අනුර, චමල් සහ මහින්ද යාපා : අධිකරණය සහ පාර්ලිමේන්තුව එකක් ද?

බරපතළ වැඩ සහිත වසර 04ක සිර දඬුවම් ලැබූ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට යළිත් පාර්ලිමේන්තු පැමිණීමට ඇති හැකියාව සම්බන්ධයෙන් විවාදාත්මක තත්ත්වයක් මතුව ඇති අතර, මේ සම්බන්ධයෙන් කඩිනමින්  තීන්දුවක් ලබාදිය නොහැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට දැන්වීය.
එමෙන්ම සිර දඬුවම් ලැබීමත් සමග රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධුරය අහිමි වේය යන්න නීතිපතිවරයාගේ මතය වන බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් නිශාරා ජයරත්න පැවසීය.
කෙසේ වෙතත් තීන්දුවක් ගැනීමට තමන්ට සති 03ක කාලයක් අවශ්‍ය බව කතානායකවරයා ඊයේ (19) පාර්ලිමේන්තුවට දැනුම් දුන් අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී යොමු කළ රීති ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් කතානායකවරයා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු අසුන හිස්වෙන්නෙ නැහැ

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු අසුන කිසිදු අවස්ථාවක හිස් නොවන බවයි.
‘ගිය සතියෙ අපිට දැනගන්න ලැබුණා, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අධිකරණයට අපහාස කිරීම පිළිබඳ සිර දඬුවමක් රංජන් රාමනායක මන්ත්‍රීවරයාට ලබා දී ඇති කාරණාව. ඒ තීන්දුවත් සමගම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැහැදිලි ප්‍රකාශයක් කළා රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු අසුන මාස හයක කාලයකට පසුව හිස්වන බව. ඔහුගේ ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ මාස හයක් යනතෙක් රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු අසුන ඒ ආකාරයෙන්ම පැවතෙනවා කියන කාරණය. අපි මේ කාරණාව සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගෙන තියෙනවා. විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු අසුන කිසිම අවස්ථාවක හිස් නොවන බව අපි පැහැදිලිව ප්‍රකාශ කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 වැනි ව්‍යවස්ථාව, 89 වැනි ව්‍යවස්ථාව, 91 වැනි ව්‍යවස්ථාව, 105 වැනි ව්‍යවස්ථාව යන ව්‍යවස්ථා කොටස් 04 දිහා බලනකොට බොහොම පැහැදිලිව කියන්න ඕනෙ, මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු අසුන අහිමි වෙන්නෙ නෑ. මාස හයකට පසුව ඔහුගේ අසුන හිස්වෙනවා කියලා මැතිවරණ කොමිසම කිව්වත් අපි බොහොම පැහැදිලිව කියන්න කැමතියි එසේ ක්‍රියාත්මක වුවහොත් ඊට විරුද්ධව සියලුම නෛතික ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග ගැනීමට අපි සූදානම් කියලා. මැතිවරණ කොමිසමේ ස්ථාවරය එසේ තිබියදීත් මම ඔබෙන් අහන්න කැමතියි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සුරකින පුද්ගලයෙක් හැටියට ඇයි අද දවසේ රංජන් රාමනායක මහතාව කැඳවූයේ නැත්තේ කියන කාරණාව.’

