ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය : සියයට 220 පොළියෙන් දේශපාලනඥයන්ගේ කොටස කීයද?

(ෂබීර් මොහොමඩ්)
මෑත ඉතිහාසය තුළ ග්‍රාමීය ජන ජීවිතයට වැඩිම බලපෑමක් එල්ල කළ උපද්‍රවයක් ලෙස ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය දැක්විය හැකිය.
2019 රටේ විශාලතම මැතිවරණ වේදිකාවේ, එනම් ජනාධිපතිවරණ වේදිකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේම ජනාධිපති අපේක්ෂකයන් විසින් අවධානය යොමු කළ ප්‍රධාන කරුණු අතරින් ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය එක් ප්‍රධාන සිත්ගන්නාසුළු තේමාවක් විය.
ගෝඨාභය රාජපක්ෂ සේම සජිත් ප්‍රේමදාස ද ප්‍රකාශ කළේ තමන් බලයට පත් වූ විගස ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා පීඩාවට පත් දුප්පත් ජනතාවගේ ණය බර නැති කරන බවය. එසේ පැවසීමට හේතු වූ පීඩාවට පත් ක්ෂුද්‍ර මූල්‍ය ණය හිමියන් යනු ඡන්ද බැංකුවකි. ශ්‍රී ලංකාවේ විශාල ජනතාවක් ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩා විඳිමින් සිටී. ඔවුන් ආකර්ෂණය කරගැනීම අදාළ අපේක්ෂකයන්ගේ අරමුණ වූ බව‌ පෙනෙන්නට තිබිණි. මෙය නිහඬව සිදුවන, අල්ලස සහ දූෂණය හා සබැඳි වක්‍ර මාදිලියක් බව අප වටහා ගත යුතුය.

පොරොන්දුවට පහරදීම

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්ව අවුරුද්දක් පමණ ගතව ඇතත්, ඔහු සිය මැතිවරණ වේදිකාවේදී ජනතාවට පොරොන්දු වූ ආකාරයට මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයට තවමත් විසඳුමක් ලබා දී නැත. එපමණක් නොව පසුගිය වසරේ පෙබරවාරි 19 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට රැස්වූ දිස්ත්‍රික්ක 14ක ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් විපතට පත්වූවන්ට පොලිසිය යොදවා පහර දී පන්නා දැමිණි. මේ පහරදීමෙන් පැහැදිලි වන්නේ ණය කපා හැරීම කෙසේ වෙතත්, බලය යොදා මිනිසුන් නිහඬ කර දැමීම වත්මන් ආණ්ඩුවේ ක්‍රමවේදය බවයි.
මේ අර්බුදය හේතුවෙන් මේ වන විට ලංකාව පුරා පුද්ගලයන් 200කට වැඩි පිරිසක් සියදිවි හානිකරගෙන ඇත. මේ ජීවිතවලට වගකියන්නේ කවුරුන්ද? බලධාරීන්ට තීරණයක් ගැනීමට තවත් ජීවිත කීයක් අහිමි විය යුතුද?
දුප්පත්කම තුරන් කිරීමේ අදිටනින් ලොවට පහළ වන ක්ෂුද්‍ර මූල්‍ය සංකල්පය ගැන අරුන්දතී රෝයි සිය Power to Capital නම් ග්‍රන්ථයේ මෙසේ සඳහන් කරයි. ක්ෂුද්‍ර මූල්‍ය යනු සංවර්ධනයේ සෑම තලයකම පාහේ පැතිර පවතින සර්ව රෝග නාශකයකි. බංග්ලාදේශයේ මොහොමඩ් යූනුස් විසින් මෙම ක්ෂුද්‍ර මූල්‍ය සංකල්පය ප්‍රතිඵලදායක ලෙස ක්‍රියාකාරී නියාමනයක් සහිතව, ඔහුගේ ග්‍රාමීන් (Grameen) නම් වූ මූල්‍ය සංකල්පය හරහා ක්‍රියාත්මක කරයි. එහිදී ඔහුගේ ග්‍රාමීන් ක්‍රමවේදය යටතේ කාන්තාවන්ට සියයට 0 සිට සියයට 5 දක්වා වූ පොළියක් යටතේ ආයෝජන කටයුතු සඳහා ණය ලබාදෙයි.

