවිසුම අත්සන් කරන්න කලින් දවසෙ කෝප් කමිටු රුස්වීමක් තිබුණා. එතැනදි මම මේ සම්බන්ධයෙන් කෝප් කමිටුවෙ මතය විමසා සිටියා. ඒ වගේම මේ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය ලෙස කැබිනට් මණ්ඩලයට යෝජනා කළේ මේක මිලදීගන්න. කුලී පදනමට යන්න අපි බලාපොරොත්තු වුණේ නැහැ. අපේ යෝජනාව අපි කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නට පසුව මේ ගොඩනැගිල්ල කුලී පදනමින් මිලදීගන්න කියන යෝජනාව අගමැතිතුමාගෙන් ආවා. අපේ තීරණය නැතුව වෙනත් තීරණයක් ක්‍රියාත්මක කරන්න කියලා කැබිනට් මණ්ඩලය කියලා තියෙනවා නම්, ඒක ක්‍රියාත්මක කරන්න අපි බැඳිලා ඉන්නවා. ඒ වගේම බිත්ති විතරක් තිබුණු ගොඩනැගිල්ලක් අපිට ලැබුණෙ. ඒක කාර්යාලයක් කරගන්න අවුරුදු දෙකක් ගියා. ඒ කාලය තුළත් බදු ගෙවන්න සිද්ධ වුණා.

බයවෙන්න එපා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරමින් කටයුතු කරපු නිලධාරියෙකුට දඬුවම් කරන්න බැහැ කියන මතයෙ මම තදින්ම හිටියා. කවුරු අභියෝග කළත් නිවැරදි දේ කරන්න බයවෙන්න එපා කියලා තමයි රජ්‍ය සේවකයන්ට මම කියන්නෙ. නීතියේ රාමුව තුළ අපි කටයුතු කරලා තියෙනවා නම්, කවුරු විවේචනය කළත් කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න අපිට පුළුවන්.’

කැබිනට් මණ්ඩලයේ හදිසි තීරණ

සියලු පාර්ශ්ව සමග සාකච්ඡා නොකර හදිසි තීරණ අනුව කැබිනට් තීරණ නොගත යුතු යැයි රජයේ ගිණුම් කාරක සභාවේදී සාකච්ඡා කළ බව මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී රජයේ ගිණුම් කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා සඳහන් කළේය
‘රජයේ රෙගුලාසි අනුව යම් පිළිවෙලකට වැඩ කරන්න තියෙනවා. නිලධාරීන්ට කටයුතු සිදු කරන්න වෙන්නෙ ඒ අනුවයි. එසේ ක්‍රියා කරලා යම් තීන්දුවලට පැමිණ තියෙනවා නම්, කැබිනට් මණ්ඩලය එය වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා නම් හදිසියේ එය නොකළ යුතුයි. මොකද වැරදි මත අනුව වැරදි තීන්දු පවා ගන්න ඉඩ තියෙනවා. එවැනි සිදුවීම් අපේ රටේ සිදුවෙලා තියෙනවා. මේ නිසා නිලධාරීන් අවංකව කටයුතු කරලා යම්-යම් පියවර අරගෙන තියෙනවා නම්, ඒවා නතර කරන්න හෝ වෙනස් කරන්න කැබිනට් මණ්ඩලය තීරණය කරන්න කලින් ඒ නිලධාරීන් සමග කතා කළ යුතුයි. මොකද අදාළ පාර්ශ්ව මේ දේවල් කලින් සැලසුම් කරලනෙ තියෙන්නෙ. රටක්, ආණ්ඩුවක් පිළිවෙලකට ගෙනයන්න නම් සැලැස්මක් අනුව කටයුතු කළ යුතුයි. එහෙම කරලා තීන්දු අරගෙන තියෙනකොට එක්වරම මේ තීන්දු වෙනස් කරනවාට වඩා අදාළ නිලධාරීන්ගේ මතය ලබාගත යුතු බවට අපි තීරණයකට එළැඹුණා. එසේ අදහස් අරගෙන ඒවා ගැන සලකා බැලීමෙන් පසුව තමයි, වෙනස් කිරීමක් කරනවා නම් කරන්න වෙන්නෙ. හදිසි තීරණ මත මේ විදිහට වෙනස් කළොත් සැලැස්මක් අනුව රටක් දියුණු කරන්න බැරිවෙනවා.’

