පාස්කු බෝම්බකරුගේ තඹ කම්හලේ සේවකයන් අධිකරණ නියෝගයෙන් නිදහස් !

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ මොහොමඩ් ඉන්ෂාෆ්ට අයත් බව කියන වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවය කරමින් සිටියදී අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සේවකයන් 10 දෙනෙකු නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය ඊයේ (19) නියෝග කළාය.

ඒ ඔවුන්ට එරෙහිව කිසිදු සාක්ෂියක් අනාවරණය වී නැතැයි නීතිපතිවරයා දැනුම් දී ඇති බවත්, ඒ හේතුවෙන් එම සැකකරුවන් මුදාහරින්නැයි ඉල්ලා සිටින බවත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයට කළ දැනුම්දීමක් අනුවයි. ඒ අනුව සැකකරුවන් නිදහස් කර නඩුව අවසන් කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය.

එම කර්මාන්ත ශාලාවේ සේවය කළ පුද්ගලයන් 9 දෙනෙකු පොලිසිය විසින් පාස්කු ප්‍රහාරයට පසුදිනම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි. ඔවුන් රිමාන්ඩ් කිරීමෙන් පසු, අදාළ නඩුව 2019 මැයි මාසයේදී නැවත විභාගයට ගත් අවස්ථාවේ සැකකරුවන් 09න් 08 දෙනකු ඇප මත මුදාහරිනු ලැබීය. එක් අයකු පමණක් තවදුරටත් රිමාන්ඩ් කරනු ලැබීය. සැකකරුවන් ඇප මත මුදාහැරීමෙන් පසු සමාජයේ ඇති වූ දැඩි කතාබහත් සමග පොලිස්පතිවරයා එම පරීක්ෂණ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පැවරීය.

ඒ අනුව එම කොට්ඨාසය කරන ලද පරීක්ෂණ අනුව තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් කරනු ලැබීය. දීර්ඝ විමර්ශනයකින් පසු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අදාළ ගොනුව නීතිපතිවරයාට යවා තිබේ. එම ගොනුව පරීක්ෂා කර නීතිපතිවරයා දැනුම් දී ඇත්තේ එම සැකකරුවන් දසදෙනාට එරෙහිව කිසිදු සාක්ෂියක් නොමැති බවයි.

මෙම නඩුවේදී අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටි පුද්ගලයන් 8 දෙනා මුදාහරින ලෙසට නියෝග කෙරුණු අතර, රිමාන්ඩ් කරනු ලැබ සිටි දෙදෙනා ද මුදාහරින ලෙස මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය.

Previous articleමිලිටරි මානසිකත්වය සහිත දරුවන් බිහිවන්නේ අද නිහඬව සිටින වැඩිහිටියන් නිසයි – ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනඥ චාල්ස් දයානන්ද
Next articleඅනුර, චමල් සහ මහින්ද යාපා : අධිකරණය සහ පාර්ලිමේන්තුව එකක් ද?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here