මිලිටරි මානසිකත්වය සහිත දරුවන් බිහිවන්නේ අද නිහඬව සිටින වැඩිහිටියන් නිසයි – ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනඥ චාල්ස් දයානන්ද

පාසල් ගුරුවරුන් ලෙස හමුදා නිලධාරීන් යෙදවීම සහ හමුදාවට උපහාර දැක්වීමේ විවිධ වැඩසටහන් පාසල්වල ක්‍රියාත්මක කිරීම වැනි උපක්‍රමත්, ඉන්පසු අවුරුදු 18 ඉක්මවූ තරුණ-තරුණියන්ට හමුදා පුහුණුව අනිවාර්ය කිරීමේ යෝජනාවත් මිලිටරි මානසිකත්වයක් සහිත දරුවකු මෙන්ම තරුණයෙකු ගොඩනැගීමේ අරමුණින් සිදුකරන ඒවා බව අධ්‍යාපන මනෝවිද්‍යාඥයෝ අවධාරණය කරති.
වව්නියාවේ දුෂ්කර පාසල් කිහිපයක ගුරු හිඟයට විසඳුම් ලෙස ගුවන් හමුදා නිලධාරීන් අදාළ පාසල්වල අධ්‍යාපන කටයුතු සඳහා යෙදවීමට සැලසුම් කර තිබිණි. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කළ විමසීමේදී අධ්‍යාපන ඇමැති ජී.එල්.පීරිස් මහතා පවසා තිබුණේ තමන් එවැන්නක් පිළිබඳව නොදන්නා බවයි. කෙසේ වෙතත් ඇමැතිවරයා නොදැනුවත්ව වුවද, එවැනි සැලසුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ගුරු සංගම් පෙන්වා දුන්නේය.
ගුරු සංගම්වල සහ අධ්‍යාපනඥයන්ගේ දැඩි විරෝධය නිසා එම සැලසුම මේ වනවිට තාවකාලිකව අත්හිටුවා තිබේ. එසේම විශ්‍රාමික හමුදා නිලධාරීන් විදුහල්පතිවරුන් ලෙස සේවය කරන ඇතැම් පාසල්වල විවිධ උත්සව අතරතුරදී, හමුදාවට උපහාර දැක්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ද පසුගිය කාලයේ කැපී පෙනිණි. ඇතැම් පාසල්වල ආදි ශිෂ්‍ය සංගම් විසින් පාසල් සිසුන්ගේ ද සහභාගිත්වයෙන් වාර්ෂික පාගමන් සංවිධානය කිරීමේදී මෙවැනි උපහාර පාගමන් සංවිධානය කිරීම පසුගිය කාලය පුරා සිදු විය.

18ට වැඩි අයට හමුදා පුහුණුව

මේ අතර මේ ක්‍රියාවලියේ අලුත්ම පියවර ලෙස මහජන ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය ඇමැති සරත් වීරසේකර පවසා තිබුණේ අවුරුදු 18ට වැඩි සියලුම තරුණ-තරුණියන්ට හමුදා පුහුණුව අනිවාර්ය කිරීමේ යෝජනාවක් තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.
‘අවුරුදු දහඅටෙන් ඉහළ තරුණ-තරුණියන්ට අපි හමුදා පුහුණුවක් දිය යුතුමයි. ඉතිං ඒ යෝජනාව මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මගේ යෝජනාවක්. ඒ යෝජනාව කරන්නෙ වෙන මොකක්වත් හින්දා නෙවෙයි, ඒ යෝජනාව කරන්නෙ රටේම යහපතට.
හමුදා පුහුණුව කියන එකට කවුරුත් බයවෙන්න ඕනෙ නෑ. මොකද හමුදා පුහුණුවකින් තමයි මිනිහෙක්ට කෙලින් හිටගන්න පුළුවන් වෙන්නෙ. ඇස් දෙක බලලා කතා කරන්න පුළුවන් වෙන්නෙ. පෞරුෂත්වය නැංවෙන්නෙ. නායකත්වය පිළිබඳ ගුණාංග ඇතිවෙන්නෙ ඒ හමුදාවෙන්. ඒ වගේම තමයි නීතියට ගරු කරන එක, විනයක් ඇතිවෙනවා, හික්මීමක් ඇතිවෙනවා, ඒ අයට වගකීමක් පැවරෙනවා. මේ දේවල් තමයි ඒ පුහුණුවෙන් කරන්නෙ.’

වෘත්තීය හමුදාවක සිට රණවිරු මානසිකත්වය දක්වා!

මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳව ලංකාවේ සිටින ප්‍රමුඛ පෙළේ විද්වතෙකු වන, අධ්‍යාපනඥ චාල්ස් දයානන්ද මෙසේ අදහස් පළ කළේය.
‘රණවිරු යන මානසිකත්වය ගොඩනැගුණේ යුද්ධය අවසාන වීමත් සමග ය. ඊට පෙර අපේ රටේ ආරක්ෂාව සහ අනෙකුත් කරුණුවලට අදාළව වෘත්තීය හමුදාවක් පවත්වාගෙන යන ලදි. ඔවුන් පූජනීය තත්ත්වයට පත්කිරීම එල්ටීටීඊයේ යුදමය පරාජයත් සමග සිදුවූවකි. සිදුවූවකටත් වඩා එය පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ ආණ්ඩුව මගින් හිතාමතා කළ දෙයකි. මේ යුද්ධය ඇති කළේ සහ යුද්ධයෙන් පසුව පවා මේ සංකල්පය පවත්වාගෙන යනු ලැබුවේ දේශපාලනඥයන්ගේ පටු අරමුණු සඳහා ය.
යුද්ධයක් අවසන් වූ වහාම කළ යුත්තේ රට තුළ සාමය ස්ථාපිත කිරීම ය. තවදුරටත් යුද මානසිකත්වය ජනතාවගේ ඔළුවල රැඳවීම නොවේ. විශේෂයෙන්ම දරුවන්ගේ ඔළුවලින් යුද්ධය යන වචනය පවා අතුගා දැමිය යුතුය. ලෝක මට්ටමේදී අධ්‍යාපන මනෝවිද්‍යාඥයන් අවධාරණය කරන්නේ යුද්ධයකින් පසු විශේෂයෙන්ම දරුවන්ගේ මනස තුළ ආදරය, මානව දයාව ඇති කිරීම සඳහා විශේෂ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කළ යුතු බවයි.

ඉන්දියාව සමග යුද්ධ කරන්න වෙයිද?

සංහිඳියාව ඇති කිරීම වෙනුවට හමුදා පුහුණුව වැනි උපක්‍රම මගින් හමුදා මානසිකත්වය තීව්‍ර කිරීමට උත්සාහ දරන්නේ ඇයි? ඇමරිකාව හෝ ඉන්දියාව හෝ චීනය හෝ සමග අපට යුද්ධ කරන්නට සිදුවන්නේ නැත. නිරන්තරයෙන් අසල්වැසි රටවල් හෝ අභ්‍යන්තර යුද්ධ පවතින රටවල මෙවැනි හමුදා පුහුණු අනිවාර්ය කර තිබේ. ලංකාවේ එවැනි තත්ත්වයක් නොමැති නම්, මේ හමුදා මානසිකත්වය තවදුරටත් පවත්වාගෙන යන්නට උත්සාහ කරන්නේ ඇයි? ඇතැම් පාසල්වල පැවැති පාගමන්වල නිල ටී-ෂර්ටය ලෙස හමුදා සෙබළකු තුවක්කුවක් අතින් ගත් රූපයක් යොදාගැනීමේ උත්සාහයන් පවා තිබිණි. එහෙත් සමාජ විරෝධය නිසා ඒවා වෙනස් විය. කෙසේ හෝ මෙවැනි උත්සාහයන් මගින් පාසල් දරුවන්ගේ, පාසලින් එළියට එන වයස අවුරුදු 18 දරුවාගේ ඔළුවට දමන්නේ කුමක්ද? යුද මානසිකත්වය ය. කෲරත්වය ය. එක රටක් ඇතුළේ තවත් ජාතියකට, තවත් වර්ගයකට වෛර කරන්නට ඔවුන්ට වක‍්‍ර පණිවුඩයක් ලබාදෙයි.

තීන්දුගන්නා පාර්ශ්වයේ දැනුමේ තරම

ඇතැම් පාර්ශ්ව පවසන්නේ විනය, හික්මීම ඇති කිරීමට මෙවැනි පුහුණු අත්‍යවශ්‍ය බව ය. ඒ ඔවුන්ගේ දැනුමේ තරම බව කනගාටුවෙන් වුවද කිව යුතුය. අපට අවශ්‍ය වන්නේ ආකල්පමය වෙනසක් ඇති කිරීම ය. ඒ හරහා රට ඉදිරියට ගෙනයෑමට ය. ලාංකේය ජාතිය ගොඩනැගීමට ය. එසේ නැතිව රටක් සංවර්ධනය කළ නොහැක. තාවකාලික භෞතික සංවර්ධනයක් ඇති කළ හැකිය. එහෙත් එමගින් දියුණු මිනිසෙකු බිහි නොවේ. මේ කරුණු ඔස්සේ ඉදිරියට යා යුතු කාලයක දරුවන්ගේ ඔළුවට යුද මානසිකත්වයක් ඇතුළු කිරීම අපරාධයකි. තුවක්කුවක් අතට ගන්නේ කිසිවකුට හානියක් කරන්නට ය. අවුරුදු තිස් ගණනක් මේ රටේ මිනිස්සු යුද්ධයේ නමින් මැරුණහ. එය උතුරටත්, දකුණටත් පොදු ය. තවදුරටත් ඒ මිනී මානසිකත්වය පෝෂණය කිරීමට දශමයක හෝ මැදිහත්වීමක් කිරීම යනු රටේ ඉදිරි ගමන ආපස්සට හැරවීමකි.