වගකීම් විරහිත මහ බැංකුව

ක්ෂුද්‍ර මූල්‍ය ණය මෙරටදී මෙතරම් විශාල ආර්ථික බලපෑමක් ඇති කිරීමට ප්‍රධානතම හේතුව මහ බැංකුවේ වගකීම් විරහිත ක්‍රියාකලාපයයි. ශ්‍රී ලංකාව තුළ මූල්‍ය ගනුදෙනු සිදුකරන ආයතන නියාමනය කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීමක් වුවද, ඔවුන් දිගින්-දිගටම එය පැහැර හරිමින් සිටී. මීට හොඳම නිදසුන 2021 ජනවාරි 06 දින වන විට ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි කර ඇති ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන ආයතන ගණන 4ක් වීම ය. එමෙන්ම රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය යටතේ ලියාපදිංචි වී ඇති ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන ආයතන සංඛ්‍යාව 23කි. නමුත් අප කළ ගවේෂණයෙන් හෙළිවූයේ ශ්‍රී ලංකාව තුළ ඇති ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන ආයතන ප්‍රමාණය 3,000කටත් අධික වන බවයි. ශ්‍රී ලංකා ක්ෂුද්‍ර මූල්‍ය වෘත්තිකයන්ගේ සංගමය සමග ලියාපදිංචි වී ක්ෂුද්‍ර මූල්‍ය කටයුතුවල නිරත වන ආයතන සංඛ්‍යාව 53කි. එමෙන්ම තවත් ආයතන බොහොමයක් ව්‍යාපාර ආයතන ලෙස ලියාපදිංචි වී ක්ෂුද්‍ර මූල්‍ය ණය ව්‍යාපාරවල යෙදී සිටී.
මෙමගින් පැහැදිලි වන්නේ අදාළ නීත්‍යනුකූල ක්‍රමවේදයට අනුව නියාමනයකට යටත්ව ඇත්තේ එවැනි ආයතන කිහිපයක් පමණක් බවයි. බොහෝ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදෙන ආයතන, ජනතාව රවටමින් ක්ෂුද්‍ර මූල්‍ය ණය ලෙස හඳුන්වමින් පෞද්ගලික ණය ලබාදීම ද සිදු කරයි.

ක්ෂුද්‍ර මූල්‍ය ණය වරදක් ද?

ක්ෂුද්‍ර මූල්‍ය ණය යනු කිසිදු විටෙක බැහැර කළ යුතු විනාශකාරී ක්‍රමවේදයක් නොවේ. එය අතිශය සාර්ථක සහ ප්‍රතිඵලදායී ලෙස බංග්ලාදේශය තුළ ක්‍රියාත්මක කර ඇත. එවැනි සාර්ථක ව්‍යාපෘති පිළිබඳව අධ්‍යයනය කර, නියමු ව්‍යාපෘති ලෙස ශ්‍රී ලංකාවට ගැළපෙන ආකාරයට ක්‍රියාත්මක කළ හැකිය. ඒ හරහා ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය තුළින් ස්වයංපෝෂිත ග්‍රාමීය ආර්ථිකයක් බිහිකර ගත හැකිය. මේ සඳහා මුලින්ම අවශ්‍ය වන්නේ ජනතාවගේ පැත්තේ සිට සකස් කරන ක්ෂුද්‍ර මූල්‍ය පනතකි. දැනට සකස් කර ඇති 2016 අංක 6 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනත ජනතාව පැත්තේ සිට නොව මූල්‍ය ආයතන පැත්තේ සිට සකස් කෙරුණකි. ඊට හේතුව මේ පනතට අනුව අයකළ හැකි උපරිම පොළී අනුපාතය ලෙස දැක්වෙන්නේ සියයට 35ක් තරම් ඉහළ පොලී අනුපාතයකි. එය ම ක්ෂුද්‍ර මූල්‍ය සම්බන්ධයෙන් වන නියමයන් උල්ලංඝනය කරන්නකි. ක්ෂුද්‍ර මූල්‍ය යනු ජනතාව නගා සිටුවීමට දෙන ණයකි. ජනතාව සූරාකෑමට ලබා දෙන ණයක් නොවේ. කෙසේ වෙතත් මේ පනතේ සියයට 35ක ණය පොළියක් පිළිබඳව සඳහන් වුවද, ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදෙන ඇතැම් ආයතන සියයට 220 දක්වා වන ඉහළ පොළී අනුපාත අය කරන බව තහවුරු වී තිබේ.

ලංකාවේ තත්ත්වය

මේ සම්බන්ධයෙන් ගවේෂණාත්මක වාර්තාකරණයේ නිරත වූ මාධ්‍යවේදී රසික ගුණවර්ධනට අනුව සමස්තයක් ලෙස දිවයින පුරා පැතිර ඇති මෙම අර්බුදය තුළ පැහැදිලිව දැක ගත හැති පොදු ලක්ෂණ කිහිපයක් පවතී.
1. කාන්තාවන් ඉලක්ක කර ණය ලබාදීම (ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමයේ ප්‍රධානතම ලක්ෂණයයි )
2. දරිද්‍රතාවයෙන් පීඩා විඳින කාන්තාවන් තෝරා ගැනීම
3. ණය ලබාදීමේ ක්‍රියාවලියේදී පොළී ප්‍රතිශතය ප්‍රකාශ නොකිරීම.
4. ණය ගිවිසුම ඉංග්‍රීසි භාෂාවෙන් තිබීම සහ එය කියවා පැහැදිලි කර නොදීම
5. අධික පොළිය සහ දඩ පොළිය
6. ණය ගිවිසුමේ ව්‍යාපාරික කටයුත්තකට හෝ ගොවිතැන් සඳහා ණය ලබාදෙන බව පවසා, ආයෝජන නොවන පරිභෝජන කටයුතු සඳහා ණය ලබාදීම
7.ණය වාරික එකතු කිරීමට නිවාසවලට පැමිණීම සහ එසේ පැමිණ තර්ජනය කිරීම, බිය වැද්දීම සහ බැණ වැදීම
8. ණය ගිවිසුම් අලුත් කිරීම සහ හිස් කොළවලට අත්සන් ලබාගැනීම
9. ණය වාරික වෙනුවට නිවාසවල ඇති භාණ්ඩ ලබාගැනීමට උත්සාහ කිරීම
10. ණය වාරික ප්‍රමාද වීමේ හේතු දක්වමින් ලිංගික හිංසන සිදු කිරීමට උත්සාහ කිරීම