ඉහළ වුවමනාවක්

කෘෂිකර්ම අමාත්‍යංශය පිහිටි ස්ථානය වෙනස් කිරීමේ අවශ්‍යතාවක් අමාත්‍යංශයට තිබී නැති බව මේ පිළිබඳව සිදු කළ විමර්ශනයේදී හෙළි වූයේ යැයි ද සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
‘මෙවර අපි සාකච්ඡා කළේ කෘෂිකර්ම අමාත්‍යංශය ගොවිජන මන්දිරයේ සිට වෙනත් ගොඩනැගිල්ලකට ගෙනයෑම සම්බන්ධවයි. කෘෂිකර්ම අමාත්‍යංශය අවුරුදු 20ක් විතර හිටපු තැන අත්හැරලා යන්න ඔවුන්ට කිසිම අවශ්‍යතාවක් තිබිලා නැහැ. මේ ගැන අපි සාකච්ඡා කරන විට එය පැහැදිලි වුණා. නමුත් ඔවුන් වෙනත් තැනකට යා යුතුයි කියලා ඉහළින් තීන්දුවක් අරගෙන නියම කරලා තිබුණා. ඒ තීරණය අරගෙන තිබුණෙ කෘෂිකර්ම අමාත්‍යවරයා සමග සාකච්ඡා කරන්නෙත් නැතුව. ප්‍රශ්නය මතුවෙලා තියෙන්නෙ ඒ නිසා.
මේ නිසා හදිසි තීරණවලට එන්න සිදුවුණා, ඒ තීන්දු ගන්න විට විවිධ වැරදි දේවල් සිදුවෙලා තියෙනවා. කෘෂිකර්මය කියන්නෙ අපේ රටේ ප්‍රධාන අමාත්‍යංශයක්. ඔවුන් අවුරුදු 20කට වැඩියෙන් හිටපු ගොඩනැගිල්ල එක්වරම අත්හැරලා යන්න කියලා කැබිනට් තීන්දුවක් උඩ නියම කරන්න පුළුවන්ද? කෘෂිකර්ම අමාත්‍යංශය එතැනින් ඉවත් කළ විට මතුවෙන තත්ත්වයට මුහුණදෙන්නෙ කොහොමද කියලවත් බලන්නෙ නැතුව මෙහෙම තීරණ ගන්න එක හරිද?

ගිණුම් කාරක සභාවේ බලය

මෙවැනි කරුණක් සම්බන්ධයෙන් මැදිහත්වීමට රාජ්‍ය ගිණුම් කාරකසභාවට ප්‍රමාණවත් බලතල තිබේද යනුවෙන් අප කළ විමසීමේදී එහි සභාපතිවරයා මෙසේ අදහස් පළ කළේය.
‘මෙවැනි ප්‍රශ්නයක් සම්බන්ධයෙන් මැදිහත්වෙන්න රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට ප්‍රමාණවත් බලයක් තියෙනවද කියලා මම හරියට දන්නෙ නැහැ. මේ සම්බන්ධයෙන් යම් නීති-රීති පැනවිය යුතුයි කියලා අපි පාර්ලිමේන්තුවට යෝජනා කරන්න තීරණය කළා. මේ ගැන පාර්ලිමේන්තුවෙ සාකච්ඡා කරලා අපි යම් තීන්දුවකට පැමිණිය යුතුයි.’

ප්‍රසම්පාදන කොමිසමත් අහෝසියි

අමාත්‍ය මණ්ඩලය ප්‍රමුඛ ආණ්ඩු විසින් ගන්නා තීන්දු-තීරණවල විධිමත් සහ විනිවිදභාවයක් නොමැති වීම නිසා ජනතා මුදල් විශාල වශයෙන් අවභාවිත වන බවට කාලයක් තිස්සේ සමාජයේ සංවාදයක් පවතී. එම නිසා රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස එම අවභාවිත වීම් වැළැක්වීමට යම් පියවරක් ගතහැකි වුවහොත් එය සාධනීය තත්ත්වයකි. එහෙත් එවැනි තත්ත්වයක් වෙනුවෙන් ක්‍රියාත්මකව පැවැති ජාතික ප්‍රසම්පාදන කොමිසමේ ක්‍රියාකාරිත්වය පවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය මගින් නතර කෙරුණු තත්ත්වයක් තුළ, මේ සම්බන්ධයෙන් මීට වඩා සමාජ කතිකාවක් ඇති විය යුතුය. අදාළ කොමිසමේ ක්‍රියාකාරිත්වය අතිහිටුවන විට ඔවුහු ජාතික ප්‍රසම්පාදන ප්‍රතිපත්තියක් හෙවත් රාජ්‍ය ආයතනවල සියලු භාණ්ඩ හා සේවා මිලදීගැනීම් සම්බන්ධ විධිමත් සහ විනිවිදභාවයෙන් යුක්ත ක්‍රියාවලියක් සකස් කොට, එය අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානම් කර තිබිණි.
Previous articleඅනුර, චමල් සහ මහින්ද යාපා : අධිකරණය සහ පාර්ලිමේන්තුව එකක් ද?
Next articleවරාය සටනේ නායකයන් පස්සේ පන්නයි : මම වැරදි නම් ගෙදර යවන්න – සභාපති

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here