කුරුවල් නොවූ දරුවන්

අප කොතරම් කතා කළද, මේ රටේ තවමත් සාමය ගොඩනැගී නැත. තවමත් සැක-සංකා  ඕනෑ තරම් තිබේ. ජාතිවාදීන්, ආගම්වාදීන් ඒ සැක-සංකා පෝෂණය කරමින් සිටී. දේශපාලනඥයන් ඒ කොන්ත‍්‍රාත් ලබාදෙමින් සිටී. මීට එරෙහිව රට ඉදිරි මගකට ගැනීම ආරම්භ කළ යුත්තේ දරුවන්ගෙන් ය. පාසල්වලින් එළියට එන අවුරුදු 18 තරුණ-තරුණියන්ගෙන් ය. වැඩිහිටියන්ගේ ඔළුවල මේ ජාතිවාදය සහ යුද මානසිකත්වය ජීර්ණය වී තිබේ. දරුවන් තවම එතරම් කුරුවල් වී නැත. ඒ නිසා ඔවුන්ට එකම ජාතියක් යන සංකල්පය ඔළුවට දැමිය යුතුය. අපි අතර ඇති වන ගැටුම් සාමකාමීව සහ බුද්ධිමත්ව විසඳා ගත යුතුය යන ආකල්පය ලබා දිය යුතුය. එය කළ හැකි මූලික ම ස්ථානය පාසල ය.

සිරියාවේ උදාහරණය

දරුවා යොමුකරවන්නේ කොතැනටද යන්න තීරණය කරන්නේ පාසලයි. මීට හොඳම උදාහරණයක් සිරියාවේ තිබේ. අයිඑස් සටන්කාමීන් පාසල් දරුවන්ගේ විෂය නිර්දේශ වෙනස් කරන්නට කටයුතු කර තිබිණි. ඔවුන් දරුවන්ගේ විෂය නිර්දේශවලට ඇතුළත් කර ඇත්තේ ලෝකයේ සිටින ඉස්ලාම් අන්තවාදී කොටස් හැර අනෙකුත් සියල්ලන් මරා දැමිය යුතු බවකි. එසේ නැත්නම් තමන්ගේ ආගමට බැඳිය යුතු බවකි. මේ මතය පැතිරවීම ඔවුන් ආරම්භ කර තිබුණේ පාසල් හරහා ය. සිරියාවේ ප‍්‍රධාන නගරය සටන්කාමීන්ගෙන් නිදහස් කරගැනීමෙන් පසු තවමත් විසඳා ගැනීමට නොහැකි වී තිබෙන බරපතළම ප‍්‍රශ්නය වන්නේ ඒ දරුවන්ගේ ඔළුවලට ඇතුළු කළ විෂබීජ ඉවත් කිරීම ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා තිබුණේ භෞතික සංවර්ධනයට මුදල් ඕනෑ තරම් යෙදවිය හැකි වුවත්, මේ දරුවන්ගේ මානසික සංවර්ධනය ඉතාම බරපතළ තත්ත්වයක පවතින බවයි.

වැඩිහිටියන්ගේ නිහඬ බව ආශිර්වාදයක්

විශේෂයෙන්ම මව්පියන්, වැඩිහිටි පරපුර මේ සම්බන්ධයෙන් මීට වඩා සවිඥානික විය යුතුය. යුද මානසිකත්වය බලහත්කාරයෙන් පොම්ප කිරීමෙන් පසු දරුවා, තරුණයා ඒ මත ජීවත්වන්නට පටන් ගනී. අද රටේ බහුතරයක් මාධ්‍ය මගින් මෙන්ම විවිධ චිත‍්‍රපට මගින්ද දරුවාට ඊට අවශ්‍ය උත්තේජනය තවදුරටත් ලබා දෙයි. ඉන්පසු අම්මාට-තාත්තාට ආදරය නොකරන, සමාජයේ විවිධ අපරාධවලට මැදිහත් වන දරුවකු බවට ඔහුට හෝ ඇයට චෝදනා කිරීමෙන් ඵලක් නැත. ඒ මන්ද, මේ අපරාධය සිදුවන බව දැන-දැනම මව්පියන්, වැඩිහිටියන් නිහඬව සිටින නිසා ය. ගුරුවරුන් නිහඬව සිටින නිසා ය. රටේ විද්වතුන් නිහඬව සිටින නිසා ය.’
(ඡායාරූපය – නිරූපණයක් පමණි. උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.)
Previous articleවතු කම්කරුවන්ගේ මූලික වැටුප එතැනමයි : හාම්පුත්තු වෙනත් යෝජනා ගෙනෙති !
Next articleපාස්කු බෝම්බකරුගේ තඹ කම්හලේ සේවකයන් අධිකරණ නියෝගයෙන් නිදහස් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here