අධ්‍යයනය  කරලා තීන්දුවක් කියන්න

අදාළ කරුණ සම්බන්ධයෙන් විධිමත්ව අධ්‍යයනය කොට තීන්දුවක් ගන්නා ලෙස මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසීය.
‘රංජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය පිළිබඳ ප්‍රශ්නයේදී මීට පෙර අධිකරණයට අපහාස කිරීමේ වරදට එස්.බී.දිසානායක මන්ත්‍රීවරයා සිරගත කළා අවුරුදු දෙකකට. ඒ වෙලාවෙදි ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වුණේ නෑ. ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වුණේ පක්ෂ නායක රැස්වීමෙදි එක වෙලාවක ප්‍රශ්නයක් පැන නගිනවා එස්.බී දිසානායක අමාත්‍යවරයා මාස තුනක් පාර්ලිමේන්තුවට නොපැමිණීම පිළිබඳව. ඉන්පසු පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දෙනවා. එස්.බී දිසානායක අමාත්‍යවරයා නොකඩවා මාස තුනක් පාර්ලිමේන්තුවට නොපැමිණීම හේතුකොටගෙන ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වූ බව. ඒ වෙලාවෙ මන්ත්‍රී ධුරය අහෝසි වෙන්නෙ ඔහු සිරගතවීම හේතුකොටගෙන නෙමෙයි. එහෙම නම් රංජන් රාමනායක මන්ත්‍රීවරයත්, එස්.බී දිසානායක මන්ත්‍රීවරයා වගේම සිරගත වූ මොහොතේ සිටම ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වූ බවක් පෙන්නුම් කරන්නෙ නෑ. ඒ නිසා ඔහුට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාවක් තියෙනවා නම් එය ඔබේ අතේ තියෙන්නෙ. ඒ පිළිබඳව කතානායකවරයා විදිහට ඔබ අධ්‍යයනය කරලා මේ පාර්ලිමේන්තුවට තීන්දුවක් ප්‍රකාශ කරන්න කියන එක තමයි මගේ ඉල්ලීම.’

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මෙතැන තර්ක කරන්න බෑ

රාජ්‍ය ඇමැති නීතිඥ සුසිල් ප්‍රේම්ජයන්ත මෙහිදී සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ තර්ක කළ නොහැකි බවයි.
‘කතානායකවරයා විදිහට ඔබතුමා මේ සම්බන්ධයෙන් තීරණයක් ලබාදීමේදී සලකා බැලිය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 90,91 සහ 89 කියන වගන්ති අනුව මේ කරුණු මේකට ගැළපෙන්නෙ කොහොමද කියලා. ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව මෙතැන තර්ක කරන්න බෑ. ඉතින් දැන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දීලා තියෙනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති යටතේ තමයි ඔබට මේ ගැන තීරණය ගන්න තියෙන්නෙ.’

අයිතිය තියෙන්නෙ කතානායකට

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල ද මෙහිදී අදහස් දැක්වීය.
‘ප්‍රේමලාල් ජයසේකර මහතාගේ නඩුවෙදි ඇපීල් අධිකරණය පැහැදිලිව කිව්වා පාර්ලිමේන්තුවෙ වාඩි කිරීම ඔබට අයිති කාරණයක්. ඒකට කිසිදු අධිකරණයකට මැදිහත්වෙන්න බෑ. හිටපු කතානායක අනුර බණ්ඩාරනායක මහතා පැහැදිලිව කිව්වා පාර්ලිමේන්තුවෙ කටයුතුවලට කිසිදු අධිකරණයකට මැදිහත් වෙන්න බෑ කියලා. චමල් රාජපක්ෂ මහතා කතානායක කාලෙ අධිකරණය තීන්දුවක් දුන්නා, ශිරාණි බණ්ඩාරනායකගේ දෝෂාභියෝගය නතර කරන්න කියලා. නමුත් ඔහු නතර කළේ නෑ. ඉතින් මේ කටයුත්තෙදිත් ඔබට තමයි අයිතිය තියෙන්නෙ.’

වෙන යන්න තැනක් නෑ

තමන්ගේ නඩුවට අදාළව අභියාචනා කිරීමට හැකියාව තිබුණද, රංජන් රාමනායක මන්ත්‍රීවරයාට එම අවස්ථාව අහිමි බව මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර සඳහන් කළේය.
‘මම විශේෂයෙන්ම මතක් කරන්න ඕනෙ මට මහාධිකරණයෙන් දඬුවමක් ලබා දුන්නා. ඒ අවස්ථාවෙ අපේ මන්ත්‍රීවරයෙකුට එවකට අධිකරණ ඇමැතිවරිය කියලා තිබුණා, ප්‍රේමලාල් ජයසේකර ඒ ස්ථානයේ හිටියෙ නෑ, ඒත් ඔහුව එල්ලුම්ගස් යවනවා කියලා. ඒ වගේ දේශපාලන පළිගැනීමකට මේක කරපු නිසා මට යන්න අභියාචනාධිකරණය තියෙනවා. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණය තියෙනවා. ඒත් රංජන් රාමනායක මන්ත්‍රීවරයාට මේ තීන්දුව ලබාදුන්නෙ ශ්‍රේෂ්ඨාධිකරණයෙන්. එතැනින් එහාට යන්න බැරි නිසා තමයි ඔහුට මේ ප්‍රශ්නය පැනනැගිලා තියෙන්නෙ.’