සූරාකෑමේ උගුලක්

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය කර්මාන්තය යනු සූරාකෑමේ උගුලකි. එම සංවිධානය මෙරට රජයට යෝජනා කරන්නේ ශක්තිමත් නියාමන රාමුවක් සකසන තුරු ක්ෂුද්‍ර මූල්‍ය ණය නැවත ගෙවීම තාවකාලිකව අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ය. මේ නිර්දේශය ඉදිරිපත් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පැබ්ලෝ බොහොස්ලැවිස්කි විසිනි. ඒ, ඔහු විසින් ශ්‍රී ලංකාව තුළ සිදුකරන ලද නිරීක්ෂණයකින් අනතුරුව නිකුත් කරන ලද වාර්තාවක් මගිනි. එම වාර්තාව මගින් ඔහු පවසන්නේ රාජ්‍ය බැංකු සිය සහනදායී ණය සැපයුම් පුළුල් කළ යුතු බවයි.
මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදෙන ආයතන මූලික වශයෙන් ඉලක්ක කරන්නේ කාන්තාවන් ය. මේ නිසා සමස්ත රට පුරාම ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයට බරපතළ ලෙස මුහුණ දී සිටින්නේ කාන්තාවන් ය. කාන්තා සංවිධාන කොතෙක් තිබුණද, මව්වරුන්ගේ ජීවිත උකසට තබන මේ ක්ෂුද්‍ර මූල්‍ය අවභාවිතාව පිළිබඳව ඒ එකදු කාන්තා සංවිධානයක් හෝ මැදිහත්ව කටයුතු නොකිරීම කණගාටුවට කරුණකි.

විසඳුම් නොදීමට හේතුව

මෙම අර්බුදයේ අක්මුල් දසදෙස විහිද පවතී. එහි එක් සීමාවක් වන්නේ මැතිවරණ අරමුදල් ය. මැතිවරණ වේදිකාව මත ක්ෂුද්‍ර මූල්‍ය ණය කපාහරින බවට පොරොන්දු වූ ජනාධිපති අපේක්ෂකයන් බලයට පත් වූ පසු නිහඬව සිටින්නේ ඒ නිසා ය. ඒ පිළිබඳව විමසූ විට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මෙසේ පැවසීය.
‘ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන තුන්දහසකට වඩා ක්‍රියාත්මකයි. මේ ආයතන තෙවැනි පාර්ශ්ව ලෙස වක්‍රාකාරව දේශපාලන පක්ෂවලට හෝ මැතිවරණ අපේක්ෂකයන්ට මුදල් ආධාර ලබා දෙනවා යැයි කිසිවෙක් චෝදනා කළහොත්, මැතිවරණ නිරීක්ෂකයෙක් ලෙස මම නම් එය බැහැර කරන්නෙ නැහැ. ක්ෂුද්‍ර මූල්‍ය ණය හිමියන් මේ ණය උගුලෙන් බේරාගන්න බව පවසමින් මැතිවරණ වේදිකා දෙදරවූ අපේක්ෂකයන් ජයග්‍රහණයෙන් පසු ඔවුන් එළවා දැමීම අශීලාචාරයි. සමහර විට මේ දේශපාලකයන්ගේ මැතිවරණ අරමුදල් තරකරන්න ඇත්තේ මෙවැනි කුප්‍රකට ව්‍යාපාරිකයන් වෙන්න පුළුවන්. මෙය මුළු රටටම බලපාන ගැටළුවක්. මේ ගැන මෙහෙම නිහඬව ඉන්න එක්කො පාලකයන්ගෙ පංචේන්ද්‍රියයන් අක්‍රීය වෙලා තියෙන්න ඕනෙ. නැත්නම් මෙවැනි ව්‍යාපාරිකයන්ගෙන් අල්ලස් ගන්න ඕනෙ. එම නිසා මේවා වළක්වන්න එක ක්‍රමයයි තියෙන්නෙ. මේ රටේ මැතිවරණ වියදම් නියාමනය කිරීම සඳහා වන යන්ත්‍රණයක් පැවතිය යුතුමයි. එහෙම නැතුව අපේ ජනතාව වුණත් හොරුම තමයි තෝරන්නෙ. මේ රටේ පුරවැසියන්ට ඕනෙ යහපත් දේශපාලකයන් නෙමෙයි, ජේත්තුකාර චෞරයන්.’

Previous articleඅධිකරණයට අපහාස කළ මාධ්‍යවේදියාට දඬුවම් නෑ – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් !
Next article‘කුළුණුබර රාජපක්ෂලා’ කුලුනු යට සඟවන විගණකාධිපති වාර්තා !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here