කතානායකවරයාට බලයක් නෑ

ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයාට මාස තුනක් යනවිට පෙර කී දේ අමතක වී ඇතැයි රාජ්‍ය ඇමැති නිමල් ලංසා මෙහිදී පැවසීය.
‘පහුගිය සැප්තැම්බර් 08 වැනිදා පාර්ලිමේන්තුවෙදි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මතු කළ කාරණාවක් මම ඔබතුමාගෙ අවධානයට යොමු කරන්න කැමතියි. එහිදී කිව්වා, අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වැනි ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා, නුසුදුසු කටයුතුවලට භාජනය වූ කෙනෙකුගේ මන්ත්‍රී ධුරය ඉබේම අහිමි වෙනවා, කාටවත් පෙන්වන්න අවශ්‍යතාවයක් නෑ කියලා. මහාධිකරණයෙන් තීන්දුවක් දුන්නාම අහෝසි වෙනවා කියලා. ඒ නිසා මා ඉතාමත් ගෞරවයෙන් කියනවා ඒ පිළිබඳ තීන්දුවක් ගන්න කතානායකවරයාට බලයක් නෑ කියලා. එහෙම කියපු කිරිඇල්ලට මාස තුනකට පස්සෙ ඔහු කියපු දේ අමතක වෙලා.’

සති තුනක් කල්දෙන්න

ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාගේ ගැටළුවට අදාළ අවස්ථාවේ කටයුතු කළ ආකාරයට අධ්‍යයනයක් කිරීම සඳහා සති තුනක් අවශ්‍ය බව විපක්ෂ නායකවරයා මතු කළ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මෙහිදී පෙන්වා දුන්නේය.
‘විපක්ෂ නායකවරයා නැගූ ප්‍රශ්නයට මගේ පිළිතුර වෙන්නෙ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා මේ සභාවට කැඳවනු ලැබුවෙ විධිමත් අධ්‍යයනයකින් පසුව. නඩු තීන්දුවට පසුදිනම තිබුණු පාර්ලිමේන්තුවට ඔහුව කැඳෙව්වෙ නෑ. රංජන් රාමනායක මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ගැටළුව මේ අද තමයි ඔබතුමන්ලා මතු කරන්නෙ. ඒ නිසා ඒ ගැන කරුණු සොයා බලා, අධ්‍යයනය කරලා තීරණයක් දෙන්න මට කාලයක් අවශ්‍යයි. ඒ අතරතුර ඕනෑම මන්ත්‍රීවරයෙකුට හෝ කණ්ඩායමකට යමක් ඉදිරිපත් කිරීමට තියෙනවා නම් ඉදිරි සති දෙක ඇතුළත ලිඛිතව ඉදිරිපත් කරන්න. ඉන්පසු අපි මේ ගැන තීන්දුවක් ගන්නවා. ඒ නිසා මේ පිළිබඳ විධිමත් තීන්දුවක් ලබාදෙන්න මට සති තුනක කාලයක් ලබාදෙන්න කියලා සඳහන් කරමින් මේ ප්‍රශ්නය අදට අවසන් කරනවා.’
Previous articleපාස්කු බෝම්බකරුගේ තඹ කම්හලේ සේවකයන් අධිකරණ නියෝගයෙන් නිදහස් !
Next articleකැබිනට් මණ්ඩලය පාලනය කිරීමේ බලයක් පාර්ලිමේන්තුවෙන් ලැබෙයිද?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here